ප‍්‍රශ්න වලදි හඬාවැටෙන්න ගියොත් ශරීරය වැහැරෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දේශීය චිත‍්‍රපට සියකකට වඩා වැඩි ගණනකට රංගනයෙන් දායක වූ ඇය මෙරට ප‍්‍රධාන පෙළේ ටෙලිනාට්‍ය 20කට වැඩි ගණනක ද ප‍්‍රධාන චරිත රඟමින් පේ‍්‍රක්ෂක ආදරය නොඅඩුව ලැබූ ආදරණීය කලාකාරිනියකි. වසර ගණනාවක් දක්ෂතම නිළිය, ජනප‍්‍රියම නිළිය ඇගයීම් සම්මාන ආදී සම්මානවලින් ඇගයීමට පාත‍්‍ර වූවාය. ඇය පේ‍්‍රක්ෂක ජනතාවගේ සැමදා ගෞරව සම්මානයට පාත‍්‍ර වූ දක්ෂ රංගන ශිල්පිනියකි. ඇය නමින් ශ‍්‍රියානි අමරසේන නම් වන්නීය. තාමත් ලස්සනට ඉන්න ඇගේ තොරතුරුවලින් අපි අද ලස්සන රහස් පිටුව සැරසුවෙමු.

 

20190106shriyani-1‘ලස්සන’ කාන්තාවකට කොයිතරම් වැදගත් කියා ඔබ සිතනවා ද?

ලස්සන කියන වචනය බොහෝ තැන්වල යොදා ගනු ලබන්නේ ප‍්‍රියතාවයට. ලස්සන මලක්, ලස්සන පොතක්, ලස්සන ඇඳුමක්, ඔය අතරේ ලස්සන කෙනෙක් කියලාත් අපි කියනවා. සැබෑවටම කාන්තාවකට ලස්සන ආභරණයක්. ලස්සන නිර්වචනයේදී විවිධාකාරයි. කාන්තාවකට ලස්සන ලැබෙන්නේ වාසනාවට කියලයි මගේ මතය නම්. හැම ගැහැනියකගේම කුමන හෝ ලස්සනක් තිබෙනවා. උපතින් ලැබුණු ලස්සන ආරක්ෂා කර ගැනීමට හැම ගැහැනියක්ම උත්සහා ගත යුතුයි. හැබැයි ලස්සන කියන්නේ කිසිම විටක ඔලූවට අරන් ආඩම්බරයෙන් සිටිය යුතු කරුණක් නොවේ. කාන්තාවක් තමාගේ රූපය නිසා උඩඟු වනවා නම් එය අනුවණ ක‍්‍රියාවක් බවයි මගේ හැඟීම.

 

ඔබත් ලස්සන කාන්තාවක්. ඔබ තරුණ කාලයේදී ලැබුණු ලස්සන රැක ගන්න මොනවා ද කළේ?

ම්... ඉස්සර අපිට පාවිච්චි කරන්න තිබුණේ පවුඩර් විතරයි. උදේ්ට, දවල්ට ගෑවේ පවුඩර්. රාත‍්‍රියට සුදු හඳුන් කෑල්ලක් උරච්චි කරලා මූණේ ගානවා. ආ... ඉස්සර අපේ අම්මා උයන ගමන් මැල්ලූමට, සම්බෝලයට මිරිකලා අහක දාන දෙහි අරං මුණේ ගානවා.  ඕක දැකලා මම අම්මාගෙන් ඇහැව්වාම ඇයි දෙහි ඉස්ම මූණේ ගාන්නේ කියලා එතකොට අම්මා කිව්වා පුතේ දෙහි තරම් හම පිරිසිදු කරන ස්වාභාවික දෙයක් නැති තරම් කියලා. එදා ඉඳලා අද දක්වා මමත් ඉඳහිට දෙහි ගාන්න පුරුදු වුණා. අද නම් බොහෝ නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණ තිබෙනවා. ඒ හැම නිෂ්පාදනම සමට හිතකර ද යන්න සොයා බැලිය යුතු කරුණක්. මම දැන් දෛනිකව ශරීරය පිරිසිදු කිරීමෙන් පසු දේශීයව නිෂ්පාදනය කළ ක‍්‍රීම් වර්ගයක් මුළු සිරුරේම ගල්වනවා. හිරු එළියේ රූගත කිරීම් කිරීමේදී හා දහවල් කාලයේදී එළියට යනවා නම් හිරු ආරක්ෂණ ආලේපනයක් ගල්වනවා. කවදාවත් හම සුදු වෙන්න කියලා නම් කිසිම ක‍්‍රීම් වර්ගයක් භාවිත කරලා නැහැ.

 

අද වනවිට ඔබ කොහොම ද සම රැක ගන්නේ?

