වසර 20 ක් පැරණි ටයිටැනික් ගීතය



2017-06-15-ent-64

"ටයිටැනික්" චිත්‍රපටය සඳහා එදා පරපුර මෙන්ම අද පරපුරද ආදරය කළ බව අප කවුරුත් දන්නා කරුණකි. එම චිත්‍රපටයේ ගීතයක් වන %මයි හාට් විල් ගෝ ඔන්’ (My Heart will Go on) නම් වූ ගීතය පසුගිය දශක දෙක තුළ ගීත රසිකයන් ශ්‍රවණය කළේ උන්මාදයෙනි. මේ ගීතය ගායනා කළේ සුපිරි ගායිකා සෙලීන් ඩියෝන් වන අතර, මේ මියුරු ගීතය පටිගත වී මේ වන විට වසර 20ක් වූ බවයි සඳහන් වන්නේ. පසුගියදා ලාස් වේගාස් හි පැවති බිල් බෝඩ් සම්මාන උලෙළේදී සෙලීන් ඩියෝන් මේ ගීතය ගායනා කළේ එහි 20 වැනි සැමරුම සිහිපත් කරමිනි. ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කළ කේට් වින්ස්ලට් සහ ලියනාඩෝ ඩිකැප්රියෝ පෙම්වතුන් ලෙස චරිත නිරූපණය කළ "ටයිටැනික්’ චිත්‍රපටයේ මේ ගීතය බිල්බෝඩ් සම්මාන උලෙළේදී සෙලීන් ඩියෝන් ගායනා කරද්දී ඇගේ දෙනෙතින් කඳුළු කඩා වැටුණු බව සඳහන් වෙයි.