දැන් ඇස් පුංචි කර කර කෝලම් කරනවා



2017-03-16-ent-297

බොහෝ දෙනා ආදරය කරන මංජුලා කුමාරි දැන් තනතුරක් දරනවා. ඒ තමයි මව් පදවිය. ඉතිං ඇය තම පුතා සමග කාලය ගත කරන විදිහ අපත් සමග මෙලෙස බෙදා ගත්තා.

“මගේ චූටි පුතාගේ නම ඔලිත සංතුල්. දැන් එයාට අවුරුදු එකහමාරක් වෙනවා. අනේ එයා දැන් හරිම හරි හුරතල් පුංචි පැටියෙක්. එයා ළඟින් දැන් මට හෙලවෙන්න හිතන්නෙම නෑ. එයා නිදාගත්තම හරිම පාළුයි. සමහර දවස්වල එයා නිදාගත්තම එයා ළඟට වෙලා මම ටිකක් වෙලා එයා දිහා බලාන ඉන්නවා. සමහර වෙලාවට පුංචි පුතා හීනෙන් හිනාවෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට එයාගෙන් ඇස් අහකට ගන්න හිතෙන්නෙම නෑ. ඉතින් ආයේ ගෙදර තියෙන වැඩ මතක් වෙද්දි, ඔන්න මම ටක්ගාලා ගිහින් පුතා නැඟිටින්න කලින් ඒ වැඩ ටික කරගන්නවා.

පුතා එක්ක දවස ගෙවෙද්දී කාලය යනවා තේරෙන්නෙම නෑ. එයා හරි එක එක කෝලම් තමයි කරන්නේ. ඇස් පුංචි කර කර එක එක කෝලම් කරනවා. පුතා ටිකක් දඟයි. පඩිපෙළ දිගේ යන්නම තමයි හදන්නේ. ඒ නිසා අපි බලාගෙනම තමයි ඉන්නේ. සමහරදාට අපිට පේන්න බොරුවට බිම පෙරළෙනවා.

පුතාට කෑම කවද්දි එයා පුංචි කාලේ ඉඳන්ම මම එක තැනක ඉඳගෙන කෑම කවන්න පුරුදු වුණා. හැබැයි ඉතින් කෑම කවද්දි වෙලාවනම් යනවා. සමහර දවස්වලට කට වටේම කෑම ගාගන්නවා. පුංචි කාලේ ඉඳන්ම මම පුතාට සින්දු අහන්න පුරුදු කළා. දැන් එයා සින්දුවලට හරි කැමතියි. සමහර වෙලාවට සින්දු යද්දි එයා ලා... ලා... කිය කියා තාල අල්ලනවා. එයා හරිම හරි හුරතල් පුංචි පැටියෙක්.”