සමරු ඵලකයෙන් පුතු සොයන රණවිරු මවකගේ වේදනාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200531Pradeepa-(1)තිස් වසරක් තිස්සේ ශ්‍රී ලාංකීය ජනතාව බියෙන් ත්‍රස්ත කළ යුද්ධය අවසන් කිරීමේ සමරු උළෙල ඉකුත් 19 වැනිදා පැවැත්විණි. රූපවාහිනී නාළිකා ඔස්සේ ඒ අභිමානවත් උළෙල දෙස බලා සිටින මොහොතේ මගේ මතකය දිවගියේ ප්‍රදීපා ධර්මදාස ශිල්පිනිය ගැයූ පාන්දර ගම් දොරෙන් නික්මී නම් වූ ගීතයයි.

 

පාන්දර ගම් දොරෙන් නික්මී

උඹ සොයා පිටමං වුණා

බෝම රෑ බෝ වෙලා දියවන්නාව

අඳුරට ළං වුණා

පන්දමේ එළි දැල්වුණා මං

සමරු පළකෙට ලංවුණා

හීතලට සෙල් අකුරු ඇමිනී

බුදු පුතේ උඹ හමුවුණා

 

පුංචි සන්දියේ උණුසුමේ මයෙ

උන්නු හැටි උඹ සිහිවුණා

පුවරුවේ ශීතලට ගල් වී

පපුතුරම මයෙ ඇවිලුණා

 

දිනූ නිදහස නිනවු නැති රට

කරන මහතුන් ඉගිලුනා

දමා යන්නට බැරුව උඹ බුදු

පුතේ මයෙ පය පැටලුණා

 

මම තවත් වතාවත් යූ ටියුබයට ගොස් ඒ ගීතයට සවන් දුනිමි. ගීතය වෙනුවෙන් නිර්මාණය කළ රූප රචනයද නැරඹුවෙමි. වියපත් මවක් පන්දම් එළියේ ආධාරයෙන් රණවිරු ස්මාරකයෙ සඳහන්ව ඇති මියගිය සෙබළුන්ගේ  නාමලේඛනය කියවන අන්දම හිතේද නෙතේද කඳුළු ඉපැද්දුවේය.

මම ප්‍රදීපා ධර්මදාස ශිල්පිනිය ඇමතුවෙමි

 

රණවිරු සැමරුම රූපවාහිනියෙන් දැක්කාම මට ඔයා අලුතින්ම කළ සිංදුව මතක්වුණා. මං හිතන්නෙ ඔයාටත් ඒ සිංදුව මතක් වෙන්න ඇති

ඒ සිංදුව එදා දවසෙ ෆේස් බුක් එකේත් හුවමාරු වෙලා තිබුණා. යූ. ටියුබ් එකෙනුත් සමහරු බලලා තිබුණා. ගුවන් විදුලි නාළිකා වලත් ගීතය ප්‍රචාරය වෙලා ඒ කොයි ක්‍රමයකින් හරි මේ ගීතය හුඟක් දෙනෙක් අහලා දැකලා තිබුණ. ඒ අතුරින් කීප දෙනෙක් මට කතාකරලා ඒ වගේ ගීතයක් ගායනා කිරීම ගැන මට ස්තුති කළා.

ප්‍රදීපා පිළිතුරු දුන්නාය.

ඒ ගීතය ඔබටම ලැබෙන්නෙ කොයි විදිහටද?

දවසක්දා මට ශර්මිලා ආනන්ද කියලා කාන්තාවක් කතා කරලා ඇය ලියපු ගීතයක් තියෙනවා ඒක ගායනා කරවා ගත යුත්තෙ මා ලවාමයි කියලා කිව්වා.

මං කිව්වා මට වචන ටික වට්ස්ඇප් කරන්න කියලා. මම පදමාලාව බලලා තමයි වචනයක් දෙන්නෙ කියලා.

පස්සෙ ශර්මිලා මට වචන ටික එවලා තිබුණා.

