අවුරුදු විසි පහක්ම මහ පාරේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔහු එදා සිය ජීවිතයේ සුවපහසු මාවත්වලට වඩා රළු බොරළු මහා වීදියට ඇලූම් කළේය. සිය රංගන හැකියාවෙන් නව මාවතකට දොරගුළු විවර කරගන්නට මහා වීදිය ද සවියක් වේ යැයි එදා ඔහු සිතන්නට නැත. එහෙත් වීදි නාට්‍ය තුළින් පේ‍්‍රක්ෂකයා ආමන්ත‍්‍රණය කළ ඔහු ඉන්පසුව රළු පරළු ලෑලි වේදිකාව මත සිය හඬ පෞරුෂය මෙන්ම රංගන භාවයන් පේ‍්‍රක්ෂක හදවතේ ස්පර්ශ කරන්නට ද සමතකු විය.

 පාසල් වේදිකාවෙන් කලාවට බැඳුණු පේ‍්‍රමය නිසාම වීදි නාට්‍ය ඔස්සේ 1976 දී සිරිතුංග පෙරේරාගේ වේදිකා නාට්‍යයකින් වේදිකාවට ගොඩ විය. සුන්දර වූ ද අසුන්දර වූ ද ආ මාවතේ මල් මාවත් නොවීය. සාමාන්‍ය පවුලක ”කලා උණක්” තිබූ ඔහු සිය ජීවිතයේ සෞන්දර්යාත්මක ඉසව්වක් නිර්මාණය කර ගත්තේ ස්වඋත්සාහයෙනි. කලාවත්, ජීවිතයත් සිතූ තරමට සුන්දර නොවුණත් ජීවිත නෞකාවට හරස් වූ සුළි කුණාටු බාධක තුළින් ඔහු ලබා ගත්තේ පන්නරයක් මෙන්ම දැඩි ආත්ම ශක්තියකි.

 එදා සිට අද දක්වා වේදිකාවෙත් පුංචි තිරයෙත් රිදී තිරයෙත් පේ‍්‍රක්ෂක හදවත් මුසපත් කළ නිර්මාණයන් මෙන්ම ඔහු පණ දුන් චරිත රාශියකි. එලෙස වසර 40කට අධික කාලයක් කලාව තුළින් පේ‍්‍රක්ෂකයාව මුසපත් කළ ඔහු ප‍්‍රසන්නජිත් අබේසූරිය අද කතාබහ තුළින් අප සමග එකතු වේ.

 ඔහු අද කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. එදා රූපරාමුවෙන් නිතර මුණ ගැහුණු ඔහු අද අපට මුණගැසෙන්නේ බොහොම කලාතුරකිනි. වසර තුනකට පසු ”සකූගේ කතාව” ටෙලි නිර්මාණයෙන් මුණගැසෙන ඒ සුන්දර නිර්මාණකරුවාට අපි ඉඩකඩ වෙන් කළේ මෙලෙසිනි.

20190106prasanjith-1

කාලෙකට පස්සේ පුංචි තිරයෙන් පේ‍්‍රක්ෂකයන් අතරට එන්නේ. කොහොම ද පේ‍්‍රක්ෂක පිළිගැනීම?

බොහොම හොඳ පිළිගැනීමක් තියෙනවා. ප‍්‍රධාන වශයෙන්ම විශ්වවිද්‍යාලයේ වැඩත් එක්ක නිර්මාණ කටයුතුවලට කාලය වෙන් කරගන්න ටිකක් අසීරුයි වේදිකා නාට්‍යයන් කිහිපයකම වැඩ කරනවා. ඒ නිසා ටෙලිනාට්‍යයක් තෝරා ගන්නේ හිතලා බලලා හොඳ පිටපතක් ලැබුණොත් විතරයි. ”සකුගේ කතාවේ” සකුගේ මාමා විදිහට හොඳ ප‍්‍රතිචාරයක් ලැබෙනවා. කාලෙකට පස්සේ සතුටෙන් කරපු චරිතයක් කියලා කියන්න පුළුවන්. මේ දිනවල විකාශය වන නිර්මාණ තුනෙහි කරන චරිත එකිනෙකට වෙනස් චරිත තුනක්.

 

මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකින්ම දකින්න ලැබෙනවා?

