'මධුර චාරිකා' සඳහා මම බලාපොරොත්තු වූ ආකාරයේ ඉහළ සම්මාන ලැබුණේ නැහැ



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-03-23-ent-226

ප්‍රවීණ සිනමාවේදී උදයකාන්ත වර්ණසූරියගේ විසි දෙවන සිනමා නිර්මාණය වන ‘මධුර චාරිකා’ මේ දිනවල තිරගත වෙයි. මේ කතාබහ ඒ ගැනය.

 

මේ දිනවල තිරගත කෙරෙන ‘මධුර චාරිකා’ සිනමා නිර්මාණය ගැන මුලින්ම කතා කරමු?2018-03-23-ent-227

මගේ සිනමා ජීවිතයේ සුවිශේෂී චිත්‍රපටයක් ලෙස තමයි මම ‘මධුර චාරිකා’ චිත්‍රපටය හඳුන්වන්නේ. මෙතෙක් කළ සියලුම චිත්‍රපටවලට වඩා මෙය වෙනස් නිර්මාණයක්. ‘මධුර චාරිකා’ කියන්නේ කලාත්මක බවින් වැඩි චිත්‍රපටයක්. මම මේ වන විට නිර්මාණය කර තිබෙන චිත්‍රපට දෙස බලද්දී ඉන් වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ විනෝදාත්මක චිත්‍රපට. මේ චිත්‍රපටයෙත් ඒ ලක්ෂණය තිබෙනවා. නමුත් කලාත්මක හැඩරුවකින් තමයි මේ චිත්‍රපටය ඉදිරිපත් කර තිබෙන්නේ. බොහෝ වෙහෙසක් දරමින්, අතීත සිනමාව හදාරමින්, එවැනි කාරණා ගැන සඳහන් කරමින් ගොඩනැගෙන චිත්‍රපටයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. ප්‍රධාන චරිතය ඔස්සේ එය අතීත මතක සටහන් ලෙස තමයි මම ගෙන එන්නේ. ඔහුගේ පැරණි චිත්‍රපටයක් බලන්න මුණුබුරා සමගින් නගරයට පැමිණෙනවා. ඒ ගමනේදී ඇතිවන බාධක විනෝදාත්මක සිදුවීම් අන්තර්ගත සුන්දර කතා තේමාවක් එක්ක තමයි ‘මධුර චාරිකා’ චිත්‍රපටය තිරගතවීම දක්වා පැමිණෙන්නේ. මීට කාලයකට පෙර මිනිසුන් චිත්‍රපට නරඹපු ආකාරය ගැන, අතීත සිනමාවේ සුන්දර සිද්ධි රැසක් මෙහි අන්තර්ගත වෙලා තිබෙනවා.

 

මෙම සිනමා නිර්මාණයක් කරන්න පාදක වූ සිදුවීම ගැන කතා කළොත්?

මම කතාවක් සොයමින් ඉන්න විට සිදුවූ එක් සිදුවීමක් තමයි පාදක වුණේ. සෑම වසරකම චිත්‍රපට සංස්ථාවේ සංවත්සර උත්සවයක් පැවැත්වෙනවා. එහෙම ගිය වෙලාවක මම දැක්කා වියපත් පිරිසක් ඇවිත් ඉන්නවා. ඔවුන් එදා පැමිණ තිබුණේ පැරණි චිත්‍රපටයක් නරඹන්න. සංවත්සර උත්සවයේදී පැරණි චිත්‍රපට ප්‍රදර්ශනය කරනවා. එහිදී දුටු චරිතයක් ඔස්සේ මට මේ කතාව හිතේ මැවුණා. එය තමයි ‘මධුර චාරිකා’ ලෙස අද තිරගත වෙන්නේ.

 

ඒ තේමාව පාදක කර ගත් නිර්මාණය සිනමාවට ගෙන ඒමේදී ඊට දායක කරගන්නා ශිල්පීන් ගැන සැලකිල්ලක් දැක්වූයේ කෙලෙසද?

