සංසාරණ්‍ය අසබඩ සුන්දර අත්දැකීමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200213Wasantha-(1)

ස්වකීය ආත්මයෙන්ම ගෙනා රංග කුසලතාවයකින් පොහොසත් වුව ද මේ අපූරු රංගධරයා අපට හමුවූයේ කලාතුරකිනි. ‘තුන්වෙනි යාමය’ චිත‍්‍රපටයෙන් රංගනයට පිවිස ඉනික්බිතිව ජර්මානු සිනමා නිර්මාණයක් වූ ‘සර්කස් ඔන් ද මූන්’ ඇතුළු සිනමා නිර්මාණ කිහිපයකට පමණක් දායක වූ වසන්ත කොටුවැල්ල නමැති ඒ රංගධරයා ඉන්පසුව ගම්පෙරළිය, චරිත තුනක්, සුර අසුර, අඳුකොළ, සුබ ප‍්‍රාර්ථනා, ගිනිගත් රැුයක් ඇතුළු ටෙලි නිර්මාණ කිහිපයක් සමග ආලින්දයට පැමිණියේය. ඒ මීට වසර කිහිපයකට පෙරදීය. කාලයකට පසුව දැන් ඔහුගේ රංගනයක් අපට දැක ගැනීමට හැකිව තිබේ. සයිමන් නවගත්තේගම ශූරීන්ගේ සාහිත්‍ය කෘතියකට අනුව සංජය නිර්මාල් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සංසාරණ්‍යය අසබඩ’ ටෙලි නිර්මාණය ඔස්සේ ඔහු මෙලෙස හමුවන්නේ භික්ෂුවකගේ චරිතයට දායක වෙමිනි. එලෙසින් කාලයකට පසුව හමුවන වසන්ත කොටුවැල්ල ප‍්‍රවීණයා සමග සඳැල්ල කළ පිළිසඳරකි මේ.

 

කොහොම ද ජීවිතය?

”ඉතාම සුන්දරව ගෙවී යනවා.”

 

ඒ විදියට සුන්දර කරගන්න විදිය ගැන පවසමු?

”හැමෝම ජීවත් වෙන්නෙ නිතරම තමුන් කැමැති දේ කරන්නයි. සමාජයේ බහුතරය පිළිගත් අර්ථවත් දේ කරමින් ජීවත් වීම මගෙත් අරමුණයි. 1995 වනවිට ලෝකයේ සිය දිවි හානි කරගැනීමේ ඉහළම ප‍්‍රතිශතය ඇති රට ලෙස සඳහන් වුණේ ශ්‍රී ලංකාව. එවැනි දේ අවම කිරීමේ සමාජමය වැඩසටහන් ක‍්‍රියාත්මක කරවීමට ඒවාට සක‍්‍රියවම දායක වෙලා වැඩ කළා. එවැනි දේ වෙනුවෙන් සමාජ මෙන්ම මනෝ විද්‍යාත්මකව මැදිහත් වී ස්වේච්ඡුාවෙන් සේවය කරමින් තවත් පිරිස් පුහුණු කිරීමට පවා දායක වුණා. සමාජය නගාසිටුවීමට එවැනි අංශ තෝරාගෙන කටයුතු කිරීම මානසිකව මා ලබන ලොකු තෘප්තියක්.”

 

එතකොට ඔබ වෘත්තියෙන්?

”එවකට මම සේවය කළේ රජයේ චිත‍්‍රපට අංශයේ චිත‍්‍රපට සංස්කරණ ශිල්පියකු ලෙසයි. පසුව වැඩ බලන ප‍්‍රධාන නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළා. ඉන් පසුව මෑත කාලීනව සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලෙස වසර තුනක් කටයුතු කළා. ඉන් පසුව සිය දිවි හානි කරගැනීමේ ස්වභාවය අවම කරවීම දක්වා වූ වැඩසටහන් වෙනුවෙන් සක‍්‍රිය වී සමාජය දැනුවත් වැඩසටහන් දියත් කළා.

ඊට අමතරව සරසවි සහ පදනම් ආයතනය යන අධ්‍යයන ආයතන වෙනුවෙන් එම ආයතන මෙහෙයවන චිත‍්‍රපට හා රූපවාහිනී ඩිප්ලෝමා පාඨමාලා සඳහා බාහිර කථිකාචාර්යවරයකු ලෙස දායක වෙනවා.”

 

කැමැති ද පුද්ගලික ජීවිතය ගැනත් කතා කරන්න?

”මගේ බිරිඳ දැන් විශ‍්‍රාමිකව සිටිනවා. පුතා විවාහ වෙලා. එයාට අවුරුදු තුනක දියණියක් සිටිනවා. එයා ඇමෙරිකාවට ගොස් වැඩිදුර අධ්‍යාපනය ලබා ඇවිත් මෘදුකාංග අංශයේ ජාත්‍යන්තරව බැඳී කටයුතු කරන කෙනෙක්.”

 

සංසාරාරණ්‍යය අසබඩ’ සමග ආයෙත් ඔබ රඟපාන්න පටන් ගෙන. ඒ ගැන කතා කරමු?