අපි වයසට යනවා ඇරෙන්න ආයේ තරුණ නොවන නිසා සමට වඩා නිරෝගීකම ගැන ගොඩක් හිතනවා. දවසකට වතුර ගොඩක් මම බොනවා. නැගිට්ට ගමන් වතුර වීදුරුවක් බීලා පැය බාගයකයට පසුවයි උදෑසන කෑම ගන්නේ. ධාන්‍ය වර්ගයක් හෝ  ඕට්ස් ධාන්‍ය අහාර තමයි උදේට වැඩිපුර ගන්නේ. පිටි සහිත කෑම ගන්නේම නැති තරම්. දවල්ටත් කන්න පැය බාගයකට පෙර වතුර වීදුරුවක් බොනවා. රතු හාල් බත් එක්ක එළවළු, පලා වර්ගයක් මාළු හෝ බිත්තර සමඟ ආහාර ගන්නවා. පතෝල, වැටකොළු, මුරුංගා, තලන බටු, බෝංචි වගේ එළවළුවලට මම හරිම කැමැතියි. කොළ වර්ග විදිහට බතල කොළ, මුරුංගා කොළ, අගුණකොළ වැඩිපුර ගන්නවා. ගොඩක් පලා වර්ග නම් ගෙවත්තේම වගා කරලා තියෙනවා. වතුර බොනකොට ශරීරයේ හැම ඉන්ද්‍රියක්ම උත්තේජනය වෙනවා. නිරෝගීකම ආරක්ෂා කරගෙන හමත් ලස්සනට තියා ගන්න සරලව කළ හැකි දෙයක් තමයි වැඩිපුර වතුර බොන එක.

කොණ්ඩයට මම හරිම ආදරෙයි. දැන් වගේ සැර ෂැම්පු වර්ග සුවඳ විහිදෙන තෙල් වර්ග එදා තිබුණේ නැහැ. ඒ නිසා මම කළේ පොල්තෙල්වලට විටමින් ඊ කරලයි, ඔලිව් තෙල් ටිකකුයි දාලා රත් කරලා ඔලූව මසාජ් කරන එක. එයින් හිසකෙස්වලට හොඳ පෝෂණයක් ලැබෙනවා. අදටත් එම සත්කාරය මම හිසට කරනවා.

 

ලස්සන වීම ආලේපනවලින් කළ හැකි කියා ඔබ විශ්වාස කරනවා ද?

නැහැ, කොහෙත්ම නැහැ. කාන්තාවක් විදිහට හැම වෙලාවෙම ශරීරය වගේම හිතත් පිරිසිදුව තියාගන්න උත්සාහ කළ යුතුයි. තමන් අදහන ආගමක දිනකට පැය බාගයක්වත් යෙදී අධ්‍යාත්මිකව හිතට සැනසීමක් ගැනීමට උත්සාහ ගැනීම හරිම වටිනවා. අනිත් කරුණ තමයි සතුට ප‍්‍රීතිය වගේම දුක වේදනාවත් දරා ගන්න පුළුවන් ආත්ම ශක්තියක් නිරතුරුවම කාන්තාව ඇති කරගත යුතුයි. එහෙම නැතුව ඇතිවන හැම ප‍්‍රශ්නයකදීම හඬා වැටෙන්න ගියොත් අපි නිකන්ම වැහැරී යනවා.

 

20190106shriyani-2යම් ව්‍යායාමයක නිරත වනවා ද?

නිරෝගීකම වෙනුවෙන් සතියකට දින දෙක තුනක් ව්‍යායාමවල නිරත වෙනවා. ඒ සඳහා මම කරන්නේ උදෑසන අවදී වී මාගේ ගෙවත්තේ දහඩිය දමන තෙක් ඇවිදීම.

 

රාත‍්‍රී මුහුණු සත්කාරයක් භාවිතා කරනවා ද?

ඉඳහිට සමේ තෙතමනය ආරක්ෂා වීමට මොයිස්චර්රයිසර් ක‍්‍රීම්  වර්ගයක් ආලේප කරනවා. ඊට අමතරව ඔලිව් තෙල් රාත‍්‍රියේදී සමේ ගල්වනවා.

 

ඔබේ සිරුරට වඩාත්ම ගැළැපෙන ඇඳුම මොකක් ද?

උඩරට සාරියට මම හැඩයි කියලා හැමෝම කියනවා. 

 

සිරුරට වඩාත්ම ලස්සන පාට?

කහ පාටයි, දම් පාටයි මට ගොඩක් ලස්සනයි කියලා හිතනවා.

 

ලස්සන වීමට විවිධ දේවල් අද වනවිට තිබෙනවා. ඔබත් ඒ දේවල් අනුමත කරනවා ද?

දියුණු තාක්ෂණික ක‍්‍රමවේදවලින් සම රැුළි වැටීම් නතර කිරීම, හිස කෙස් සිටුවීම, මුහුණවල් පවා වෙනස් කරගත හැකි එන්නත්කරණයෙන් වුව ද විය හැකියි. මේ කිසිම දෙයක් මම නම් කරලත් නැහැ කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. උපතින් ලැබුණ ලස්සන ආරක්ෂා කර ගැනීමයි අපි කළ යුත්තේ. ආරෝපණ තාවකාලිකයි. එයයි මගේ හැඟීම නම්.

 

රංගන ක්ෂේත‍්‍රයේ රැුඳීමට රූපයෙන් ලස්සන වීම අතවශ්‍ය කරුණක් ලෙසට ඔබ දකිනවා ද?

නැහැ, දේශීය සිනමාව බැලූවත් හොලිවුඩයේ, බොලිවුඩයේ බැලූවත් රංගනයේ අතිදක්ෂතා දක්වන සියල්ලම එතරම් ලස්සන අය නොවේ. නමුත් හරිම ලස්සනයි කියන අයට වඩා ඒ අයගේ රංගන කුසලතාවයන් හරිම ඉදිරියෙන්. ක්ෂේත‍්‍රයකින් ඉදිරියට යාමට අවශ්‍ය වන්නේ දක්ෂතාවය.

 

අසුන්තා එදිරිසූරිය