මගේ රටට දළදා හිමි සරණයි ගීතය ගයද්දී රසිකයෝ අසුන්වලින් නැගිට්ටා



2017-08-11-ent-09

එතකොට මම හිටියේ පරණ ගෙදර. එක හැන්දෑවක මම ස්තෝප්පුවට වෙලා ඉඳගෙන හිටියා... මම දැක්කා කවුරු හරි කෙනෙක් ගේට්ටු පියන ඇරගෙන මගේ ගේ දිහාවට ඇවිද ගෙන එනවා. මලානික මූණක්. ජීවිතේ කඩා වැටිල වගේ. මං බලා හිටියා.

‘‘සනත් නන්දසිරි සර්..’’

ඔව්. එන්න වාඩිවෙන්න.

ඒ තරුණයා ගෙට ඇවිත් වාඩිවුණා.

‘‘මොකද මේ පැත්තෙ.’’

‘‘මට පුංචි කතාවක් කියන්න තියෙනවා. සර්ට පුළුවන්ද කන් දෙන්න.’’

‘‘ඔව්. කියන්න බලන්න.’’

2017-08-11-ent-10ඔන්න ඊට පස්සේ ඔහු කතාව කියන්න පටන් ගත්තා.

මහාචාර්ය සනත් නන්දසිරි, වේදිකාව මැද ඇති පුටුවේ වාඩිවී මේ කතා කියන්නේ රසික ජනතාව තම ග‍්‍රහණයට ගනිමිනි. කලක් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වූ ඔහු, අද එහිම කුලපතිවරයාය. මේ නිසාම ඔහු දක්ෂ කතිකයකු බව අවිවාදිතය.

එහෙත් ඔහු මේ විදිහට කතා කියන්නේ ප‍්‍රසංග වේදිකාවේදීය. ඇතැම් විට ඒ කතා උපහාස රසයෙන් පිරුණු සිනා ගෙනෙන කතාවකි. නැත්නම් සුසුමකට කඳුළකට උපත දෙන සුළු ගීතයක නිධාන කථාවකි.

මේ මොන කතාවක් වුවත් තම ගීතයක පසුබිම් කතාවක් දෙකක් පැවසීම, මහාචාර්යවරයා පුරුද්දක් කරගෙන සිටී.

ඒ පුරුද්ද ලංකාවේ ප‍්‍රසංගයකදී වේවා පිටරට ප‍්‍රසංගයකදී වේවා වෙනසක් නොමැත.

ඉකුත් මාසයේ මේ ගාන්ධර්වයා සහ ඔහුගේ පතිනිය මල්කාන්ති නන්දසිරි ඉතාලි සංචාරයක යෙදුණහ.

රෝමය ඇතුළු ඉතාලි නගර තුනක පැවැත්වුණු මේ ප‍්‍රසංග මාලාවේදී ද මහාචාර්ය සනත් නන්දසිරි තම ගී ගායනා අතරතුර කතාවකින් දෙකකින් රසික ජනතාව සිනා ගැන්වූහ.

‘‘මේ කතා කියනවට රසික ජනතාව හරිම කැමැතියි. අපි ගිහිල්ල නිකම්ම සිංදු ටික කියනවට වැඩියෙ ගීතයකට පසුබිම් වුණු කතාවක් කිව්වාම රසිකයාගෙයි අපෙයි දුරස්ථ බව අඩුවෙනවා. එයාලගෙයි අපෙයි ආදරය වැඩිවෙනවා.’’

මල්කාන්ති නන්දසිරි කියන්නීය.

මෙවර ඔවුන් ඉතාලියට ගියේ වසර දහයකට පසුවය.

‘‘අපිට රසික ආදරය දැනුණේ එයාර්පෝට් එකේදීමයි. අපිව පිළිගන්න ලංකාවේ හුඟාක් දෙනා ඇවිත් හිටියා. ඒ අයගෙ දරුවො එහෙමත් හිටියා. ඒ අය හුඟදෙනෙක් අපි හඳුනන්නෙ නැතිවුණත් ඒ අය අපිට සැලකුවේ කතාබහ කළේ ආදරය කළේ දන්න අඳුනන අය වගේ. ඒකම අපිට සතුටක් වුණා. ඊට පස්සේ අපිට නවාතැන් දුන්නේ සුඛෝපභෝගී හෝටලේක. ඒ හෝටලේ ඉඳලා තමයි මිලානෝ රෝමය වෙරෝනා කියන නගරවල තිබුණු හැම ප‍්‍රසංගයකටම ගියේ.

ප‍්‍රසංග ශාලාවලත් සෙනඟ පිරිලා හිටියා. එක ප‍්‍රසංගයකදීවත් ශාලා හිස් වෙලා තිබුණෙ නැහැ. අපේ රසිකයන්ට කොයිතරම් හොඳ රසඥතාවයක් තිබෙනවාද කියලා අපිට පුදුමත් හිතුණා.’’

මල්කාන්ති නන්දසිරි කියාගෙන යන්නීය.

‘‘මේ සංචාරයේදී රසිකයො වඩාත්ම ප‍්‍රියකළ ගීත එහෙම මොනවද?’’

මම ඇගේ කතාබහට බාධා කළෙමි.

