අනන්තය



2016-10-30-ent-100

අනන්තය ගැන මා මුලින්ම ඇසුවේ ගණිත පාඩමේදීය. අපට ගණිතය ඉගැන්වූ එල්වින් සර් අනන්තය විස්තර කළේ සමාන්තර රේඛා දෙකක් එකට එකතුවන ස්ථානය ලෙසිනි.

මම කට ඇරගෙන බලා සිටියෙමි.

සමාන දුරකින් දිවයන සමාන්තර රේඛා දෙකක් කවදාවත් එකට එකතුවන්නට පුළුවන් කමක් නැත. එසේ නම් මේ අනන්තය කුමක්ද? එය පිහිටියේ කොහේද?

මේ ප‍්‍රශ්නයට පිළිතුරක් ලැබුණේ ඉකුත් සතියකදීය.

අපි අනන්තයට ගියෙමු.

ලාෆ් ලෙෂර් ආයතනය මගින් අප කැඳවාගෙන ගිය ඒ අනන්තය පිහිටියේ නැගෙනහිර වෙරළේ පාසිකුඩාහිය.

අලි හිස් කැටයම් දෙකක් අතරේ සටහන් කර තිබූ අනන්තය නම් අකුරු පුවරුවක් අසලින් අප අනන්තයට ඇතුළුවන විටම නෙත්ගැටුනේ සුන්දරම දර්ශනයකි. විවිධ තුරු ලතාවන්ගෙන් සහ මලින් සරසන ලද උද්‍යානයේ මැදින් අහසට එසවුණු වහල කිහිපයකි. වම් පස වහල පොල් අතු වහල සේද දකුණු පස වහල පෙති උළු වහල සේද පෙනුණි.

ඉනික්බිති කඳුකර මාවතක් ඇරඹිණි. ඒ ඇරඹෙන තැන රවුමට සාදන ලද පොකුණකි. මහලින් මහලට වතුර වැටෙන මේ පොකුණට එබී බැලූ විටම පොකුණේ තැන තැන විසිරී සිටි පාට පාට මාළු රැුල එකම දිශාවකට එකම ගුලියට පිහිනන්නට පටන්ගත්හ. උන්ගේ ආචාර සමාචාර මධ්‍යයේ අපි අනන්තයට ඇතුළුවීමු. ආයුබෝවන් වචනය බොහෝ වාර ගණනක් අපට ඇසුණි.

ලොබිය ලෙස නම් කෙරුණු මේ ස්ථානයේ හැමතැනම වූයේ වතුරය. වතුරින් පිරුණු වැනීසිය බඳු මේ ලොබියේ අපට ගමන් කරන්නට සිදුවූයේ වතුර අතරේ සවිකරන ලද කැට මතිනි. ඉනික්බිති පහළට යනු පිණිස, පඩිපෙළවල් දෙකකි. ලොබියෙහි පහළින් වූයේ භෝජනාගාරයයි. දකුණු පැත්තෙන් හෝටල් කාමර සමූහයත් පිහිනුම් තටාකයත් වූ අතර වම් පැත්තේ විලා ලෙස හඳුන්වන හෝටල් කාමර කිහිපය තිබිණි.

 

2016-10-30-ent-101

ඉදිරියෙන් වූයේ හරිත පැහැගත් උද්‍යානයත් නීල පැහැගත් සාගරයත්ය. සුදුම සුදු පාට පෙණ කැටි විසිරුවන සයුරු වෙරළේ හෝ හඬ මියුරු සංගීතයක් සේ නිරන්තරවම ඇසෙයි.

අනන්තය ඇත්තේ ඒ වෙරළ තීරයේ විය යුතුයැයි මට මොහොතකට සිතිණි.

වම්පස පිහිටි අපූරු හැඩයක් ගත් ගොඩනැගිල්ලේ තට්ටු තුනකි. ඒ හැම තට්ටුවකම කාමර දෙක බැගින් කාමර හයකි. ලී පඩිපෙළවල්වල කිසියම් ලතාවක් පෙනෙයි. මෙබඳු ගොඩනැගිලි කිහිපයක්ම මට පෙනෙයි. මට හිමිවුණු කාමරය තිබුණේ දෙවැනි තට්ටුවකය. එහි පිටුපසට පෙනෙන්නේ පිහිනුම් තටාකයයි. රවුමට හෝ හතරැුස් හැඩයට හෝ තනා නැති මේ පිහිනුම් තටාකය වෙනස්ම හැඩයක් ගත්තේය. මේ පිහිනුම් තටාකයට ඔබ්බෙන් තවත් කාමර සංකීර්ණයකි.

හැබැයි අනෙක් පැත්තේ පිහිටි විලාවක් යනු තනිකරම නිවෙසකි. විසිත්ත කාමරය, නිදන කාමර, නාන කාමරය සේම පුංචි පිහිනුම් තටාකයක් සහිත ආලින්දයක් ද මේ විලාවකට අයත්ය. විලාවේ විසිතුරු දැක අවසන පිටුපස බරාඳයට පැමිණි විට පෙනෙන්නේ හරිත උද්‍යානය සහ නීල සාගරයයි. මේ දසුන් නෙතට රසඳුනකි. විඩාබර ජීවිතය මොහොතකට සංසුන් කරවන අංජන කල්කයකි.

මම හරිත උද්‍යානයට පියවර තබමි. මුළු රටම නියඟයෙන් පීඩා වින්දත් මේ අනන්තයේ හරිත උද්‍යානය නම් තවමත් කොළපාටය. නියඟයේ පීඩාව මෙහි තණකොළවලට යම්තම්වත් දැනී නැති සේය. පිළිවෙළට කපා තිබූ තණපත් මතින් ඇවිද යන විට යටිපතුල් සම්භාහනය කරන්නාක් සේ දැනෙයි. පොල් ගස් අතරේ තැන් තැන්වල වැටකෙයියා ගාල්ය. මේ කේතකී යායේ ඇතුළට රිංගාගත් විට හිත නිවී පහන් වෙයි.

හරිත උද්‍යානය කෙළවර මුහුදු වෙරළයි. ඉනික්බිති රළ පිට රළ පෙරළෙන නීලවර්ණ නැගෙනහිර මුහුදයි. මේ රළගෙඩිවලින් දෙපා නහවාගෙන මොහොතකට ඈත බලමි. මේ අනන්තය පිහිටා ඇත්තේ තුඩුවකය. මේ තුඩුව විචිත‍්‍ර දසුනක් සේ පෙනෙයි. තුඩුවේ එහා කෙළවරේ සිට මෙහා කෙළවර දක්වා ඇවිදයන්නට හිත කියයි. ඒ වෙනුවෙන් සුසැදි වෙරළ තීරය මනරම්ය. හැබැයි පාසිකුඩාවට අයිති කුඩා පාසිවලින් වෙරළේ තැන තැන දුඹුරු පාට ගුලි සෑදී තිබෙයි. එහෙත් වෙරළ සංචාරයට එය බාධාවක් නොවේ.

මම අනන්තය දුටු බවක් එල්වින් සර්ට පවසන තෙක් මට ඉස්පාසුවක් නැත. එහෙත් මේ අනන්තයත් ගණිතයේදී ඉගැන්වෙන අනන්තයත් එකක් නොවන බව එල්වින් සර් මට පහදා දෙන්නට බැරිකමක් නැත.

 

ශාන්ත කුමාර විතාන

 

2016-10-30-ent-102
2016-10-30-ent-99
2016-10-30-ent-98
2016-10-30-ent-97
2016-10-30-ent-96
2016-10-30-ent-95
2016-10-30-ent-94
2016-10-30-ent-93