ඈත ගම්මානෙකින් පාන්දරින්ම පිටමං වුණ වයසක අම්මා කෙනෙක් මේ රණවිරු ස්මාරකයෙ සටහන් කරල තියෙන තමන්ගෙ පුතාගෙ නම හොයන අන්දම මට මැවිලා පේන්න ගත්තා. මේ ගීතයේ වචන ටික කියවන කොට මගේ මතකය ගියේ බිහිසුණු යුද්ධය කාලෙට. මට මතක් වුණා පුතාලා දෙන්න ඉගෙන ගත්තු පාසලෙන් හදිසියෙ දුරකථන ඇමතුම් එන හැටි. ඒ ඇමතුම් ආපු ගමන් මම ස්කෝලෙට දුවල ගිහින් මගෙ පුතාව අරගෙන ගෙදර ආපු හැටි. ඇත්තටම ස්කොලෙන් කෝල් එකක් කියනකොටම මාව පිච්චෙනවා. ස්කෝලෙට කොටි ගහලද? බෝම්බ පුපුරුවලද වගේ දේවල් ඔලුවට වදදෙනවා. එතකොට මං ස්කෝලෙට දුවන්නෙ පිස්සුවෙන්  වගේ. මම එහෙමනම් තමන්ගෙ දරුවන් යුද්ධයට යවපු අම්මා කෙනෙක් බෝම්බයත් පිපිරුවා හමුදාවේ කෙනෙක් මළා. කියන කොට කොච්චර පිච්චෙන්න ඇද්ද කියලා මට කල්පනා වුණා. ඔය රණවිරුවො ජීවිතේ  දුන්නෙ රට වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන්. ඒ වීරයන්ගෙ නම් විතරක් ස්මාරකයක ලියලා මදි නේද කියලමයි මට හිතෙන්නෙ. ඒ වගේ අම්මා කෙනෙක්ගෙ සිතිවිලි ගීතයකට නගන්න පුළුවන් නම් ඒක මගෙ යුතුකමක් කියලා මට හිතුණා. මම ෂර්මිලාට කිව්වා මම සිංදුව කියන්නම් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. ඇත්තටම මම මේ ගීතය ගායනා කළේ ගීත රචිකාවගෙන් සත පහක්වත් නොගෙන.

මේ ගීතය ගයද්දී ඔබවත් ජාතිය වෙනුවෙන් ජීවිත පුදකරපු රණවිරුවකුගෙ මවකට දැනුණු කම්පනයම දැනෙන්න ඇති.

ඇත්තටම ගීතය ගයද්දීත් මගෙ ඇස් දෙක තෙත්වුණා. තමන්ගෙ පුතා යුද්දෙට යවල කඳුළු බීපු  අම්මල වගේ තමන්ගේ සැමියා යුද්දෙට යවලා සුසුම් හෙලපු තරුණු බිරින්දෑවරු කොයිතරම් හිටියද? ඔවුනතුරිනුත් අකාලෙ වැන්දඹු වුණු මගේ වයසෙ ගෑනු කොයිතරම්ද?

ඒ ගැහැනු තමන්ගෙ ගැහැනු කමත් රැකගෙන වැන්දඹුවො විදිහට ජිවිතයට මුහුණ දෙන්නෙ කොහොමද? මේ ගීතය ගයද්දී මම ඒ කම්පනයෙන් දැඩිව පීඩා වින්දා.

 

ප්‍රදීපා ධර්මදාස හැමදාම රට වෙනුවෙන් කම්පා වුණු කාන්තාවක් නේද?

ඔයාටත් මතක ඇති මම 1997 අවුරුද්දෙදි කඳුළු තොටුපොළ කියලා මගේ පළමුවැනි ගී එකතුව ජනගත කළා. ඒ වෙනුවෙන් කොළඹ මහජන පුද්තකාලයෙදී උත්සවයක් පැවැත්තුවා. මේ උත්සවයේදී මම මගේ ගී එකතුව පිරිනැමුවෙ කඹුරුපිටිය පැත්තෙ රණවිරු මවකට ඇය ඇගේ පුතුන් සියලු දෙනාම රට වෙනුවෙන් පරිත්‍යාග කරපු උතුම් කාන්තාවක්. ඉතින් එදා මම මගෙ ගීත එකතුව ඇයට පිළිගන්වලා එදා විකුණුනු සංගීත තැටි වලට ලැබුණු මුදල් ඔක්කෝමත් අර කාන්තාවට දුන්නා රණ විරුවන් ගැන වගේම ඔවුන්ගේ මව්වරු ගැනත් මම එදා ඉඳලම බැලුවෙ  ගෞරවයෙන් භක්තියෙන්.

ඒ වගේම පහුගිය කාලෙ අපේ රටේ රණවිරු දඩයමක් තිබුණා. රණවිරුවො යුද්ධය කළා කියලා ඔවුන් දංගෙඩියට අරන් යන්න උත්සාහ කළා. ඒ වෙලාවෙත් මට දැනුණු කම්පනයක් හැබැයි එදා 19 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කළ කතාවෙන් පස්සෙ මට යම් සැහැල්ලුවක් දැනුණා. ඔහුත් රණවිරුවන්ට ආදරය කරන උතුම් මිනිසෙක්. දැන් මට විශ්වාසයක් තියෙනවා. තමන්ගෙ පුතුන් රට වෙනුවෙන් දන් දුන් අම්මාවරුනුත්, තමන්ගෙ සැමියන් රට වෙනුවෙන් දුන් තරුණ බිරින්දෑවරුනුත් අසරණ වෙන්නෙ නැහැ කියලා ඒ විශ්වාසය ඒ බලාපොරොත්තුව මට සහනයක්.

