හිතේ තියන කුණු තමයි එළියට එන්නේ



 2017-08-09-ent-16

කුණු ප්‍රශ්නය අද ලෝකයට මෙන්ම අප රට තුළද ගැටලුවක් වී තිබේ. මේ ප්‍රශ්නයට කිසිදා විසදුමක් නොලැබෙන බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. ටෙහාන් පෙරේරා සහ ඔහුගේ "Hot Chocolate" සංගීත කණ්ඩායම "කුණු" නමින් ගීතයක් සිදුකර තිබේ. දේශපාලනයට කිසියම් බලපෑමක් එල්ල කරන ගීතයක් බව ඇතැම්හු මෙය හඳුන්වති.

 

මොකක්ද මේ කුණු ප්‍රශ්නේ?

2017-08-09-ent-17ඇත්තටම කුණු ලංකාවට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අපේ මියුසික් වීඩියෝවෙන් මේ පිළිබඳ පොඩි පණිවිඩයක් ලබාදෙනවා. ඒ තමයි %අපේ හිතේ තියෙන කුණු තමයි පාරේ තියෙන්නේ^ කියලා. අපේ රටේ මිනිස්සුන්ට තියනවා ප්‍රශ්න ඇති කර ගැනීමේ ඕනෑකමක්. ඒ දේ තමයි ප්‍රශ්න ඇති වෙන්න හේතුව. හැමෝම අනිත් අයට ඇඟිල්ල දික් කරකර ඉන්නවා මිසක්, තමන් අතින් වෙන්න ඕනේ දේවල් කරන්නේ නැහැ.

 

මේකෙන් දේශපාලනයට බලපෑමක් එල්ල වෙනවා?

ඔව්. දේශපාලනයට බලපෑමක් එල්ල කරලා තමයි මෙය නිර්මාණය කළේ. දේශපාලනය නිසා තමයි හැමදේම වෙන්නේ. වත්මන් ආණ්‍ඩුව හිටපු ආණ්ඩුවට බණිනවා මිසක්, කිසිදෙයක් කරන්නෙ නැති තත්ත්වයට පත්ව තිබෙනවා. දොස්තරලා ඉගෙනගත්තට කුණු සුද්ද කරන මිනිහට තරම්වත් මොළයක් නැති තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නේ.

 

තව මොනවද මේ ගීතයෙන් දෙන පණිවිඩ?

සමාජයේ මිනිස්සු අද හිට් වෙන්න ඕන නිසා අනිත් මිනිස්සුන්ගේ ඇඳුම් ගලවන්න පවා යොමුවෙලා තියනවා. තමන්ගෙ පෞද්ගලිකත්වය නැති කරගෙන හිතේ තියන කුණු තමයි එළියට එන්නේ. ඒ කුණු නැති කරගන්න තමයි මේ ගීතයේ හැමතැනකම කියන්නේ. කුණු අස්කරන අයත් අන්තිමට කුණු පාරට විසිකරගෙන යන ආකාරය මෙහි පෙන්වනවා. ඒකෙන් කියන්නේ ඔවුන් තමන් කරන රස්සාවට ආදරේ කරන්නේ නැහැ කියන එක. ඇත්තටම ඒක ගොඩක් අමාරු රස්සාවක්. නමුත් ඔවුන් සල්ලි ඉල්ලනවා. වෙලාවට දුන්නේ නැත්නම් තවත් කුණු දාලා යනවා. මේකයි අද තත්ත්වේ. තම තමන් කරන රස්සාවට මීට වඩා අවනත වෙලා වැඩ කළොත් අපිට දියුණු වෙන්න පුළුවන්.

 

යූටියුබ් එකේ ට්‍රෙන්ඩින් වුණේ නැත්නම් මියුසික් වීඩියෝ එකක් හිට් වෙන්නෙ නෑ කියනවා. ඇත්තටම එහෙම එකක් තියනවද?

ඉස්සර ටීවී බලද්දි චාර්ට් එකේ පළමු, දෙවැනි ස්ථාන කියලා තිබුණා. දැන් චාර්ට් නෑනේ. අනික ටීවී බලන්නෙත් නෑනේ. දැන් කුණු අවුස්සන්නේ ඉන්ටර්නෙට් එක. ඉස්සර ටීවී බලද්දි චාර්ට් ගීතයක් පළමු, දෙවැනි වුණා කියලා කියනවා වගේ තමයි දැන් ට්‍රෙන්ඩින් 1, 2, 3 වුණා කියලා කියන්නේ. ට්‍රෙන්ඩින් කියන්නේ යම් කිසි කාලයක් තුළ ලංකාවෙ වීඩියෝව බලපු ප්‍රමාණය.

