ජයලාල් රෝහණ - රොඞ්නි වර්ණකුල අයියයි මල්ලියි ලෙස රඟන ගොන්ඩෝලා



2017-06-16-ent-20

ගොන්ඩෝලා කියන්නේ වැනීසියේ තිබෙන ඔරු. මේවා පදවන්න ඒ කාලයේ අප‍්‍රිකාවෙන් මිනිස්සු ගෙනැල්ලා. එයාලට වෙහි කිසිදෙයක් ගැන හිතාගන්න බැරි විදියට මානිසිකත්වය හදලා. මේ ගොන්ඩෝලා විතරක් පදවන මානසිකත්වයට හුරු කරලා. එයාලා වැඩ කරන්නෙ ලොක්කා කියන දේට විතරයි.

2017-06-16-ent-21අපි හිතමු, ලංකාවත් ගොන්ඩෝලාවක් කියාලා? ඒක පදවන අපි ඔක්කෝටමත් අලූතින් හිතන්න, පතන්න බැරි විදියට, සදාකාලිකව පුහුණු කරවපු වහල්ලූ බවට අපි පත්වෙලා. හැබැයි අපි එහෙම වෙලා තියෙන්නේ ස්වයංක‍්‍රීයවයි. නොනවත්වා ණය ගන්නවා. ඒවා ගෙවාගන්න බැරි තරමේ ණය. ඒ ණය අරගෙන රටට කිරීම කෙසේ වෙතත් උන් ඒ ණය කනවා. උන්ට ඕනෑ විදියට රට කරන්නෙයි.

මේ විදියට අදහස් ප‍්‍රකාශ කරන්නෙ, එදා ලෝකා, සක්විති මෝලා, ලීතා නාට්‍ය වේදිකාවට ගෙනා ප‍්‍රකට රංගවේදියකු, කථිකාචාර්යවරයකු දේශකයකු සහ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයකු වන ජයලාල් රෝහණයි.

මෙවර ඔහු වේදිකාවට ගෙනෙන්නේ ”ගොන්ඩෝලා” නැමැති නාට්‍යයයි. ගොන්ඩෝලා ගෙනෙන ජයලාල් රෝහණ සඳැල්ල සමග එක්වුණේ මේ විදියටයි.

 

”ගොන්ඩෝලා” නාට්‍යයේ කතාව ගලායන්නේ මේ කියන විදියටද?

මෙහි යටිපෙළ ගලා යන්නෙ ඒ විදියටයි. මේ නාට්‍යයෙන් කතාකරන්නෙ අසාර්ථක වූ විප්ලවයක නායක සහෝදරයින් දෙදෙනකු මුල්කරගෙනයි. පොඩි සහෝදරයා ගෙනැල්ලා දානවා හිරේට. එයා අවුරුදු 20ක් හිරේ. විසිවසරකට පසුව එක් දිනෙක උදෑසනකින් නාට්‍ය ඇරඹෙන්නෙ. හිර ගෙදරට එපිටින් වික්ටර් හාරාගෙ ගීත ඇහෙනවා හිටපු පාලකයා මරාදාලා විප්ලවීය පක්ෂය දිනලා කියලා. නමුත් ලොකු සහෝදරයා එය විශ්වාස කරන්නෙ නැහැ. ඒකත් ධනවාදී කුමන්ත‍්‍රණයක් වෙන්නැති කියලයි එයා හිතන්නෙ. මොකද ලොකු සහෝදරයා ඉන්නේ මාක්ස්වාදී න්‍යායේ විතරයි. කිසිදාක ප‍්‍රායෝගිකව වෙනස් වෙන්න බලන්නෙ නැහැ. නමුත් මේ පොඩි සාහෝදරයා කියන්නෙ වෙනස් වෙන්න කියලයි.

 

කවුද එතකොට මේ පොඩි සහෝදරයා? සහ ලොකු සහෝදරයා?

ලොකු සහෝදරයා ලෙස රඟපාන්නෙ රොඞ්නි වර්ණකුල අපේ ප‍්‍රවීනයා. පොඩි සහෝදරයා මම. ඊට අමතරව මාලි ජයවීරගේ, කුමාර කරුණානන්ද, චන්දන නිශාන්ත (එයා මෙහි රඟපාමින් ශබ්ද පරිපාලනයද කරනවා* සුනිල් අරුණ වීරසිරි තමයි මෙය නිෂ්පාදනය කරන්නෙ.

 

කවදද ”ගොන්ඩෝලා” වේදිකාගතවන්නේ?

මේ 23 සහ 24 වැනිදා ලූම්බිණි රඟහලේදීයි. ඔබගෙ ගොන්ඩෝලා හැර මේ දිනවල දායක වන වෙනත් නාට්‍ය මොනවාද?

ජයන්ත චන්ද්‍රසිරිගේ කෘතිය හංකිති 13 රඟපානවා. ඊට අමතරව ශ‍්‍රියන්ත මෙන්ඩිස්ගේ ”සුදු සහ කළු” රඟපානවා. මේ නාට්‍යවල වැඩ නිසා විභාගයත් අතපසු වෙලා තියෙන්නේ.

 

දැන් කරන විභාගය මොකක්ද?

ආචාර්ය උපාධිය තමයි ඉතින්.

 

ඔබ ඉගෙන ගන්න හරි ආසයි නේද?

