යමුනා විනෝදනී 'අසුරු සැනින්' ගයයි...



2017-06-16-ent-14   

එදාමෙදා තුර ලොව බිහි වූ සෑම පෙම්වතෙකුගේම පෙම්වතියකගේම සැබෑම පේ‍්‍රම ප‍්‍රාර්ථනාව වන්නේ මෙයයි. පේ‍්‍රමය පවතින මුත් එක් වහළක් යට කූඩු තනන්නට වරම් අහිමි වූ පෙම්වතුන් ද හැම මොහොතකම ප‍්‍රාර්ථනා කරන්නේ ඔවුන්ගේම වී යළිත් ඉපදෙන්නටය. එනිසාම දශක කිහිපයක් තිස්සේත් ජනප‍්‍රියත්වයෙන් බිඳ කුදු අඩු නොවී අසුරු සැනින් ගීතය ශ‍්‍රාවක සිත්සතන් අතර නිදන් වී පවතී.

ප‍්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා කුසුම් පීරිස් අතින් පද ලියැවී ලෙස්ලි අශෝකා අතින් සංගීතවත් වූ මේ ගීතය ගායනා කළේ යමුනා විනෝදනී නම් වූ ගායන ශිල්පිනියයි.

ඇය,

යමුනා විනෝදනී සිය ජීවිතයේ පවත්වන පළමු ඒක පුද්ගල ගී ප‍්‍රසංගය නම් කර ඇත්තේ ද අසුරු සැනින් නමිනි. අසුරු සැනින් මේ මස 30 වැනිදා සිකුරාදා සන්ධ්‍යාවේ කොළඹ මරදානේ ටවර් රඟහලේ දී වේදිකා ගතවීමට නියමිතය.

‘මම ගුවන් විදුලියෙන් සමුගෙන යන්න ළඟයි. ඊට කලින් මේ ගී ප‍්‍රසංගය පවත්වන්න අදහස් කළා’.

ඇය, කියන ලෙසින්ම යමුනා විනෝදනී ගුවන් විදුලි නිර්මාණයකි. ඇය ගීත සම්පාදිකාවක ලෙස ගුවන් විදුලියට එක්ව ගායිකාවක ලෙසද කැපී පෙනෙමින් ගුවන් විදුලියේ රස්සාව කරගෙන සිටියාය. එහෙත් ඇය ගුවන් විදුලියට හා පුරා කියා පා නැගුවේ ඇගේ වයස අවුරුදු දහයක් දොළහක් තරම්ව තිබියදීය.

මගේ අම්මා නැතිවෙන කොට මගේ වයස අවුරුදු දහයයි. එදා ඉඳලා මාවයි අක්කවයි අයියවයි බලාගත්තෙ මගේ තාත්තා ලෙස්ලි අශෝකා. එයා ගුවන්විදුලි වාදක මණ්ඩලේ සේවය කළ හාමෝනියම් වාදකයෙක්. ඉතින් තාත්තා ගුවන්විදුලියෙ රස්සාව කරලා ගෙදර ආවට පස්සෙ හාමෝනියම වාදනය කර කර ගීත ගායනා කරනවා. මමත් රුක්මණී දේවිගෙ සිංදු කියනවා.

මගේ ගායන හැකියාව දැකලා තාත්තා මාව හඳ මාමා වැඩසටහනට එක්ක ගෙන ගියා. එදා හඳ මාමා ඉදිරිපත් කළේ රංජිත් පීරිස් මහත්තයා. මම එදා ගායනා කළේ බඹරෙක් ගැන ගීතයක්.

 

ලස්සන වන මල් ගස්වල පිපිලා

ලස්සන බමරුන් එති පියඹාලා

කොයිබද බමරෝ මේ දිවයන්නේ

මොනවද ඔබ ඔය මලට කියන්නේ....

 

යමුනා විනෝදනී ගුවන්විදුලියට පා තැබුවේ ඔය විදිහටය.

ඔය දවස්වල යමුනා, කළුබෝවිල බුද්ධඝෝෂ විදුහලේ ඉගෙන ගනිමින් සිටියාය. පසුව මහරගම බුවනෙකබා විදුහලෙන් උගත් ඇය ශාස්ත‍්‍රීය ගායනය හා සංගීතය උගත්තේ ධන්වන්ත‍්‍රී වික‍්‍රමසේන ගුරුතුමියගෙනි.

