ලබන්න පුළුවන් වාසනාවන්තම රස්සාව රඟපෑමයි



 2017-08-11-ent-02

වේදිකාව, පුංචි තිරය, රදී තිරය තුළ රංගන කෞශල්‍යයන් ඉදිරිපත් කරමින් කලා ක්ෂේත‍්‍රය තුළ නොමැකෙන සටහන් තැබූ රංගන ශිල්පිනියක් ලෙස චමිලා පීරිස් හැඳින්විය හැකියි.

මෙවර ඇය ගැන කතා කරන්නට සඳැල්ලෙන් ඉඩක් වෙන්වන්නේ ඇයට ආදරය කරන ඔබ වෙනුවෙනුයි.

 

මේ දවස්වල නිර්මාණ කටයුතු සිද්ධ වෙන්නෙ කොහොමද?

2017-08-11-ent-01මේ දවස්වල වේදිකා නාට්‍ය 3ක් වේදිකාගත වෙනවා. සොක‍්‍රටීස්, සාදය මාරයි සල්ලි හමාරයි සහ චරිතෙ හොරු අරන් නාට්‍ය. ඊට අමතරව තවත් වේදිකා නාට්‍ය දෙකකට කතා කරලා තියෙනවා. ඒවා ඉදිරියේදී ආරම්භ වෙයි. ඒ වගේම ටෙලිනාට්‍ය නම් පුරුදු විදියට ආදර නෙතූ හි තවමත් රූගත කිරීම් සිදුවෙනවා. තව ටෙලිනාට්‍ය තුනකට වගේ කතා කරලා තියෙනවා.

 

වේදිකාවත් එක්ක ගෙවන ජීවිතේ කොහොමද?

වේදිකාව තමයි මම ආසම කරන මාධ්‍යය. මොකද එහි රඟපාන්න පටන් ගත්තට පස්සෙ පළවෙනි ප‍්‍රසංගයෙ දර්ශනය ඉදිරිපත් කරනකම් ඒ පුහුණුවීම් කරන කාලය හරි පුදුම කාලයක්. ඒ සතුට, රසවිඳීම, අලූත් චරිත හඳුනා ගැනීම ඒ හැමදේම අධ්‍යාපනයක්. අළුත් නළු නිළියො හමුවෙලා. ඒ ගනුදෙනුව ඒ ගත කරන කාලය ජීවිතේ අලූත්ම කොටසක්.

අනිත් මාධ්‍ය වගේ නෙමෙයිනෙ වේදිකාව. චිත‍්‍රපටයක් කළොත් එහි රූගත කිරීම්වලින් පසුව ඒ සිදුවීම් එතැනින් ඉවරයි. නමුත් වේදිකාවේ දර්ශන වාර 1000ක් ගියත් ඒකට අපි සම්බන්ධයි. හැමදේම විශේෂත්වයක් තියෙනවා. හැමදාම අලූත් රංගනයක්, අලූත් අද්දැකීමක්. ඉතින් මම හරිම ආසයි වේදිකාවත් එක්ක ජීවත්වෙන්න අන්තිම මොහොත දක්වාම.

 

වේදිකාවෙන් නේද ඔබ ක්ෂේත‍්‍රයට එන්නෙත්?

ඔව් මගෙ මුල වෙන්නෙ වේදිකාව.

 

ඒ අතීතෙට ගියොත්?

මම 1991 දි බරිනාඩාගේ සිපිරි ගෙය කියන නාට්‍යයෙන් එන්නෙ ප‍්‍රසිද්ධ වේදිකාවට. එතකොට මම ්රැුඛ කරලා අවසානයේ වගේ. නාට්‍ය කියන්නෙ මොකක්ද නාට්‍යකරුවෝ කියන්නෙ කවුද? නළු නිළියො කියන්නෙ කව්ද? ඔවුන් මොනවද කරන්නෙ? පිටපතක් කියන්නෙ මොකක්ද මම මුලින්ම අඳුනගත්තෙ එතැනින් තමයි. එතැනදි තමයි මම අඳුනගන්නෙ චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍ය ප‍්‍රනාන්දු, මල්කාන්ති ජයසිංහ, නයනා හෙට්ටිආරච්චි, සෝමලතා සුභසිංහ ආදී කට්ටිය. ඔවුන්තමයි මුලින්ම මට හමුවෙන්නෙ x 1990 පටන් ගත්තු ඒ ගමනට දැන් අවුරුදු 25 වයසයි.