පැහැදිලිවම ඔව්. මෙම උගත් දේ තවත් පිරිසකට ඉගැන්වීමටත් හරි කැමතියි. ඒකයි ඒ අංශයේ නිරත වන්නෙත්.

 

ඔබගේ දේශන හරි ජනප‍්‍රියයි නේද?

අනේ එහෙම දෙයක් නම් තිබන බව ඇත්ත. මේ නිසාම අපේ ශ්‍රී ලංකිකයින් වෙසෙන විවිධ රටවලිනුත් මට ආරාධනා ලැබෙනවා.

 

මේ දේශනවලින් ඔබ සමාජයට ප‍්‍රකාශ කරන්නෙ කුමක්ද?

සාමුහිකව වැඩ කිරීමේ ඇති වැදගත්කම, නිර්මාණකරණයට පිවිසීම සඳහා ධනාත්මකව x සුබවාදීව කියන හැටි. මේ විදියට කටයුතු කරන අතරේ, ජයන්ත චන්ද්‍රසිරි සහ මම එකතු වෙලා නාට්‍ය පාසලක් පටන් ගන්න උත්සහ කාරනවා.

 

ගොන්ඩෝලා නාට්‍යයේ ලොකු සහෝදරයා ලෙස රඟපාන, රොඞ්නි එක්ක රඟපාද්දි වෙච්චි රසවත් සිදුවීම් එහෙමත් ඇති නේද?

ඔහු බොහොම නම්‍යශීලී චරිතයක්. සම්මතව ඔහුව දකින්නෙ හාස්‍ය උපදවන නළුවකු ලෙසයි. මේ නාට්‍යයේ ඔහු රඟපාන්නෙ ඒ විදියට හාස්‍ය චරිතයක් නෙවෙයි. ඒ වෙනස දැක ගන්න මේ නාට්‍ය නරඹන්න එන්න කියලා මම පේ‍්‍රක්ෂකයින්ට ආරාධනා කරනවා.

අපේ මේ ගොන්ඩෝලා නාට්‍ය කණ්ඩායම හරි අපුරු දෙයකුත් කරන්න යනවා. කොළඹින් පිට දුර පළාත්වල නාට්‍යයක් වේදිකාගත කරද්දී ලොකු මුදලක් සංවිධායකයින්ට වැය කරන්න වෙනවා. ඒ නිසා ඒ පළාත්වල ශබ්දාගාරයක, හෝ ඇඟළුම් කර්මාන්තශාලාවලත් මෙය පෙන්වීමට කටයුතු යොදා තිබෙනවා.

 

 ජයලාල් මේ වන විට වේදිකා නාට්‍ය කීයකට විතර දායක වෙලා තියෙනවාද?

පනහකට වඩා. මුලින්ම වේදිකාවට ආවේ ජී.එච්. ලක්ෂ්මන්ගෙ අකල් වැහි නාට්‍යයෙන්. ඊට පෙර 1976 දී සමස්ත ලංකා පාඨශාලාන්තර තරගයක් වෙනුවෙන් කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලය නියෝජනය කළා. මේ ගමන පාසැල් වේදිකාවෙන් තමයි පටන්ගත්තෙ. පසු කාලෙක ප‍්‍රසිද්ධ වේදිකාවේදී හිට්ලර්, විකල් සමයම, ලෝකා, වැනිසියේ වෙළෙන්දා, කමාන්ඩෝ දියසේන නාට්‍ය නිසා බොහෝ දෙනෙක්ගේ සිත් දිනා ගැනීමටත් සමත් වුණා යැයි හිතනවා.

 

ඉසුරු යෝගයේ මුතුමිණ ගැන අද හිතන්නේ කොහොමද?

සුසිරන් ද සිල්වා කළ ඒ ටෙලි නාටය ගැන සහ මුතුමිණ ගැනත් අදටත් මිනිස්සු කතා වෙනවා තමයි.

 

ජයලාල්, වේදිකාවේ රඟපාන ඔබ ටෙලි තිරයේදීත් සිනමාවේදීත් විටෙක අපට හමුවෙනවා. මේ අංශ ත‍්‍රිත්වයෙන් ඔබ වඩා කැමතිම අංශය මොකක්ද?

මේ අංශ තුනටම මම එක වගේ කැමතියි. මොකද මේ අංශ තුනේ ප‍්‍රකාශන විධි තුනක් තියෙන්නෙ. තාක්ෂණයත් එහෙමයි. චිත‍්‍රපට, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය ඒ තුනටම මම කැමතියි.

 

අන්තිමට අර පොඩි සහෝදරයටයි, ලොකු සහෝදරයටයි මොකද වෙන්නේ?

පොඩි සහෝදරයා කියන්නේ වෙනස් වෙන්න කියලයි කාලානුරූපීව වෙනස් වෙන්න ඕනෙ කියලා කිව්වත්, එයාට එළියට ගන්න ලොකු සහෝදරයා ඉඩ දෙන්නෙ නැහැ. විප්ලවීය පක්ෂය දිනලා කියලා ඇස්පනාපිටම දකින්න ලැබුණත් ලොකු සහෝදරයා එය පිළිගත්තෙ නැත්තෙ න්‍යායේ විතරක්ම ඉන්න නිසයි. හැබැයි අන්තිමට පොඩි සහෝදරයාට මොකද වෙන්නෙ කියලා දැනගන්න නම් මේ නාට්‍ය නරඹන්න එන්න.....