ප්‍රදීපා ධර්මදාස කියාගෙන යන්නේ වක්කඩකින් වතුර ගලන්නාක් මෙන් එක දිගටය මට හැඟෙන්නේ ඇයි දේශප්‍රේමී ගීතයක් ගායනවා කියාය. ගැයූ මුල් ගීතයේ පටන්ම අර්ථවත් ගීතම ගැයූ ප්‍රදීපා කවදාවත් අරුත්සුන් ගීත ගයා නැත්තේමය.

 

ගීතයක් ගයන්න කලින් යම් පදමාලාවකින් ඔබ බලාපොරොත්තු වෙන අරමුණක් තියෙනවද?

මම ප්‍රදීපාගෙන් ඇසුවේ පෙර කී කාරණා නිසාමය.

ඇත්තටම ම ගීතයක් ගයන්න කලින් ඒ පදමාලාව ගැන හොඳටම හොයලා බලනවා. ඒ ගීතය සමාජයට බලපාන්නෙ කොහොමද? ඒකෙ සර්වකාලීන වටිනාකමක් තියෙනවද? තරුණ පුතුන් ඉන්න අම්මා කෙනෙක් විදිහට ඒ ගීතය ගායනා කළාට කමක් නැද්ද වගේ කාරණා ගැන බලනවා. ඒ අනුව මම තෘප්තිමත් වෙනවනම් විතරයි මම යම් ගී පදමාලාවක් ගායනා කරන්නෙ.

20200531Pradeepa-(2)

ඔබ ඇමැති බිරිඳක් කියන එකත් ගීතයක් තෝරා ගැනීමේදී වැදගත් සාධකයක් වෙනවා ඇති.

ප්‍රදීපා යනු වර්තමානයේ අධ්‍යාපන අමාත්‍ය ධුරය හෙබවන ඩලස් අලහප්පෙරුම මහතාගේ ආදරණීය බිරිඳ වන බැවින් විමසුවෙමි.

ඇමැති බිරිඳක් කියන එක නම් මට කොහොමටවත් වැදගත් වෙන්නෙ නෑ.

මම ගී පද මාලාවක් දිහා බලන්නේ මිනිස්සුන්ගෙ පැත්තෙන් මිස මගේ ඇමැති සැමියාගෙ පැත්තෙන්වත් ආණ්ඩුව පැත්තෙන්වත් බලලා නෙවෙයි. මට වැදගත් වෙන්නෙ මං ගයන ගීතය මිනිසුන්ට වැඩදායක නිර්මාණයක් වීම විතරයි.

කොටින්ම කියනවනම් මම 1992 දී දූ විල්ලෙන් සැදුණු ලියේ ගීතය ගැයූ ප්‍රදීපා ධර්මදාසමයි අදත්.

 

දූවිල්ලෙන් සැදුණු ලියේ

බාලොලියේ බාල ලියේ

ප්‍රදීපාගේ ගැඹුරු සංවේදී ගී හඬ මගේ මතකයේ නින්නාද දෙයි. ඉනික්බිති ඇය විටින් විට ගැයූ

සුපෙම් හැඟුම් ඔබෙන් එපා

සොයා දියව් මට සරණක්

හා හා බලා ගෙනයි

නෙක උයන් සිහිනයේ

දොරකඩ

වැනි ගීත ලැයිස්තුවක්ද මතකයේ අලුත් විය. ඒ හැම ගීතයක්ම එක පැත්තකින් ප්‍රදීපාවම අහන්නෙ තව පැත්තකින් අරුත්බරය සමාජය වැඩදායකය.

ලංකාවේ අනෙකුත් ගායිකාවන් මෙන් ප්‍රේම ගීත මහ ගොඩක් ගයා නැතත් ප්‍රදීපා ගැයු ප්‍රේමගීතයක් වුවද අපූරුය. අරුත්බරය.

ඇය ඒකපුද්ගල ගීත ප්‍රසංගක් පවත්වන්නට යන බවද පසුගියදා ආරංචි විය. කොරෝනා විෂබීජය නිසා සියල්ලම ‘ලොක්ඩවුන්’ වෙද්දී ඇගේ ගී ප්‍රසංගයද කල් යන්නට ඇත.

