නිළියක් වෙන එක ලේසි වැඩක් නෙවෙයි



2017-08-10-ent-281

ජීවන ගමනේදී අපට හමුවන සමහර අය නිසා අපේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මාදි මිරල් කියන්නෙත් අහම්බෙන් හමුවුණු කෙනෙක් නිසා අහම්බෙන් රංගනයට පිවිසි කෙනෙක්. ඒ ගැන කතා කරන්න ඇය පසුගිය දිනක ‘සාරවිට‘ සමග සම්බන්ධ වුණා.

 

මුලින්ම ඔයා ගැන හැඳින්වීමක් කරන්න?

2017-08-10-ent-283මගේ නම මාදී මිරල්. මගේ වයස 27 යි. මගේ ගම හලාවත. මමත් සමග මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, අයියා, නංගි, මල්ලි.

 

රංගනයට එකතුවීම පොඩිකාලේ ඉඳන් තිබුණ ආසාවක්ද?

නෑ. මීට අවුරුදු 2 ½ කට කලින් තමයි ආසාවක් ඇතිවුණේ.

 

කොහොමද ඒක සිද්ධ වෙන්නේ?

ඒක අහම්බෙන් සිද්ධ වුණ දෙයක්. අහම්බෙන් හමුවුණු කෙනෙක් කථා කරලා රඟපාන්න කැමතිනම් එයාට කථා කරන්න කියලා කාඩ් එක දීලා ගියා. පස්සේ මම කල්පනා කරලා එයාට කථාකළා. ඒ මුල්ම ඩී.වී.ඩී ෆිල්ම් එකට. ඒක කළේ ශානක එස්. ජයසේකර කියලා කෙනෙක්. හිරු ටීවී එකේ ‘මෝදර වැල්ල‘ ටෙලිනාට්‍යයට දායක වුණා. ඊට අමතරව මේ දවස්වල මම තුෂාරි අබේසේකර අක්කාගේ ‘පත්තිනි‘ නාට්‍යයේ ‘රිතී‘ චරිතයට රංගනයෙන් දායක වෙනවා.

 

ක්‍ෂේත්‍රයේ නවක ශිල්පිනියක් ලෙස මේ ආව ගමන ගැන මොකද හිතන්නේ?

ඇත්තටම මම මේ ගමන ආවේ ගොඩක් අමාරුවෙන් කැපකිරීම් කරලා. නිළියක් වෙන එක ලේසි වැඩක් නෙවෙයි. මුල හදාගත්තොත් ඉස්සරහට යන්න පුළුවන්. ගැහැනු පාර්ශ්වයේ අධ්‍යක්ෂකවරියක් හොයාගත්තොත් මේ ගමන යන්න පහසුයි.

 

ඔබ රංගනය ගැන හැදෑරීමක් කරලා තියනවාද?

මම නාට්‍ය හා රංග කලාව හදාරලා තියනවා.

 

මේ ක්‍ෂේත්‍රයට එද්දී පවුලේ අයගෙන් ලැබුණ ප්‍රතිචාර මොනවගේද?

ගෙදර හැමෝම මට උදවු කරනවා. තරුණ කෙනෙක් මේ ක්‍ෂේත්‍රයේ ඉද්දී ගොඩක් ප්‍රශ්න එනවා. මේ ගමන එපාවෙලා නවත්වන්න තරම් හිතිලා තියනවා. මගේ අප්පච්චි මං වැටෙන හැම තැනකදීම මාව දිරිගන්වනවා.

 

මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබෙන්නේ නැද්ද?

ලයින් ඇන්තෝනි අයියගේ මියුසික් වීඩියෝ එකකට ආරාධනාවක් ලැබුණා.

 

වර්තමානයේ බිහිවන අඩනිරුවත් වීඩියෝ රැල්ල ගැන මොකද හිතෙන්නේ?

ඉදිරියේදී වැදගත් විදියට ෆොටෝ ෂූට් කරන්න් බැරි වෙනවා. දැන් කට්ටිය කථා කරන්නෙ හොට් ෆොටෝ ෂූට් කරන්න. බාගෙට ඇඟපෙන්නලා ෆොටෝ ෂූට් කරන අය නිසා ෆොටෝ ෂූට් එකක් ගැන කථා කරන්නත් බෑ දැන්.

 

ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම මගේම කියලා මාර්කටින් කම්පැනි එකක් කරගෙන යනවා. ඒ අතර තමයි රංගනයට දායක වෙන්නේ. මගේ බලාපොරොත්තුව මගේ කම්පැනි එකේ දියුණුව. ඒ වගේම හොඳ නිළියක් වෙන්න බලාපොරොත්තුවෙනවා.

 

මතක් කළයුතු පිරිසක් ඉන්නවාද?

මට ගොඩක්ම උදවු කළේ මගේ ඩිරෙක්ටර් තුෂාරි අබේසේකර අක්ක. මගේ අප්පච්චී හා ගෙදර අය.

 

සටහන - දිනිත් කණිෂ්ක

 

  2017-08-10-ent-282