 ඇත්තටම ඔව්. ජාතික රූපවාහිනියේ විකාශනය වන ෂර්ලි පී. දෙලංකාවලගේ පෝටාවැටිය, ප‍්‍රියන්ත ප‍්‍රනාන්දුගේ ඉලංදාරි හැන්දෑව. පෝටාවැටිය කළේ මීට අවුරුදු පහකට කලින්. ඉලංදාරි හැන්දෑව කරලා අවුරුදු දෙකහමාරක් විතර වෙනවා. ඊට පස්සේ ඇත්තටම මම රඟපෑවේ නැහැ. අවුරුදු තුනකට පස්සේ තමයි ප‍්‍රියන්ත කොළඹගේගෙ ”සකුගේ කතාව” ටෙලිනාට්‍යයට එකතු වුණේ.

 

”සකුගේ කතාව” නිර්මාණයේ පිටපතේ විශේෂත්වයක් දැක්කා ද?

 මේ කාල සීමාව තුළ මට ගොඩක් ඒවට ආරාධනා ලැබුණා. ඒත් පිටපත කියෙව්වම රඟපාන්න පෙළඹවීමක් එන තරමට ඒ කිසිම චරිතයක් ලියවිලා තිබුණේ නැහැ. ”සකුගේ කතාවේ” පිටපත කියෙව්වම මේක කරන්න  ඕන කියලා මට ආසාවක් ඇතිවුණා. මට ලැබුණු ගොඩක් නිර්මාණ අවරගණයේ ටෙලිනාට්‍ය. මම උගන්වන විෂය සහ මගේ රැුකියාව එක්ක එන හැම නිර්මාණයකටම දායක වෙන්න අමාරුයි.

 

කලා ජීවිතේ ටෙලිනාට්‍ය පැත්තෙන් මේතාක් කරපු නිර්මාණ එක්ක බැලූවොත් ඔබට තෘප්තිමත් වෙන්න පුළුවන් ද?

 කොච්චර චරිත රඟපෑවත්, මට තව චරිත රඟපෑමේ පිපාසාවක් තියෙනවා. මට ලැබෙන පොඩි චරිතයක් වේවා මට පුළුවන් උපරිමයෙන් කරනවා. කවදාවත් නළුවෙක් එක චරිතයකින් දෙකකින් තෘප්තිමත් වෙන්නේ නැහැ. රඟපෑමෙන් මම සෑහීමකට පත්වෙන්නේ නැහැ. මැරෙනකම්ම රඟපෑමේ වුවමනාව සහ ආසාව මට තියෙනවා. ඒත් වර්තමානයේ ඉතා හොඳ නිර්මාණ බිහිවෙනවා හරිම අඩුයි. හොඳ දක්ෂ නිර්මාණකරුවෝ ඉන්නවා. ඒත් අද වැඩි ප‍්‍රචාරයක් ලැබෙන්නේ ජනප‍්‍රිය වෙන්නේ ගන්න දෙයක් නැති පුස් නාට්‍ය විතරයි. උදාහරණයක් විදිහට ගත්තොත් පෝටාවැටිය කියන්නේ හරිම ලස්සන නාට්‍යයක්. සාමාන්‍ය ටෙලිනාට්‍යවල දකින්න නොලැබෙන වෙනස්ම කතාවක්. හොඳ නාට්‍යවලට ලැබෙන ප‍්‍රචාරය, ප‍්‍රසිද්ධිය අඩුයි.

 

ප‍්‍රසන්නජිත් අබේසූරිය කිව්වම වර්තමාන වේදිකාවට නැතුවම බැරි චරිතයක්?

 ඇත්තටම මගේ ප‍්‍රධාන මාධ්‍යය වේදිකා නාට්‍ය. මම වැඩිපුරම කාලය ගෙවන්නේ වේදිකාවෙ ලංකාවේ ඉන්න පුරෝගාමී නාට්‍යකරුවන්ගේ ඉඳලා තමන්ගේ පළමු නාට්‍යය වේදිකාවට ගෙනාපු නාට්‍යකරුවන් සමඟත් මම වැඩ කරලා තියෙනවා. කැලණි පාලම, හුණුවටයේ කතාව, විකෘති ආදී වේදිකා නාට්‍ය ගණනාවකට දායක වෙන්නේ දැන් වසර ගණනාවක ඉඳලා. අලූත් වේදිකා නාට්‍ය කිහිපයකටත් දායකත්වය දෙනවා.

 

වේදිකාවේ ඔබගේම නිර්මාණයක් කරන්න බලාපොරොත්තු නැද්ද?