 

ඒ අතරතුර වේදිකා නාට්‍යය කීයකට විතර සම්බන්ධ වුණාද?

මම හිතනවා 40ට අධික මිසක් ඊට අඩු නෑ.

 

වේදිකාවෙ සජීවි රංගනයක්නෙ තියෙන්නෙ? එතකොට වැරදෙන අවස්ථා එහෙම තියෙනවද?

එහෙම වැරදි වෙනවා ගොඩක් අඩුයි. මොකද සජීවි රංගනයක් කියන එක අපි දැනගෙනමනෙ වැඬේට බහින්නෙ. එකත් එකටම අපි දන්නවා වැරදීම් වෙන්න බෑ කියලා. නමුත් වැරදුන අවස්ථා තිබිල තියෙනවා. ඒත් දැන් එහෙම වෙන්නෑ.

 

වේදිකාවෙන් පුංචි තිරයට සම්බන්ධ වුණේ කොහොමද?

ඒ 1994 දී වගේ. පළමුවෙන්ම මම තිස්ස අබේසේකර මහත්මයගේ නිර්මාණයකට සම්බන්ධ වුණේ. වනසරණ කියන ටෙලිනාට්‍යයේ මම පොඩි චරිතයක් කළේ. පොඩි චරිතයක් කළාට ලොකු කාලයක් මම ඒ නාට්‍යත් එක්ක ඉන්න පුළුවන් වුණා. මොකද ඒ නාට්‍යය කළේ ගොඩක් දුර පොල්ලෙබැද්ද කියන ගමේ. ඒ කාලෙ දැන් වගේ නෙමෙයි ඔක්කොමලා ගිහින් එහෙ පදිංචි වෙනවා. මාස ගණනක්ම එන්නෙ නෑ. ඒ දවස්වල අපිටත් වැඩ ගොඩක් තිබුන කාලයක් නෙමෙයිනෙ. පටන් ගැන්මනෙ. ඉතින් ඔක්කොමලා ඉන්නවා. තිස්ස අබේසේකර මහත්මයාගෙ පවුලෙ අය. ඒ හැමෝම යනවා. එහිදීත් මට ලංකාවෙ හිටිය දැවැන්ත දක්ෂ පිරිසක් මුණ ගැහෙනවා.

 

ඒ කාලේ සහ අද ටෙලිනාට්‍යවල දකින වෙනස කොහොමද?

නිර්මාණාත්මක බවේ අඩුවක් තමයි අද දකින්න තියෙන්නෙ. මම හිතන්නෙ ඉස්සරට වැඩිය ගොඩක් තාක්ෂණය දියුණුවෙලා තියෙනවා, කැමරා, ලයිටින් ඒ හැම පහසුමකමක් දියුණුවෙලා තියෙනවා. නමුත් නිර්මාණාත්මක අතින් අදට වඩා එදා දියුණුයි. ඒ මොකද මට හිතෙන විදියට අනිත් කාරණා දියුණු වෙද්දි හිතනවා ඒ වලින් හැමදේම කරන්න පුළුවන් කියලා. ඉස්සර ප‍්‍රධාන වුණේ පිටපත, නළු නිළි පිරිස, හොඳ අවස්ථාවක්, රසවත් කතාවක් පවතින දේශපාලනය, ආර්ථිකය පශ්න කළා. සාකච්ඡුා කළා, එක එක පැතිකඩ ඔස්සේ. මහ ලොකු කාල පරාසයක් නැති වුණත් මගේ අවුරුදු විසිපහ ඇතුළත එහි වෙනස්කම් දකිනවා. දැන් හුදු හාස්‍ය රසය, හරසුන් නාට්‍ය සමහරක් තියෙන්නෙ. අහම්බෙන් තමයි හොඳ රසවත් තැන් තියෙන නිර්මාණ බිහිවෙන්නෙ. ඉතින් ඒ වෙනස දැන් අපිට දැනෙනවා.

 

මේ අවුරුදු 25 ඇතුළත ක්ෂේත‍්‍රයේ ලැබුණු අත්දැකීම් මත හොඳ නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?