”කාලයක් මම රඟනොපා සිටියා. ඒ දිගු නිහැඬියාවෙන් පසුව අශෝක අතාවුදහෙට්ටි නිර්මාණය කළ ‘කන්දක් සේමා’ චිත‍්‍රපටයේ රඟපෑවා. ඒ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ නොහැකි තරමට මා පත්වුණේ සුමිත‍්‍රා රාහුබද්දගේ නවකතාව සහ එම නිර්මාණය ගැන උනන්දුවක් ඇතිවූ නිසයි. එයින් පසුව රඟපෑම සම්පූර්ණයෙන්ම වගේ අමතක කර තිබියදී සංජය නිර්මාල් නැවතත් මට ඒ ආසාව ඇති කළේ සයිමන් නවගත්තේගම ශූරීන්ගේ විශිෂ්ට කතාවක් අනුව මෙය නිර්මාණය වූ නිසයි. ‘වසන්ත අයියා කොහොම හරි මේ චරිතය බාර ගන්න’ කියලා සංජය නිර්මාල් මට කිව්වා. තවත් විදිහකට ගත්තොත් එදා ‘තුන්වැනි යාමයේ’ රඟපාද්දි එහි වෛද්‍යවරයාගේ චරිතය රඟපෑවෙ සයිමන් නවගත්තේගම මහතා. එදා මම ඔහු සමග මිත‍්‍ර වී රුසියානු හා වෙනත් සාහිත්‍ය කෘති රසවිඳි අයුරු කතා කළා. පසු කාලෙක එතුමාගෙ ‘සංසාරණ්‍යය අසබඩ’ බොහෝම ආසාවෙන් කියැවූ පොතක්. සර්ව කාලීනව පොදු ලක්ෂණ ප‍්‍රකාශ කෙරෙන අතර සමාජ විද්‍යාත්මකව සහ මනෝ විද්‍යාත්මක හරය ගුණය එයින් ප‍්‍රකාශ වන්නක්. මේ නිසා මේ චරිතය ඉතා උනන්දුවෙන් බාර ගත්තා.”

20200213Wasantha-(2)

සෑහෙන කාලයක් රඟනොපා සිටි ඔබ නැවත දර්ශන තලයට ආවාම දැනුන හැඟීම මොන වගේ ද?

”අපි මෙහෙම හිතමු. නිතරම අපි ගමට නොගියාට ගම තියෙනවනේ. දෙවරක් චක්කරය නිතර නොකිව්වාට අපට ඒක මතකයි. ඒ විදියට සවිඥානිකව වෙන් වෙලා හිටියට රඟපෑමෙන් අවිඥානිකව වෙන් වෙලා නැහැ. මුල් කාලයේදී රංගනයට මා දැඩි ලෙස බැඳී සිටි කෙනෙක්. චිත‍්‍රපට හැදීම කියන්නෙ ඇත්තටම හරිම අරුත්බර කාර්යයක්. ශ‍්‍රව්‍ය දෘෂ්‍ය ඒ කලාව වෙතින් සමාජයට ඉහළ බලපෑමක් කළ හැකියි. මට මේ නිර්මාණයට දායක වන්නට ලැබීම සුන්දර අත්දැකීමක්.”

 

මෙහි ඔබ රඟපාන්නෙ භික්ෂුවකගේ චරිතයක්. ඒ ගැන විස්තර කරන්න කොහොම ද?

”සමාජයේම එක්තරා පැතිකඩක් ගැන කතා කරන්නෙ. සම්ප‍්‍රදායික ගමක තියෙන චරිත යොදාගෙන නවකතාකරුවාගේ නිර්මාණය විස්තරාත්මකව ටෙලි සිත්තමකට හරවලා. මේ භික්ෂුව හරහා සමාජ විවරණයක් වෙනවා. කිසි කෙනකුට හිස නොනවන ඔහුගේම දර්ශනය මත පමණක් පෙනී සිටින භික්ෂුවක්. සයිමන් නවගත්තේගම මහතාගේ කෘතිවල තියෙන ගුණාංගය වන්නෙ එක් එක්කෙනාගේ කෝණය අනුව පරිකල්පනය කරගත හැකි ස්වභාවය. ඉතින් අපි බලමු පේ්‍්‍රක්ෂකයා මෙය ග‍්‍රහණය කරගන්නෙ කොහොම ද කියලා.”

 

අපි පටන්ගත් තැනට ආපහු යමු. ඔබ කිව්වනෙ ජීවිතය සුන්දරව ගෙවනවා කියලා. ඒ ජීවිතය ඔබට දැනෙන්නෙ කොහොම ද?

”පාසල් කාලයෙන් පසුව තරුණ ජීවිතයට එළැඹ ඉන්පසුව මැදිවියට පත්වූ දිවිය දක්වා අර්ථවත් විදියට ගත කළාය කියලා හිතෙනවා. හොඳ සෞඛ්‍ය ජීවන රටාවක් අනුගමනය කරනවා. ව්‍යායාම් කරනවා පිහිනීම කරනවා. ශාරීරික සෞඛ්‍යය සඳහා එහෙම කරද්දි මානසික සෞඛ්‍යය වෙනුවෙන් පොත පත පරිශීලනය කරනවා. එවිට මනස සැහැල්ලූ කරගන්න පුළුවන්.”

 

මේ විදියට ජීවත්වන මේ වසන්ත කොටුවැල්ල කවුද?

”සෞරග‍්‍රහ මණ්ඩලයේ පෘථිවිය නමැති ග‍්‍රහලෝකයේ වාසය කරන ඉතාම සාමාන්‍ය මිනිහෙක්.”

 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

20200213Wasantha-(3)