 

ට්‍රෙන්ඩින් නිසා කොහොම හරි අද නවකයන් විවුස් ගන්න බලාපොරොත්තු වෙනවා. මේක හරිද?

ඒක වැරදියි. ලෝකයේ මාර්කටින් කියන දේ අද හැමතැනම තියනවා. මිනිහෙක්ව නිරුවත් කරලා ඒක පෙන්ලා යම්කිසි ගාණක් හම්බ කරනවා කියන එක වැරදි දෙයක්. ඒවට ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙයි.

 

"හොට් චොකලට්" කොහොමද ආරම්භ වෙන්නේ?

"හොට් චොකලට්" තමයි මගේ බෑන්ඩ් එක. මම මියුසික් කරන්න පටන් ගත්තේ 2007, දැන් අවුරුදු 10ක් වෙනවා. බෑන්ඩ් එකට තාම අවුරුද්දයි.

 

"හොට් චොකලට්" කියලා නම එන්න හේතුවක් තියනවාද?

බෑන්ඩ් එකට එක එක නම් දැම්මා. මම ඔය හොට් චොකලට් කියන පානය ගොඩක් ආසාවෙන් පානය කරනවා. අපේ කණ්ඩායමේ අයට මේ අයිඩියා එක දැම්මාම ඒ අය මේකට කැමති වුණා. රියල් ටේස්ට් ඔෆ් මියුසික් කියන එක තමයි ඕකේ ටැග් ලයින් එක.

 

අද බෑන්ඩ් එනවා යනවා. බෑන්ඩ් එක ඇතුළේ විනයක් විදියට කොහොමද පාලනය වෙන්නේ?

සංගීතය කියන්නේ ගොඩක් ආදරයෙන් කරන දෙයක්, ඇග්‍රිමන්ට් ගහලා සංගීතය කරන්න බැහැ. මුදල් ප්‍රශ්න තමයි වැඩියෙන්ම තියෙන්නේ. අපිට මුදල් ප්‍රශ්න එන්නේ නැහැ. කවුරුවත් වැඩියෙන්වත්, අඩුවෙන්වත් ගන්නේ නැහැ. හැම දෙයක්ම සමසමයි. අපි සතියට දවස් 3ක් පුහුණුවීම් කරනවා. ඒ දිනවලට හරියට එන්න ඕනේ. එන්න බැරිනම් කලින් දැනුවත් කරලා දවස මාරු කරන්න ඕනේ. ප්‍රැක්ටිස් නැතුව අපි කාටවත් සෙල්ලම් කරන්න බෑ.

ඒක තමයි බෑන්ඩ් එකේ නීතිය.

 

ඉදිරි කටයුතු මොනවාද?

මගේ ගීත කිහිපයක් ඉදිරියට එන්න තියෙනවා. ඒ වගේම බෑන්ඩ් එකත් එක්ක ගීත කිහිපයක් කරලා තියනවා. මාසෙට ෂෝ කිහිපයක් කරනවා. ඒ වගේම වෙඩින් කිහිපයකුත් කරනවා.

 

සංගීතයට ආදරය කරන අයට මොකක්ද කියන්න තියෙන්නේ?

සංගීතයට ආදරේ කරන්න. නැතුව මියුසික් වීඩියෝවලටවත්, ඒකේ තියන නිරුවතටවත් කැමති වෙන්න එපා. අපිමනේ ට්‍රෙන්ඩ් එක හදන්නේ. වෙනස් වෙන්න ඕනේ, එකම දේ කරන්නේ නැතුව. නිරුවත පෙන්නලා මියුසික් වීඩියෝ එකක් කළා. දැන් දිගටම කරන්න ගත්තා. සල්ලි මත්තේ ගිහින් මියුසික් විකුණන් කන මට්ටමට අද සංගීතය පත්වෙලා තියෙන්නේ. මියුසික් කියන්නේ බිස්නස් එකක්, මම ඒක නෑ කියන්නෙ නෑ. ඒත් අපිට සමාජ වගකීමකුත් තියනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - මිහිර බණ්ඩාර දිසානායක