‘‘විශ්වාස කරන්න. මේ හැම රසිකයෙක්ම පුදුම විදිහට සංවේදී වුණේ මගේ රටට දළදා හිමි සරණයි ගීතය ගයන කොට. හරියට ජාතික ගීය කියනකොට වගේ කට්ටිය නැගිට්ටා. ගීතය කියලා ඉවර වෙන තුරු මේ කවුරුවත්ම වාඩිවුණේ නැහැ. මට හිතුණේ ඉතාලියට වෙලා රස්සාවල් කරන මේ මිනිස්සු ලංකාවට මොනතරම් ආදරේ කරනවාද කියලා. ගෞරව කරනවද කියලා. මගේ රටට දළදා හිමි සරණයි කියන කොට මේ රසිකයන්ට පුදුම විදිහට දේශ පේ‍්‍රමයක් ඇතිවෙන්න ඇති. ඒවගේ ගීතයක් ගායනා කරන්න ලැබීම ගැන ඒ වෙලාවේ මටත් අපේ මහත්තයාටත් පුදුම සතුටක් වගේම ආඩම්බරයකුත් දැනුණා.’’

පුරා දෙසතියක් පමණ ඉතාලියේ ගතකළ මේ කාලය තුළදී මහාචාර්ය සනත් සහ මල්කාන්ති යුවල ඉතාලියේ සිරි නැරඹීමටද අමතක කළේ නැත. ‘‘මම උපතින්ම කතෝලික. ඒ නිසා රෝමය කියන්නේ මට සුවිශේෂ ස්ථානයක්. ඒත් ගියවර කළ සංචාරයේදී අපි වතිකානුවට ගිය නිසා මෙවර වතිකානුවට යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි රෝමයේ කොලෝසියම වගේ ඓතිහාසික ස්ථාන බලන්න නම් මම ගියා. ඒ ගමන්වලින් වැඩියෙන්ම සතුටට පත්වුණේ මමයි කිව්වොත් හරි. මහාචාර්යතුමාට වඩා ඒ ගමන්වලින් මමයි සතුටක් ලැබුවේ. අපි දැන් ගොඩක් වයසයි. එහෙම වෙලත් අපේ රසිකයො අපිට ආදරය කිරීම මට පුදුමයට කරුණක්.’’

මල්කාන්ති නන්දසිරි වඩාත් හැඟුම්බර ලෙස පැවසුවාය.

මේ ලිපිය ආරම්භයේදී සටහන් කළේ සනත් නන්දසිරි ප‍්‍රසංගයකදී කියාගෙන ආ කථාවක අඩක් පමණි. එහි ඉතිරිය නොලියා මේ ලිපිය අවසන් කළ නොහැකිය.

‘‘මගෙයි ගෑනු ළමයෙකුගෙයි පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා. ඒත් මගෙයි ඒ ළමයගෙයි ආර්ථික පරතරය වැඩියි. මේ නිසා අපේ පේ‍්‍රම සම්බන්දෙට ඒ පැත්තෙ මව්පියන්ගෙන් කැමැත්තක් තිබුණේ නෑ. මම මගේ ගෙදර මේ ගෑණු ළමයා වෙනුවෙන් සුසුම් හෙලද්දී එයා එයාගෙ ගෙදර කඳුළු පෙරුවා.

ඔය අතරෙ එයාට වෙනත් විවාහ යෝජනාවක් ඇවිත්.

අපි අතර තොරතුරු හුවමාරුවක් සිදුවුණේ නැහැ. ලියුම් එවන්නත් තහංචියි. ඔන්න එක දවසක මට ටෙලිග‍්‍රෑම් එකක් ආවා. ‘වහාම පැමිණ මා හමුවන්න’ ටෙලිග‍්‍රෑම් එක එවල තිබුණෙ අර ළමයගෙ තාත්තා. මං හිතුවා තාත්තා අදහස වෙනස් කරගෙන ඇති මගෙ කෙල්ලව මට බන්ඳල දෙන්න තමා මේ හදන්නෙ කියලා.

මං එවෙලෙම ලෑස්තිවෙලා මගේ ගෑනු ළමයගේ ගෙදර ගියා.

ගේ ළඟ සුදු කොඩියක්.

මං හිතුවා එයාගෙ කවුරු හරි මියගිහින් ඇති කියලා.

මගේ පෙම්වතිය හොය හොයා මං ගෙදර සාලෙට ගියා. එතකොට මං දැක්කෙ මගේ පෙම්වතිය.

මියගිහින් තිබුණෙ ඇය.

ඒ වෙලාවෙ මගේ හදවතට දැනුණු දුක මං ලිව්වා. අනේ සර්, සර්ගෙ කටහඬින් මට මේ සිංදුව කියල දෙන්න කියලා අර තරුණයා මට කඩදාසියක් දුන්නා. ඒ සිංදුව තමයි,

 

‘එදා මෙදාතුර කඳුළට විවර වූ

දෑස් පියන් පත් කවුළු වසා

දෑත ලයේ බැඳ අවසන් ගමනට

සොඳුරිය මට නොකියාම ගියා’

 

මේ සිංදුව එදා මෙදාතුර හැමදාමත් මම ප‍්‍රසංග වේදිකාවේදී ගායනා කරනවා. අදටත් රසික ජනතාවගේ ආදරය නොඅඩුවම මේ ගීතයට ලැබෙනවා.’’ ඉතාලි ප‍්‍රසංග ශාලාවේදී සනත්කී මේ කතාව රසික නෙත් කඳුළුවලින් පුරවාලූහ.

 

ශාන්ත කුමාර විතාන