'කුසල්' කියන්නේ සම්පූර්ණම දේශීය අමුද්‍රව්‍ය යොදා ගෙන කරපු චිත්‍රපටයක්



2018-02-13-ent-61

අර්ජුන් කමලනාත් රංගන ශිල්පියෙකු ලෙස බොහෝ දෙනා දැන හැඳින සිටියද, ඔහු අධ්‍යක්‍ෂවරයෙක්ද වෙයි. ඔහු විසින් අධ්‍යක්‍ෂණය කරනු ලැබූ චිත්‍රපටයක් වන ‘කුසල්’ මේ මස සිට තිරගත වීමට නියමිතය. එම නිර්මාණ පිළිබඳ කතාබහ කිරීමට ඔහු මෙලෙස සම්බන්ධ කර ගතිමු.

 

අපි මුලින්ම ‘කුසල්’ ගැන කතා කරමු?2018-02-13-ent-63

‘කුසල්’ කියන්නෙ ඉසුරු ෆිල්ම්වලින් කරන දෙවැනි නිෂ්පාදනය. මගෙත් දෙවැනි අධ්‍යක්‍ෂණය. ‘කුසල්’ චිත්‍රපටය පෙබරවාරි 23 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලා 63ක තිරගත වෙනවා. මේකේ පිටපතත් මගේ. මම මේකෙදි වැඩියෙන්ම අවධානය දුන්නේ භාෂාව කියන දේට. මොකද අපි වර්මානයේ ළමා කියලා තිරගත වන චිත්‍රපට ගැන බැලුවොත් ඒ චිත්‍රපටවල කතා කරන්නේ අමුඅමුවෙන්ම වැඩිහිටි මාතෘකා ගැන. මේක මම විතරක්ම කියන දෙයක් නෙවෙයි. මම ආශ්‍රය කරන සමාජයේ ඉන්නවා දොස්තරලා, නීතිඥයෝ වගේ හැම තරාතිරකම අය. ඒ අය අහන දෙයක් තමයි ඇයි ළමා චිත්‍රපට කියලා කරලා ඒවා ඇතුළේ වෙනවෙන මාතෘකා ගැන කතා කරන්නේ. අපි ළමයි ඉස්සරහ ගොඩක් අසරණ වෙනවා. ඒ දේවල් මගේ හිතේ තැන්පත් වුණු දේවල්. ඉතින් මම හිතාගත්තා කුසල් චිත්‍රපටය කරද්දි ඉතාම කල්පනාකාරීව තිර රචනය සිදු කරන්න.

 

චිත්‍රපටයේ ඇතුළාන්ත කතාව ගැන කිව්වොත්?

මෙම චිත්‍රපටයේ ඇතුළාන්තය ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් විශේෂයෙන් කිව යුතු වන්නේ, මේ චිත්‍රපටයේ මම භාවිත කළා අඩි 06ක නාගයෙක්, හොඳට පුහුණු කරපු රිළවෙක් සහ සුනඛයෙක්ව. මේ කිසිම දෙයක් ඇනිමේෂන් නෙවෙයි. මේ සත්තු තුන්දෙනාම ස්වාභාවික රංගනයක් තමයි ඉදිරිපත් කරන්නේ. මම මේ වෙනුවෙන් කැමරා තුනක් සූදානම් කළා. එක කැමරාවක් කැමරා ශිල්පියෙක් සමගම වෙන් කරලා තිබුණා නාගයා වෙනුවෙන්. සුනඛයයි, රිළවවයි රඟපාවන්න පුළුවන් පුහුණු කරලා තිබුණු නිසා. ඒත් නාගයෙක් රඟපාවන්න බැහැ මං දන්න විදියට කිසිම කෙනෙක්ට. කැමරා ශිල්පියා රඟපෑවා නාගයත් එක්ක. ඉතින් ඒ ඔක්කොම වැඩ බලන්න පුළුවන් චිත්‍රපටය තිරගත වුණාම, ඒවා කොච්චර දුරට සාර්ථකද කියලා. මේ චිත්‍රපටය හොඳයි කියන එකට හොඳම නිදසුන තමයි ඊ.ඒ.පී. මණ්ඩලය චිත්‍රපටය බාරගැනීම. මොකද ඊ.ඒ.පී. මණ්ඩලය කියන්නේ ලංකාවේ තියෙන හොඳම සිනමා ශාලා මණ්ඩලය. එයාලා චිත්‍රපටය බාරගන්න කලින් ගොඩක් පැති බලනවා. මම මනා සංයමයකින් පිටපත ලියලා, මනා සංයමයකින් ඒ හැමදේම කරලා විශේෂයෙන් අඩ නිරුවත් කියන දේ පිළිබිඹු වෙන්නේ නැතුව මේ චිත්‍රපටය කළේ.