2018 හෙන්රි ජයසේනගේ ”කුවේණි” වේදිකා නාට්‍යය මගේම අලූත් නිෂ්පාදනයක් හැටියට කළා. මගේම කියලා නාට්‍යයක් කිරීමේ වුවමනාවක් දැඩි ලෙස තියෙනවා. මේ අවුරුද්දෙවත් ඒකට වෙලාවක් ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් මම මූලිකම තැන දීලා තියෙන්නේ විශ්වවිද්‍යාලයේ වැඩවලට.

 

අද වෙනකොට ඔබ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්?

මම ජීවිතේ තෘප්තිමත්ව කරන එකම දේ මේ වෘත්තිය. මගේ විෂයය නාට්‍ය හා රංග කලාව. මේක මගේ ජීවිතේ වාසනාවකට ලැබුණු දෙයක් කියලා මම විශ්වාස කරනවා. අලූත් පරම්පරාව එක්ක මම බොහොම සතුටෙන් වැඩ කරනවා. කථිකාචාර්යවරයෙක් වෙනවා කියන්නේ එක්තරා විදිහක අභියෝගයක්. මම උසස් පෙළ කළේ ජීව විද්‍යා අංශයෙන්. ඊට පස්සේ අවුරුදු 13කට පස්සේ උසස් පෙළ ලියලා තමයි මම කැම්පස් ගියේ. මුලින් හිතුණා ඒක අතහැරලා දාන්න  ඕන කියලා. ඒත් හොඳ නාට්‍යකාරයෙක් වෙන්න  ඕනෑ නම් මීට වඩා ඉගෙන ගන්න  ඕන කියන අදහස ඔළුවට ආවා. ඒ විදිහට තමයි මම මේ ගමන ආවේ. අතිදක්ෂ පිරිසක් මගෙන් ඉගෙන ගෙන අද මේ ක්ෂේත‍්‍රයේ ඉන්නවා. සමහරු කථිකාචාර්යවරු. ඒ දේවල් දිහා බලද්දී මට ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම මම ලොකු වාසනාවන්තයෙක් කියලත් හිතෙනවා. මට කවදාවත් ජීවිතේ මේ මේ තැන්වලට යන්න  ඕන කියලා හීන මාලිගා තිබුණේ නැහැ. හැබැයි ආසාවක් තිබුණා.

20190106prasanjith-2

වර්තමාන වේදිකා නාට්‍ය කලාව ගැන නාට්‍යකරුවෙක් විදිහට ඔබට අද කියන්න යමක් තියෙනවා ද?

 වේදිකා නාට්‍ය බලන පිරිස අද වැඩි වෙලා තියෙනවා. මොකද ලබන අවුරුද්දේ අග වෙනකම් සති අන්තයේ කොළඹ රඟහලක් වෙන් කරගන්න අමාරුයි. ඉතින් කොහොම ද මිනිස්සු නාට්‍ය බලන එක අඩුයි කියන්නේ. පාරට බැස්සාම නාට්‍ය පෝස්ටර් හැමතැනම. හැබැයි මේ පෙන්වන නාට්‍ය උසස් ගණයේ නාට්‍ය ද කියන ගැටලූව තියෙනවා. සරල හාස්‍ය නාට්‍ය ජනප‍්‍රිය වෙනවා. මිනිස්සු ඒවා බලන්න කැමැතියි. දුවන හැම එකක්ම නාට්‍ය ද කියන ප‍්‍රශ්නය තියෙනවා.

 

දැන් කලා ජීවිතේට අවුරුදු 40කට වැඩියි?

 මම ජීවිතේ පටන් ගත්තේ පොඩි තැනින්. මේ තැනට එන්න කථිකාචාර්යවරයෙක් වෙන්න මට ජීවිතේ හදලා දුන්නේ පාර කැපුණේ වීදි නාට්‍යවලින් වගේම වේදිකාවෙන්. අවුරුදු 25ක් තිස්සේ මම වීදි නාට්‍ය කළා. අදටත් පහුර වීදි නාට්‍ය කණ්ඩායම මගේ මෙහෙයවීමෙන් පවත්වාගෙන යනවා.

 

ඇයි ඔබ සිනමාවට අඩු දායකත්වයක්?

 සිනමාවට මම බොහොම සීමිතව තමයි දායක වෙලා තියෙන්නේ. චිත‍්‍රපටි පහකට වඩා මම රඟපාලා නැහැ. සිනමාව පැත්තෙන් මට ලොකු අවස්ථාවක් ලැබිලා නැහැ.

 

නදීශා අතුකෝරළ