මේක කලාත්මක හැඩරුව වැඩි චිත්‍රපටයක් නිසා අතිශය ජනප්‍රිය නළු නිළියන් තෝරාගන්න මම යොමු වුණේ නැහැ. මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ හේමසිරි ලියනගේ. නලීන් ප්‍රදීප් උඩුවෙල, මාදනී මල්වත්තගේ, කුමාර තිරිමාදුර, සරත් චන්ද්‍රසිරි, රමණි අලකෝලාංග, අජිත් ලොකුගේ, චතුර පෙරේරා වැනි නළු නිළියන් වගේම අපේ පැරණි සිනමාව තුළ සිටි නළු නිළියන් රැසකුත් සම්බන්ධ කර ගත්තා. ෂෙල්ටන් සිල්වා, නිමලා අතපත්තු, උදුලා දාබරේ වැනි අයත් රංගනයෙන් දායක වෙනවා. කැමරා අධ්‍යක්ෂණය අයේෂ්මන්ත හෙට්ටි ආරච්චි, නලීන් ප්‍රේමතිලක වේෂ නිරූපණයත්, සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේත් සිදුකළා. සහය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්ත විසින් සිදුකළා. සෑම් පෙරේරා කොණ්ඩ සැකසුම් වලිනුත්, ඇඳුම් පැලඳුම් නිර්මාණයෙන් ශාන්ති වර්ණසූරියත්, කලා අධ්‍යක්ෂණයෙන් අරුණ ඩයස් දායක වුණා. කොණ්ඩ සැකසුම්, ඇඳුම් පැලඳම් නිර්මාණකරණය, කලා අධ්‍යක්ෂණය වැනි දේවල් මෙවන් චිත්‍රපටයක සුවිශේෂයි. මේ හැමදෙනාගෙම දායකත්වය නිසා තමයි මෙය සාර්ථක වෙන්නේ.

 

වාණිජ ධාරාවේ සිනමා නිර්මාණ කරන්නයි ඔබ වැඩි වශයෙන් කටයුතු කළේ. ඉන් මිදී මෙවන් කලාත්මක සිනමා නිර්මාණයක් කිරීම අභියෝගාත්මක නැද්ද?

එහි අභියෝගයක් තිබෙනවා. වැඩි ප්‍රේක්ෂක පිරිසක් සිටින්නේ විනෝදාත්මක සිනමාව තුළ තමයි. මෙහි ප්‍රධාන රංගන ශිල්පියා ලෙස දායක වෙන්නේ හේමසිරි ලියනගේ මහත්මයා. අවුරුදු අසූවක පමණ වයසක සිටින පුද්ගලයෙක්. ඔහු නළුවෙක් ලෙස අතීතයේ හැසිරුණ ආකාරය, ඒ සුන්දර මතක සැමරුම් එක්ක ඔහු එන ගමනේදී කතා කරන විනෝදාත්මක දේවල් තිබෙනවා. මේ සමාජය තුළ වැඩි වශයෙන් ඉන්නේ තමන්ගේ අවස්ථාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන අය. නමුත් මානුෂීය හැඟීම් ඉස්මතු වෙලා අපි අනුන් වෙනුවෙන් පෙනී සිටින අවස්ථා තිබෙනවා. සුන්දර මානව ක්‍රියාකාරකම් වගේම දුක හිතෙන සිදුවීමුත් තිබෙනවා. ඒ නිසා ඒ අභියෝගය ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක් ලබා දෙයි.

 

කලාත්මක සිනමා නිර්මාණයක් කළේ සම්මාන උළෙලවල් වලට යොමු කිරීමේ අපේක්ෂාවෙන්ද?