ආසාවෙන් ඉන්නවා වේදිකා නාට්‍යයක් කරන්න. ඉදිරියට බලමු. අපි කණ්ඩායමක් එකතුවෙලා වැඩ ටිකක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

 

ටෙලි නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?

නාමල් ජයසිංහ රචනා කර අධ්‍යක්ෂණය කරපු ටෙලි නාට්‍යයක් කළා. අපි යාළුවො පස් දෙනෙක් ඒ සඳහා දායකත්වය දුන්නෙ. ඒක අපි එකතුවෙලා කරපු වැඩක් ”සහෝදරයා” තමයි ටෙලි නාට්‍යය. ඉතින් මේ වැඩකටයුත්තට මම ඇතුළු සංජය හෙට්ටිආරච්චි, අරුණ ජයසේන ජයන්ත, ඇතුළු පිරිස මහන්සිවෙලා, ගොඩක් හිතලා මේ වැඩ කටයුත්ත කළේ. මම හිතනවා සහෝදරයා කතාව මිනිසුන්ට අර්ථවත් රසවත් කතාවක් වෙයි කියලා.

 

මොන වගේ සංකල්පයක්ද එහි අන්තර්ගත වෙන්නෙ?

පවතින සමාජ වටපිටාව සහ සමාජ සම්බන්ධතා පිළිබඳව තමයි දැඩි ලෙස කතා කරන්නේ.

 

ඔබත් මේ සඳහා රංගනයෙන් දායක වෙනවාද?

ඔව්. මමත් රංගනයෙන් දායක වෙනවා.

 

ඊට අමතරව මේ දවස්වල ආදර නෙතූ හි චරිතය කතා බහකට ලක්වෙලා තියෙනවා නේද?

ඔව්. ඇත්තටම එහි රසවත් චරිතයක් මට ලැබිලා තියෙන්නෙ. මොකද හරි ප‍්‍රාණවත් චරිතයක්. හැම අතින්ම ඇය ප‍්‍රාණවත් එකම රිදම් එකක් තියෙන්නෙ සතුටු වෙන්නෙ, දුක් වෙන්නෙ, තරවටු කරනේ හිනාවෙන්නෙ ඔක්කොම එකම රිදම් එකකට. මම මෙච්චර කාලයක් කරපු චරිතවලට වඩා ගොඩක් වෙනස් මේ චරිතය. ගෙදර ඉන්න සියලූ දෙනාවම ප‍්‍රශ්න කරනවා, දඬුවම් කරනවා, ඒ වගේ ඒ පවුලෙ ඇතුළෙ සිදුවෙන දේවල් අනිත් පවුල්වලටත් ආදර්ශයක් විදියට මම දකිනවා. පේ‍්‍රක්ෂකයන්ටත් ආදර්ශවත් චරිතයක් කියලා හිතනවා.

මේ සඳහා මගෙත් එක්ක වැඩ කරන අයත් හරිම අවබෝධයෙන් එක පවුලක වගේ සහයෝගයෙන් සතුටින් වැඩ කරනවා. ශාන්ත සොයිසා මහත්මයාගේ නාට්‍යයක්. මහේෂ් රත්සර මද්දුමආරච්චි රචනා කරන්නෙ. ඉතින් ඒ හැමදෙනාගෙම සහයෝගයෙන් හරිම සැහැල්ලූවෙන් මගෙ චරිතය කරගෙන යනවා.

 

රංගන ශිල්පිනියන් වීම ගැන මොකද හිතෙන්නෙ?

මම රංගන ශිල්පිනියක් වීම ගැන ඉතාමත් තෘප්තිමත්. මනුස්සයෙකුට ලැබෙන්න පුළුවන් වාසනාවන්ත රැුකියාව තමයි මේ. ඒ තරම් විශේෂයි. කිසිම ඒකාකාරී බවක් නෑ. විවිධ කතා විවිධ චරිත ලැබෙනවා. ඉතින් ඒ හැමදේමත් එක්ක බලද්දි ඉතා රසවත් වෘත්තියක්. ඉතින් මම හිතනවා මනුෂ්‍යයෙක් වෙලා ඉපදිලා මාව රංගන ශිල්පිනියෙකුත් කළා ස්වභාව ධර්මය. ඒ ගැන මම සතුටු වෙනවා.

 

ධනු විජේරත්න