 

ඇත්තටම ‘කුසල්’ කියන්නේ ළමයින්ටම ආවේණික චිත්‍රපටයක්ද?

‘කුසල්’ කියන්නේ, පවුල පිටින් ඇවිත් නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. අම්මයි තාත්තයි නැති වුණාම දරුවෙක් මේ සමාජයේ කොතරම් අසරණ වෙනවද කියන එක තමයි මට මේකෙන් පෙන්නන්න ඕන වු‍ණේ. ලංකාවේ ඇති හැකි අය, ලොකු දානමාන දෙන, පිංකම් කරන අය අසරණ දරුවෙක් දැක්කම හැසිරෙන විදිය, සුරතල් සතුන් කොච්චර ළමයින් එක්ක එකතු වෙනවද කියන කාරණා මේ චිත්‍රපටයේ තියෙනවා. මිනිස්සු ළඟ නැති මනුස්සකම සත්තු ළඟ තියෙනවා. මේ චිත්‍රපටය පුනරුප්පති කතාවක්. බුදු දහමේ කියන මිය යෑමෙන් පසු නැවත ආත්මයක් තියෙන බව මම මේ චිත්‍රපටයෙන් කතා කරනවා. මේකේ යටිපෙළ අර්ථ ගොඩක් තියෙනවා. ඒවා තමයි වැඩිහිටියන්ට ගන්න තියෙන ආදර්ශ. ළමයින්ට මේක සුන්දර අත්දැකීමක් වෙයි.

මේකේ යටිපෙළ වැඩිහිටියෝ හරියට අල්ල ගත්තොත් අධ්‍යක්‍ෂවරයා කියන දේ එයාලට තේරෙයි. හැබැයි ළමයින්ට එච්චර දුරට හිතන්න අමාරුයි. එයාලට මේක සුන්දර නිර්මාණයක් වෙයි.

මේ චිත්‍රපටය සියයට සියයක්ම ලංකාවේ නිෂ්පාදනයක්. කිසිම දෙයක් ඉන්දියාවේ නොවෙයි. ඉන්දියන් කොපියකුත් නෙවෙයි. සම්පූර්ණම දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන කරපු චිත්‍රපටයක්. චිත්‍රපටයේ හැමදේම කළේ මගේ ස්ටුඩියෝ එකේ. ඒකට මගේ ස්ටුඩියෝ එකේ සංස්කරණ ශිල්පියා ඩිලාන් ගුණවර්ධන, එයා තමයි කැමරා ශිල්පියා. එයා ඇතුළු චිත්‍රපටයට දායක වූ හැමදෙනාටම මම ස්තුතිවන්ත වෙනවා මේ තරම් සාර්ථක කරගන්න උදවු වුණාට. සිනමා ශාලා හිමියන්, මාධ්‍යවේදියන් ඇතුළු මහජනතාව මේ චිත්‍රපටය තව තවත් උඩට ගෙනෙයි කියලා මම විශ්වාස කරනවා.

 

මේ චිත්‍රපටයේ වැඩ ඉවර කරලා කොච්චර කාලයක් වෙනවාද?

මේක සෙන්සර් කරලා අවුරුදු 02යි මාසයක් වෙනවා. මම අවුරුදු දෙකක් පෝළිමේ ඉඳලා තමයි එන්නේ. මට මේක පෙන්නන්න තිබුණේ පසුගිය අගෝස්තු මාසේ 07 වැනිදා. නමුත් යම්යම් ප්‍රශ්න තියෙනවා. මම ඉතින් කවුරු එක්කවත් රණ්ඩු කරන්න ගියේ නැහැ. මට ලැබෙන වෙලාව හොඳම වෙලාව කියලා හිතාගත්තා. ඒ ඉවසීම නිසා තමයි මට ඊ.ඒ.පී. මණ්ඩලය හම්බුණේ. චිත්‍රපටයක් කරලා ඒක මාස හයහතකින් එළියට දෙන්න පුළුවන් නම් ඉතින් හොඳ දෙයක්. හැමෝටම හැමදේම ලැබෙන්නේ නැහැ. මම ඉතින් බලාගෙන හිටියා. මේක සර්වකාලීන මාතෘකාවක් නිසා කාලය එච්චර ප්‍රශ්නයක් නෙවෙයි.