කලාත්මක චිත්‍රපටයක් කිව්ව ගමන් අපි යම් ඇගයීමක් බලාපොරොත්තු වෙනවානේ. මේ චිත්‍රපටය අවසන් කර දැන් වසර තුනක් පමණ වනවා. මෙතෙක් කල් මේ නිර්මාණය තිරගත කරන්න පමා වුණ එක් හේතුවක් තමයි මෙය සම්මාන උළෙලවල් වලට යොමු කිරීම. මම බලාපොරොත්තු වූ ආකාරයේ ඉහළ සම්මාන ලැබුණේ නැහැ. නමුත් කිසියම් ඇගයීමක් ලැබුණා. ඒ ඇගයීම් තුළින් මගේ සිනමා ජීවිතය ශක්තිමත් කර ගැනීමට මට හැකියාව ලැබුණා. ප්‍රේක්ෂකයා පමණක් ජයග්‍රහණය කරන බලාපොරොත්තුවට වඩා චිත්‍රපට විචාරකයන් ජයග්‍රහණය කරගන්නත් බලාපොරොත්තුවක් තිබුණා.

 

සිනමා උලෙළවල් වලට යොමුකිරීම මේ සිනමාපටය තිරගත වීම පමා වීමේ එක් කාරණාවක් කියා ඔබ සඳහන් කළා. අනෙක් කාරණා මොනවාද?

වෙනත් කාරණා මට බලපෑවේ නැහැ. සිනමා හිමියන් සහ ප්‍රදර්ශන සමාගම් මාත් එක්ක බොහොම හිතවත්ව කටයුතු කරනවා. මම මෙතෙක් කළ චිත්‍රපට වලින් සිනමා සමාගම් වලට හා සිනමා ශාලා වලට ආර්ථික ලාභ ලබා දී තිබෙනවා. ඒ නිසා මම කුමන ධාරාවක චිත්‍රපටයක් කළත් තිරගත කරනවා. මෙයටත් මගේ පමාව තමයි තිබුණේ. මේ චිත්‍රපටයෙන් පසුව මම ‘වස්සානයේ සඳ’ කියන චිත්‍රපටය කළා. එය මැයි මසදී ප්‍රදර්ශනය වීමට නියමිතයි. ඒ වගේම ලබන අගෝස්තු මස මම තවත් චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කිරීමේ සූදානමින් ඉන්නේ. නොවැම්බර් මස තවත් චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කෙරෙනවා. මේ අවුරුද්ද තුළ චිත්‍රපට ප්‍රදර්ශනය වගේම චිත්‍රපට නිර්මාණය ගැනත් සැලසුම් කර තිබෙනවා.

 

ඔබ එසේ සඳහන් කළත් චිත්‍රපට පෝලිමක් ගැන මේ මොහොතේ කතා කරනවා. ඒ කාරණය උදයකාන්ත වර්ණසූරියට අදාළ නැද්ද?