පාසැල් අධ්‍යාපනයෙන් පසුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ යමුනාට රට පතල නම් ඇති ගුරුවරු රැසකගෙන්ම ශිල්ප ලැබීමේ වාසනාව උදා විය.

බී. වික්ටර් පෙරේරා, සනත් නන්දසිරි, විජයරත්න රණතුංග ඞී.ආර්. පීරිස්, නන්දා පෙරේරා, අයිවෝ ඩෙනිස් ඒ අතරින් කිහිප දෙනෙකු පමණි. ‘‘මම සෞන්දර්ය විශ්වවිද්‍යාලෙ අවසන් අවුරුද්දේ ඉගෙන ගනිමින් ඉන්න කාලෙ ගුවන්විදුලියෙන් වේකන්සි වගේකට සෞන්දර්ය විශ්වවිද්‍යාලෙ කිහිප දෙනෙක් ඉල්ලා තිබුණා. මම ගුවන්විදුලියට ආවෙ ඒ වෙලාවෙදී. මාවත් තෝරා ගෙන තිබුණා. මට ලැබුණෙ ගීත සම්පාදක තනතුර.’’ ගීත සම්පාදනයට ගුවන්විදුලියට ගිය යමුනා වැඩි කල් නොයවාම සරල ගී ශ්‍රේණිගත පරීක්ෂණයට පෙනී සිටියාය. එහි ප‍්‍රතිඵලය, ඇයට ඒ ශ්‍රේණිය හිමිවීමය.

ඊළඟට ඇයට සරල ගී ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබිණි.

මම ගුවන්විදුලියට ගායනා කළ මගේ පළමුවැනි සරල ගීතය මව්ගුණ ගීතයක්

 

2017-06-16-ent-17මධු මිහිරි රසය කලතා

මා බිහි කළ බුදු මෑණී

උපදින හැම වාරයකම

වෙන්න මගේ මෑණී.....

 

ටියුඩර් සමරවික‍්‍රම ලියු මේ ගීතය සංගීතවත් කළෙත් මගේ තාත්තා ලෙස්ලි අශෝකා.

මගෙ දෙවැනි සරල ගී වැඩසටහනට තමයි අසුරු සැනින් ගීතය ගායනා කළේ. මේ කාලේ කුසුම් පීරිස් කියන්නේ ජනප‍්‍රිය නිවේදිකාවක්. මෙයා නිකන් ඉන්න වෙලාවට කවි ලියනවා. එහෙම ලියන නිර්මාණ තමයි ඔය නිරංජලා සරෝජිනීලා එහෙම ගායනා කළේ. ඉතින් මම කුසුම් අක්කාට කිව්වා මට සරල ගී වැඩසටහනට ගීතයක් ලියලා දෙන්න කියලා. එයා දින කීපයකින් අසුරු සැනින් ලියලා දුන්නා.

පේ‍්‍රම කීර්ති ද අල්විස් අයියත් ඒ කාලෙ හරි දක්ෂ ගීත රචකයා. මට කොරිඩෝවේදී මුණ ගැහෙනවා. හිනා වෙලා යනවා. ඒත් මට බයයි මෙයාට ගීතයක් ලියලා දෙන්න කියන්න.

ඒ වුණත් මෙයාගෙ සිංදුවල අමුතු හැඩයක් තිබුණා. ඉතින් එක දවසක්දා කොරිඩෝවේදී හමුවුණු වෙලාවක මම බයෙන් බයෙන් වචන එකතු කරලා, පේ‍්‍රම් අයියා මටත් සිංදුවක් ලියලා දෙනවද කියලා ඇහුවා.

පේ‍්‍රම් අයියා හිනාවෙලා ගියා. ඊට දවස් දෙක තුනකට පස්සේ ආයෙමත් කොරිඩෝවෙදී හමුවුණාම මම, පේ‍්‍රම් අයියෙ මගෙ සිංදුව කියලා මතක් කළා. මං ලියපු සිංදුවක් නම් ඇති. හැබැයි ඒක එක ගායිකාවක් එපා කියලා කියපු එකක් කියලා පේ‍්‍රම් අයියා කිව්වා.

කමක් නෑ, මට ඒක දෙන්න කියලා මම කිව්වා.

පහුවෙනිදා පේ‍්‍රම් අයියා මට ගෙනත් දුන්නු සිංදුව තමයි,

 

පේ‍්‍රමයයි වෛරයයි අතරේ

වෙනස කෙස් ගසකට සමයි

බිඳුණුදා පූජාව පේ‍්‍රමයේ

ඔහුගෙ ආගම වෙරයයි......

