නිරූපණය කියන්නේ කාලයත් එක්ක වෙනස් වෙන දෙයක්



 2017-10-12-ent-11

මෝස්තර නිරූපණ ශිල්පියෙකු ලෙස වර්තමානයේ කටයුතු කරන ඔෂාන් ෆර්නැන්ඩෝ නිරූපණ ක්‍ෂේත්‍රය තුළින් දිගුගමනක් යාමට වෙර දරණ තරුණයෙක්. මේ වනවිට නිරූපණ කටයුතු මෙන්ම මියුසික් වීඩියෝ කිහිපයකට සිය දායකත්වය ලබාදී ඇති ඔෂාන් ඉදිරියේදීද නිරූපණ ක්‍ෂේත්‍රය තුළින් දිගු ගමනක් යන්නට උත්සාහ දරන්නෙක්.

 

නිරූපණ ක්‍ෂේත්‍රයට පිවිසුණේ?

2017-10-12-ent-10පාසල් අවධියේ ඉඳන් මට ලොකු ආසාවක් තිබුණා නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. පාසල් අධ්‍යාපනය නිමාවත් එක්ක රූපවාහිනි අවුරුදු කුමරා තරගවලට ඉදිරිපත් වුණා. ඉන් ජයග්‍රහණයත් දිනාගත්තා. ඊට පස්සේ නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඔය විදිහට තමයි මගේ නිරූපණ ගමනේ ආරම්භය සිදුවුණේ.

 

නිරූපණය පිළිබඳව හැදෑරීමක් කළාද?

කළා. ඊට අමතරව සිරස නාළිකාවේ තිබුණ රියැලිටි වැඩසටහනකටත් මම දායක වුණා. එහිදී නිරූපණය පිළිබඳව ලොකු දැනුමක් අවබෝධයක් මට ලැබුණා. නමුත්, මම ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා නිරූපණය පිළිබඳව හැදෑරීමකුත් කළා. තවමත් ඒ හැදෑරීම් සිදු කරමින් යනවා කිව්වොත් හරි.

 

නිරූපණ ක්‍ෂේත්‍රයට යොමු වෙන්න ආස හිතුණේ ඇයි?

හේමාල් රණසිංහ අයියාට ගොඩක් ආසයි. හේමාල් අයියා දැන් නළුවෙක් වුණාට ඉස්සර නිරූපණ ශිල්පියෙක්. ඒ නිසා මටත් ලොකු ආසාවක් තිබුණා නිරූපණය පැත්තට යොමු වෙන්න. අද ක්‍ෂේත්‍රයට ඇවිල්ලා යම් දුරකුත් මම ගිහින් තියෙනවා. මගේ ලොකුම බලාපොරොත්තුව ජනප්‍රිය සම්මානයක හිමිකරුවෙක් වෙන්න තමයි.

 

අඩු වයසකින් නිරූපණය අංශයට ජය ගැනීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම නිරූපණය හොඳ කලාවක්. අපි හරියට මේ ක්‍ෂේත්‍රය පිළිබඳව හැදෑරීමකින් හා අවබෝධයකින් කටයුතු කළොත් ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න පුළුවන්. ඒ වගේම උත්සාහයත් අනිවාර්යයෙන්ම තියෙන්නේ ඕනා.

 

ඉදිරිය?

මා රංගනයෙන් දායක වුණ ගීත රූප රචනා කිහිපයක් නිකුත් වෙලා තියෙනවා. ඊට අමතරව පොටෝ ෂුට් කිහිපයකටම මේ දිනවල දායක වෙමින් ඉන්නවා. තවත් ගීත රූප රචනා කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒවාට දායක වෙන්නත් බලාපොරොත්තු වෙනවා.

 

නිරූපණය වෘත්තියක් විදිහට කරන්නද බලාපොරොත්තුව?

නිරූපණය කියන්නේ කාලයත් එක්ක වෙනස් වෙන දෙයක්. ඒ නිසා මගේ හැකියාවන් පුළුවන් උපරිමයෙන් සිදු කරන්න මම බලාපොරොත්තු වෙනවා. අද කාලේ හැටියට නිරූපණය වෘත්තියක් විදිහට කරන්නත් පුළුවන්. බොහෝ විට එය මගේ වෘත්තිය වේවි.

 

උදවු කළ අය?

මගේ අම්මා, තාත්තා, දෙව්මින් අක්කා, ධනංජය රූපසිංහ අයියා, මගේ යහළුවෝ මේ හැම කෙනෙක්ම මට ගොඩක් උදවු කළා. ඒ වගේම හැම වෙලාවෙම මාව දිරිමත් කරන රසික පිරිසකුත් ඉන්නවා. ඔවුන්වත් කෘතවේදීව මතක් කරනවා.