සාපේක්ෂව කතා කළොත් මට එය එච්චර අදාළ නැහැ. අපි කුමන චිත්‍රපටයක් නිර්මාණය කළත් එය ප්‍රදර්ශනය කිරීමේ හැකියාව හා අනුමත කිරීම තියෙන්නේ ප්‍රදර්ශන සමාගම් වලට හා සිනමා ශාලා හිමියන්ට. විශේෂයෙන් ප්‍රදර්ශන සමාගම් වලට. චිත්‍රපට තිරගත කිරීමේ ක්‍රමවේදයක් තාම ලංකාවේ නැහැ. ඒ නිසා ප්‍රදර්ශන මණ්ඩලවල ඕනෑ එපාකම් මත තමයි චිත්‍රපටය තිරගත වීම සිදුවන්නේ. හොද වාණිජ සිනමා නිර්මාණයක් කළොත් ඔවුන් ඔවුන්ගේ වෙළෙඳ අරමුණු ඔස්සේ චිත්‍රපටය ඉක්මනට ඩැහැ ගන්නවා. එහෙම වුණාම මණ්ඩල අතර තරගයක් ඇති වෙනවා, මේ චිත්‍රපටය අපි මුලින් පෙන්විය යුතුයි කියලා. නමුත් කලාත්මක චිත්‍රපට වලට ඔය ඉල්ලුම නැහැ. චිත්‍රපටය කොතරම් ගුණාත්මක වුණත් ප්‍රේක්ෂක සහභාගීත්වය අඩු වෙනවා කියල ඔවුන් දන්නවා. ඒ නිසා එවන් චිත්‍රපට ඉක්මනට ප්‍රදර්ශනය කරන්න ඔවුන් පැකිලෙනවා. ‘මධුර චාරිකා’ චිත්‍රපටයට නම් මට එහෙම ගැටලුවක් මතු වුණේ නැහැ. හැම ප්‍රදර්ශන සමාගමක්ම වගේ එය ප්‍රදර්ශනය කරන්න කැමති වුණා. ඔවුන් දන්නවා මම කලාත්මක චිත්‍රපටයක් නිර්මාණය කළත් අතිශය විනෝදාත්මක චිත්‍රපට නිර්මාණය කරනවා කියන කාරණාව. කලාත්මක චිත්‍රපට වලට ප්‍රේක්ෂක සහභාගීත්වය අඩුයි කියන කාරණාව නිසා ආධුනික නිර්මාණකරුවන් අද ගැටලුවකට පත්ව තිබෙනවා. ආධුනික නිර්මාණකරුවෙක් වුණත් හොද වාණිජ චිත්‍රපටයක් කළොත් තිරගත කිරීමේ ගැටලුවක් නැහැ. පසුගිය කාලේ තිරගත වූ ‘හෝ ගානා පොකුණ’, ‘ආලෝකෝ උදපාදි’ වැනි නව නිර්මාණකරුවන්ගේ චිත්‍රපටවල දුටු වාණජ වටිනාකම නිසා ඉක්මනින් තිරගත වුණා.

 

මේ තත්ත්වය මගහරවා ගන්න නම් සිදුවිය යුතුයි කියා ඔබ දකින වැඩපිළිවෙළක් තිබෙනවාද?

එයට නිශ්චිත උත්තරයක් දෙන්න අපහසුයි. මම කලාත්මක චිත්‍රපට කියන්නේ ගුණාත්මක නොවන චිත්‍රපට නෙමෙයි. ගුණාත්මක වෙන්නෙ කලාත්මක චිත්‍රපට. බොහෝවිට එවැනි චිත්‍රපට වල ප්‍රදර්ශන මගහැරෙනවා. එයට චිත්‍රපට සංස්ථාව මැදිහත් වෙලා පෞද්ගලික ප්‍රදර්ශන සමාගම් හා එකතුවෙලා හෝ එවැනි චිත්‍රපට එකක් හෝ දෙකක් වසරකට ප්‍රදර්ශනය කරන්න කියලා තද නීතියක් යටතේ කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් ප්‍රධාන නගරවල රජයෙන් සිනමා ශාලා කිහිපයක් හදලා හොඳ නිර්මාණ ඒවාට මුදාහැරිය යුතුයි. ඒ වගේම අපි මොන දේ කිව්වත් අවසානයේ මේ හැමදෙයක්ම තීරණය කරන්නේ ප්‍රේක්ෂකයා. වැඩි දෙනෙක් ගුණාත්මක, විනෝදාත්මක චිත්‍රපට නරඹන්න යොමුවෙන ප්‍රේක්ෂකයෝ තමයි. කර්මාන්තයක් ලෙස මෙය නගාසිටුවන්න නම් අපිට මින් බැහැර වෙන්න බැහැ. ඒ චිත්‍රපට තුළින් සිනමා ක්ෂේත්‍රයට ශක්තියක් ලැබෙන්නේ නැහැ තමයි. ඒ නිසා වැදගත්ම දේ ප්‍රේක්ෂකයන්ගේ හදවතට කතා කරන චිත්‍රපට නිර්මාණය කිරීමයි.

 

නිදුක් මදුෂික