හඳයා ටෙලිනාට්‍යයේ සූප්පුවා



2017-08-11-ent-03

සුදත් දේවප‍්‍රියගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මෙදා හඳයාහි සූප්පුවා වූ මේ කසුන් ප‍්‍රශන්ත ප‍්‍රසංග වේදිකාවට හොඳට හුරු පුරුදු මුහුණකි. රංවල බලකායේ සාමාජිකයෙකු වීම ඊට හේතුවයි. කසුන් කොහොමද මෙහි සූප්පුවා වුණේ. ඊට පෙර ඔහු ගැන විස්තර අපි දැන ගනිමු.

 

කසුන් පාසල් ගියේ?

2017-08-11-ent-04මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයට.

 

ගම?

නුවර - පේරාදෙණිය.

 

පවුලේ තොරතුරු කිව්වොත්?

අම්මා තාත්තා සහ සහෝදරයින්ම පහයි. මම ඒ පවුලේ හතර වැනියා.

 

ඉගෙන ගත්තේ මොන අංශයෙන්ද?

කලා අංශයට තමයි වඩා නැඹුරු වුණේ. නමුත් දැන් නියැලෙන්නේ බැංකු ක්ෂේත‍්‍රයේ. ඉදිරියේදී රඟපෑම ගැන හදාරන්නත් බලාපොරොත්තු වෙනවා.

 

රංවල බලකායට එක්වෙලා කොච්චර කල්ද?

අවුරුදු 11ක් විතර වෙනවා. දැන් මම එහි ගුරුවරයකු වගේම රංවල බලකායේ සාමාජිකයකු ලෙසත් කටයුතු කරනවා.

 

හඳයා චිත‍්‍රපටය නරඹලා තියෙනවාද?

චිත‍්‍රපටය නිර්මාණය වෙද්දී මම ඉපදිලාවත් නැහැ. නමුත් පසුකාලයකදී හඳයා චිත‍්‍රපටය නැරඹුවා. එදානම් මම හීනෙකින්වත් හිතුවේ නැහැ, හඳයා මේ විදියට ටෙලි නිර්මාණයක් වේවි කියලා.

 

එදා හඳයා චිත‍්‍රපටයේ රඟපෑ ශිල්පීන් ඔබට හමුවෙලා තියෙනවාද?

අනේ නැහැ. ඒ අය හමුවන්න තියෙනවා නම් ඇත්තටම ඒක වාසනාවක්.

 

මෙහි ‘සූප්පුවා’ චරිතය ලැබුණාම ඔබට මොනවගේ හැඟීමක්ද ඇති වුණේ?

සුදත් දේවප‍්‍රිය මහතා මේ කාලයට ගැලපෙන පරිදි අපූරු නිර්මාණයක් කරන්න යන බව දැනගත්තා. ඒ අවස්ථාව ලැබුණාම ලොකු සතුටක් ඇති වුණා.

 

මුලින්ම රඟපාන්න තිබුණේ?

මගේ ලොක්කා වූ සර්පීනු ලෙස රඟපාන කුමාර තිරිමාදුර එක්ක තමයි රඟපාන්න තිබුණේ.

 

මේ සූප්පුවාට වෙච්ච අකරතැබ්බයක් ගැන කිව්වොත්?

සූප්පුවා නිරතම වැඩ අනාගන්න එක තමයි කරන්නේ. ඉතින් නිතරම ගුටි කන්න වෙනවා. කණ්ඩායම් දෙකක් අතර සටනක් වෙනවා. මගේ කණ්ඩායමේ ගෝලයෝ වෙන්නෙ ඇන්ටා, මන්දා, බෝලයා. සේනගේ කණ්ඩායමේ අය අතර සේන සීයා, උක්කුං, චුට්ටෙ. මේ වගේ අවස්ථාවලදී දෙපාරක්ම මම අශ්වයාගේ පිටෙන් වැටුණා. සේන එක්ක ෆයිට් එකේදී මල් බාල්දිය දාගෙන සිටියදී එකපාරක් අශ්වයාට යට වුණා. හැබැයි එදා ඒ කොටස අපට අපූරුවට කරන්න පුළුවන් වුණා. අශ්වයාගෙන් වැටුණ එක අමතක නැහැ. ඒ වගේම නිතර ගුටිකාලාම තුවාලත් වෙලා.

සූප්පුවාට, නිතරම කටේ ඇඟිල්ල ඔබාගෙන සිටින්න ඕනෑ. කොහොමද ඒකට හුරුවුණේ? ඒ ඇඟිලි උරන එක සූප්පුවාට ඉබේම වෙන දෙයක්. ඉතින් ඒක බලහත්කාරයෙන් නොවී, ඉබේටම වන විදියට මටත් කරන්න ඕනෑ වුණා. අධ්‍යක්ෂතුමාගේ උපදෙස් පරිදි ඒක උපරිමයෙන් කරන්න උත්සාහ කළා.

 

එදා හඳයා චිත‍්‍රපටයේ ඔබගෙ සිත්ගත් චරිතය මොකක්ද?

සූප්පුවාට ඇත්තටම කැමතියි. ඒක වෙනස්ම චරිතයක්. සේන එක්ක ෆයිට් එක වෙග්ම, කවුරුද කවුරුද දැන් ලොක්කො ගීතය පවා අපට නැවත කරන්නට ලැබීම එක අතකට භාග්‍යයක්.

 

දැන් මෙතැන් සිට කසුන් දිගටම රඟපාවිද?

බැංකුවේ රස්සාව කරන අතරේ රඟපෑමත් කරන්න ආසයි. රඟපෑම ගැන හදාරමින් රඟපාන්න කැමතියි. මට මේ අවස්ථාව ලැබීම ගැන දෙවියන් වහන්සේට ශාන්ත අන්තෝනියෙ විදුහල්පතිතුමා ඇතුළු සියලූ ගුරුවරුන්ට, මගේ අම්මා - තාත්තා ඇතුළු ඥාතීන් ඔක්කොටම සුදත් දේවප‍්‍රිය සර් සහ රංවල බලකායේ සියලූ දෙනාටත් සහන් රංවල මහතාටත් ගෞරවය පුදන්න ඕනෑ. මේ අවස්ථාව මට මේ විදියට ලැබුණේ එයාලාගෙ මඟපෙන්වීම නිසයි. උපදෙස් ගුරුහරුකම් නිසයි.

 

පෙම්වතිය එහෙම මොකද කියන්නේ මේ චරිතය ගැන.

සූප්පුවා පෙම්වතෙක් නෙවෙයි.

 

එතකොට ඔබ?

මට අම්මගෙ - තාත්තාගෙ පවුලේ ඔක්කොගෙම වගේම විශේෂයෙන්ම රංවල බලකායට අයත් පවුලේ මගේ සහෝදර - සහෝදරියන්ගෙන් ලැබෙන ආදරය හරි ඉහළයි. ඒ වගේම මා සේවය කරන කාගිල්ස් බැංකුවෙන් ලැබෙන සහයෝගය ගැනත් කියන්නම ඕනෑ.

 

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

 

 2017-08-11-ent-05