'සීමා නෑ ආකාසේ' චිත්‍රපටයට ප්‍රතිචාර හොඳයි



2017-12-06-ent-07

මේ දිනවල ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවන ජනප්‍රිය රංගන ශිල්පී ධනංජි තාරුකා කළුආරච්චි මේ වනවිට නමාවටද පිවිස සිටියි. ඒ නිහාල් බණ්ඩාර අධ්‍යක්ෂණය කරපු ‘සීමා නෑ ආකාසේ’ චිත්‍රපටය හරහාය. වසර හතකට අධික කාලයක් තිස්සේ රංගන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන ධනංජි ‘සීමා නෑ ආකාසේ’ චිත්‍රපටය හරහා සිනමාවට එක්වීමට ලැබීම පිළිබඳව ‘සාරවිට’ අපිට දැක්වූයේ මෙවැනි අදහසකි.

‘සීමා නෑ ආකාසේ’ චිත්‍රපටය කරලා නම් දැන් අවුරුදු දෙක තුනක් වෙනවා. නමුත්, කාලයත් එක්ක මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන එක කල් ගියා. සමහරක් විට ඒක මගේ වාසනාවට වුණා වෙන්න පුළුවන්. මොකද, මේ චිත්‍රපටය කරපු කාලේ මාව ලොකුවට ප්‍රේක්ෂකයෝ දන්නේ නැහැ. ඒත්, දැන්නම් ගොඩක් අය මාව රංගන ශිල්පිනියක් විදිහට දන්නවා. ඉතින් දන්න කාලෙම සිනමා නිර්මාණයක් හරහා සිනමාවට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි මට. ‘සීමා නෑ ආකාසේ’ චිත්‍රපටයට පසුව මා රංගනයෙන් දායක වුණ චිත්‍රපට කිහිපයක්ම තව එන්න තියෙනවා. ‘බ්ලැක්මේල්’ කියලා චිත්‍රපටයක දැන් වැඩ ඉවර කරලා තියෙනවා. බොහෝ විට ඒ චිත්‍රපටය ඉතා ඉක්මනින් තිරගත වේවි කියලා හිතනවා.