දේදුනු ආකාසේ රඟපාද්දී වුණ දේවල් ගැන චූලක්ෂි කිව්ව දේ



2017-10-12-ent-12

“අම්මෝ... මම බයෙන් තමයි මුලින්ම රඟපෑවේ. හැබැයි ප්‍රියන්ත අයියයි, ඩොනල්ඩ් අයියයි අනික් හැමෝමයි මට ගොඩාක් උදවු කළා. ඒ විතරක් නෙමෙයි හේමාල්ගෙන් මට ලොකු සපෝට් එකක් ලැබුණා. එයා හැමවෙලේම මට ඊළඟට කරන ෂොට් එක කරන්න ඕන විදිහ ගැන ප්‍රියන්ත අයියත් එක්ක එකතුවෙලා කියලා දුන්නා. සමහර තැන් ගන්න ටේක් දෙක තුනක් කරන්නත් සිද්ධ වුණා. ප්‍රියන්ත අයියා මට මේකේ ප්‍රධාන චරිතයක් කියලා කියපුවම මට මුලදී බයක් හිතුණා. අපි මේකේ රෑගත කිරීම් කළේ නුවර හන්තානේ, කොළඹ වැනි ප්‍රදේශවලයි. සමහර දවස්වලට මේ ඩාන්සින්වලට පැය ගාණක් අපි වෙහෙසුණා. ඒත් අපිට ලොකු මහන්සියක් දැනුණේ නෑ. අපි ඒ හැම දෙයක්ම කළේ හරිම ආසාවෙන්.

හැබැයි අනේ දැන් අපි මේ චිත්‍රපටය බලද්දී හරිම හරි දුකයි. අපිත් එක්ක හිටපු දසුන් අද අපි අතරේ නෑ. දසුන් කියන්නේ හරිම හරි හොඳ නළුවෙක්. එයා හැමවෙලේම හිටියේ හිනාවෙලා. සමහර වෙලාවට දසුන් මොකක්හරි දෙයක් කියලා මහ හයියෙන් හිනාවෙනවා. සමහර ඩාන්සින් ස්ටෙප් වැරදෙද්දීත් දසුන් “සොරි... සොරි... කියලා හිනාවෙනවා. ඇත්තටම අද අපි අතරේ දසුන් නැති එක අපිට ලොකු පාළුවක්. අදත් දසුන් අපි අතරේ හිටියා නම් එයත් අපිත් එක්ක ඉඳගෙන “දේදුණු ආකාසේ” බලනවනේ.”

සැබැවින්ම දසුන් නිශාන් ජීවිතයෙන් සමුගෙන සති දෙකක් යන්නටත් මත්තෙන් ඔහුගේ පළමු සිනමා නිර්මාණය වූ “දේදුණු ආකාසේ” දෙඇසින් බලාගන්නට විඳින්නට දසුන්ට නොහැකි විය. දසුනක ෙශ්ෂය පමණක් ඉතිරි කර දසුන් නිශාන් ජිවිතයට ආයුබෝවන් කියා අහවරයි. දේදුන්නක තැවරැණු පාට ගෙන ජීවිතයේ හීන පාට කරන්නට හීන දැකපු දසුන් දේදුණු ආකාසයෙන්ම සිනමාකරණයෙන් සමුගත්තේය.

දඟකාර සොඳුරු යෞවනියක් වූ විහඟිගේ ජීවිතේ එක්තරා තැනකදී වෙනස්ම වෙනවා. වේග රිද්ම සංගීතයට බටහිර පන්නයට නර්තන ඉදිරිපත් කරන්නට වැඩි කැමැත්තක් දැක්වූ විහඟිගේ ජීවිතේ නතර වන්නේ තම පියාගේ අඩිපාර ඔස්සේ යමින් ගමේ අහිංසක දරැවන්ට නැටුම් උගන්වන ගුරැවරියක් ලෙසින්. ඒ අතර තවත් බොහෝ දේ සිදුවෙනවා.

දේදුණු ආකාසේ සිනමා නිර්මාණයේ විහඟිත් සමුද්‍රත් එක්කම නටන තවත් නැට්ටුක්කාරියක් ඉන්නවා. දේදුණු ආකාසේ ගීත පාට කරන්නට උත්සාහ කළ පවනි විදිහට ඔබ හමුවන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ නිරෑපණ ශිල්පිනියක් වූ ටීනාය.

 

2017-10-12-ent-13