 

ඔයා ප්‍රසංගයක් කරනව කියලා ඒ දවස්වල කිව්වා නේද?

මම ප්‍රදීපාගෙන් විමසුවෙමි

මේ දවස්වල මම කළේ මගේ ගීත ලැයිස්තු ගත කළ එක බලාගෙන යනකොට ප්‍රසංග දෙකකට සෑහෙන්න සිංදු මං කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රසංගයක තියන්න පුළුවන් උපරිම ගීත විසිපහයි. ඒ විසි පහම එකකට එකක් වෙනස් වෙන්නත් ඕනෑ ඒ වගේ වෙනස් තේමාවන් වල වෙනස්ම ගීත මහ ගොඩක් මං කියලා තියෙනවා. ඒ අතුරින් ප්‍රසංගෙකට ගැලපෙන ගීත තෝරන එක තමා මේ දවස්වල  කළේ ඒ වුණාට මේ ප්‍රසංගය මේ අවුරුද්දෙ නම් කියන්න බැරිවෙයි කියලයි. මං හිතන්නෙ’’

20200531Pradeepa-(3)

ඒ කියන්නෙ මේ කොරෝනාව ඔයාටත් ලොකු  අසාධාරණයක් කරලා තියෙන්නෙ.

මට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම අසාධාරණයක් කළේ. ඒ වුණත් මම මේ ව්‍යසනය දිහාත් බලන්නෙ සුබවාදීව. ඩලසුත් දවසක් කිව්වා මේ කොරෝනාව අපට ගුරුවරයෙක් වගේ කියලා. ඒ කියන්නෙ මෙයා අපිට පාඩමක් කියලා දීලා තියෙන්නේ මොකක්ද දන්නවද ඒ පාඩම අපි හැල්මෙ දුවපු ජාතියක් පවුලෙ සාමාජිකයො පවා එකිනෙකා ඈත් වෙලා හිටියෙ. අඩු ගණනෙ පවුලෙ හැමෝම එකතු වෙලා එක බත්වේලක් කාපු කාලයත් කාට හරි මතකද? නෑ මම එක ටෙලිනාට්‍යයක් බලන කොට අනිත් එක්කෙනා පේස් බුක් එකේ. තව කෙනෙක් යූ ටියුබ් ගිහින් තව කෙනෙක්  තව නාළිකාවක් බලනවා. කොටින්ට අපිට කන්න විවේකයක් තිබ්බෙ නැහැ. මේ අවිවේකී භාවයට හොඳම විසඳුමක් තමයි කොරෝනා දුන්නෙ

ඒ වගේමයි හැමෝම මොනව හරි ගොවිතැනක් කළා පෝච්චියක හරි මිරිස් ගහක් හිටෙව්වා. රෑට කඩෙන් කන පුරුද්දට තිත තියලා ගෙදර බතකුයි සම්බෝලෙකුයි හදාගෙන කෑවා. වෙනද හැම තිස්සෙම පාරෙ හිටපු අපි නිදහසේ ගෙදර සිටියා. වත්තෙ පිටියෙ හිටියා. සරල ජීවිතයක් ගත කළා මේවා පාඩම් නෙවෙයිද මං අහන්නෙ

ප්‍රදීපා කතා කරයි

ඒ කතාබහට විරාමයක් වැටුණු සැනෙකින් මම යළිත් ඇගේ ගීතාවලියට අවතීර්ණ වූයෙමි.

 

මෙච්චර කාලයක් ගැයූ ගී අතරින් වඩාත්ම කැමැති ගීතය මොකක්ද?

මම අසමි

දූවිල්ලෙන් සැදුණු ලියේ

මං ජනප්‍රිය වුණේ ඒ ගීතයෙන් මොන සංගීත වේදිකාවට නැග්ගත් ඒ ගීතය නොකියා මම බිමට බැහැලා නෑ

එහෙත් ඇය ගැයූ සිහිනයේ දොරකඩ ගීතයද මගේ මතකයේ අලුත් වෙයි එහි පද කිහිපයක් හෝ නොලියා සිටින්නට මසිත ඉඩ නොදේ

සිහිනයේ දොරකඩ

නෙපිපෙන පැතුමකි ඔබ මට

නිදි නැති සිත ගිනි අවුලන

සැඩ මාරුතයක් විය ඔබ මට

 

ශාන්ත කුමාර විතාන

20200531Pradeepa-(4) 20200531Pradeepa-(5) 20200531Pradeepa-(6)