 

මේ ගීත දෙක යමුනා විනෝදනී ගීතාවලියේ අග‍්‍රගණ්‍ය ගීත නිර්මාණ දෙක බව අවිවාදිතය. යමුනා විනෝදනීගේ නම ගුවන්විදුලි ගීත ශ‍්‍රාවකයන් අතර ඔසවා තැබීමට මේ ගීත දෙක සමත් විය.

එහෙත් යමුනාගේ තව තවත් සරල ගීවලට මනරම් ගී රැුසක්ම ගැයිණි. සමහරක් යුග ගීය. ඒ ගී අතරද අනගි මුතුකැට ඉතිරිව පවතී.

 

ඔබ ළං වී මා නවතින මොහොතේ

හද අවිවේකයි හිතට විවේකයි

පේ‍්‍රම නිම්නයේ දෝංකාර දෙන

ආදරයේ හඬ මිහිරියි සොඳුරුයි.....

 

2017-06-16-ent-15‘‘මේ ගීතයට තනුව දාලා දුන්නෙ සනත් නන්දසිරි සර්. ගායනා කරන්න මාත් එක්ක එකතු වුණේ එඞ්වඞ් ජයකොඩි අයියා. මෙයා සෞන්දර්ය විශ්වවිද්‍යාලෙ මට වැඩිය අවුරුදු තුනකින් වැඩිමල් අයියා කෙනෙක්. ඒ කාලෙ ඉඳලම මගෙ හොඳ යාළුවෙක්. ඉතින් එඞ්වඞ් අයියාට කියපු ගමන් එයා මගෙත් එක්ක මේ යුග ගීතය ගායනා කරන්න ඉදිරිපත් වුණා.

යමුනා විනෝදනී ගීතාවලියේ තවත් ගීත බොහෝය. ඒ අතරින් තෝරා ගත් නිර්මාණ පහළොවක් යමුනා අසුරු සැනින් ප‍්‍රසංගයට ගයන්නීය.’’

‘‘මගෙත්තෙක්ක යුග ගී ගයන්න එඞ්වඞ් ජයකොඩි, දයාරත්න පෙරේරා, රෝහණ බෝගොඩ සහ තර්ෂණ මාධව පෙරේරා එකතු වෙනවා. මේ අතරෙන් තර්ෂණ මාධව කියන්නේ මගේ චූටි පුතා. එයා මේ වෙද්දී සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙ පළමු වසරෙ ශිෂ්‍යයෙක්. නමුත් ඔහුට හොඳට වාදනය කිරීමේ හැකියාවක් තියෙනවා.

මැන්ඩලීනය සහ ගිටාරය ඔහුට දක්ෂ ලෙස වාදනය කළ හැකියි. ඒ නිසා මේ ප‍්‍රසංගයෙදී පුතාගෙ වාදන අංග දෙකකුත් ඉදිරිපත් කෙරෙනවා. මගෙ තාත්තා මාව ඉස්සරහට ගෙනාව විදිහටම මමත් පුතාව ඉස්සරහට ගෙනල්ලා තියන්න ඕනෙ. ඊට පස්සේ පුතා එයාගේ ගමනක් යයි.’’

යමුනා විනෝදනීගේ වත්මන් ප‍්‍රාර්ථනය එයයි.

ඔබබේ වී මා මගේම වී ඔබ

අපේම වී අප ඉපදේවා..... කියලා ප‍්‍රාර්ථනා කළේ කවුරු වෙනුවෙන් ද?

කතාබහ අවසන් කරන්නට මත්තෙන් මම යමුනාගෙන් රහසක් ඇසුවෙමි.

එයට ඇගේ පිළිතුර වූයේ සිනාවකි.

ඒක අහන්න ඕනෙ කුසුම් අක්කාගෙන් ඇය අනතුරුව කීවාය.

‘‘එතකොට ඔබේම වී උපන්නේ කව්ද?’’

‘‘එයා නෙවිල් පෙරේරා.. මගෙ මහත්තයා. එයාට තමයි මගේ ප‍්‍රසංගයක් තියන්න ලොකුවට උවමනාවක් තියෙන්නේ.’’

 

ශාන්ත කුමාර විතාන

 

2017-06-16-ent-16