 

අද වෙද්දි නිර්මාණයක් කරලා කාලයක් බලාගෙන ඉන්න වෙන නිසා මේ ක්‍ෂේත්‍රය තුළ පිරිහීමක් තියෙනවා නේද?

ඇත්තටම ඔව්. චිත්‍රපටයක් කරලා කාලයක් බලාගෙන ඉන්න වෙන එක නම් හරිම කනගාටුදායක සිදුවීමක්. ඒකට මට නම් හිතෙන්නේ සිනමා ශාලා ප්‍රමාණය වැඩිකර ගන්න ඕන. මොකද සිනමා ශාලාවක් පෙට්ටි කඩයක් විය යුතු නැහැ. ඒක මේ කොහේ හරි තියෙන බිල්ඩින් එකක උඩ තට්ටුවක් අරන් සීට් පනහක් දාලා හදන්න බැහැ. මොකද හෝල් එකක තිරය ලොකුයි. මිනිස්සු කැමැති ලොකු තිරයක බලන්න. අඩුම ගානේ හොඳ පහසුකම් තියෙන ශාලා පනහක්වත් මේ රටේ හැදෙනවා නම් හොදයි. එතකොට තව සර්කිට් එකක අවශ්‍යතාවක් තියෙනවා. මණ්ඩල පහක් තිබුණට ක්‍රියාත්මක වෙන්නේ මණ්ඩල තුනයිනේ. ඊ.ඒ.පී. එක තනියෙන් යනවා. ශෙල් එකයි සංස්ථා එකයි සම්බන්ධ වෙලා යනවා, එම්.පී.අයි. සම්බන්ධ වෙලා යනවා. එක්කෝ මේ සර්කිට්වලට තව සිනමා ශාලා වැඩි කරන්න ඕන. මේක තුනක් නැතුව පහක් විදියට වැඩ කරන සිස්ටම් එකක් හදන්න ඕන. මොකද එතකොට එකපාර චිත්‍රපට පහක් රිලීස් වෙනවා. අනිත් එක තමයි මේ දින සියයක්, හැත්තෑ පහක් දුවන්න ඕන කියන මානසිකත්වය නැති කරන්න ඕන. සමහර අයට ඕන එහෙම දුවන්න. ෆිල්ම් හෝල්වල එක මැස්සෙක් නැහැ.

දැන් මගේ චිත්‍රපටය එනකොට මාත් එක්ක එනවා ‘නෙළා’, ‘පෝරිසාදයෝ’. මම කාටවත් කියන්නේ නැහැ ඒ චිත්‍රපට හංගලා මගේ එක දාන්න කියලා. මේක ළමා චිත්‍රපටයක් නිසා සිනමා ශාලා හිමියෝ ඉල්ලීමක් කළොත් 6.30 දර්ශනය දෙන්න කියලා එකඟත්වයට එනවා. මම කියන්නේ මගේ චිත්‍රපටය හංගලා අනිත් ඒවා දාන්නත් එපා. අනිත් ඒවා හංගලා මගේ එක මම දාන්නෙත් නැහැ. මගේ චිත්‍රපටය වුණත් දුවන්නේ නැත්නම් මම කියනවා ගලවලා දාන්න කියලා.

අනිත් එක මේ ඩී.වී.ඩී. ෆිල්ම් කරලා ඊට පස්සේ ඒක ෆිල්ම් හෝල් එකට ගේන එක චිත්‍රපට සංස්ථාව මැදිහත් වෙලා නවත්වන්න ඕන. ලක්‍ෂ 10ට අඩු ෆිල්ම් කරන එක නවත්වන්න ඕන. මොකද ඒ චිත්‍රපට දැක්කම මිනිස්සු බණින්නේ සිංහල සිනමාවටම. සෙන්සර් බෝඩ් එකෙන් බලන්නේ චිත්‍රපටය බලන්න සුදුසුද කියන එකනේ. සංස්ථාව වෙනම කමිටුවක් පත් කරන්න ඕන මේකට කීයක් ගියාද?, කවුද ආර්ටිස්ට්, මොකද්ද කැමරා එකේ තත්ත්වය. ඒ වගේ තත්ත්ව පරීක්‍ෂණයක් කරලා ගේන්න ඕන. අලුත් අත්දැකීම් විඳින්න ඕන. එහෙම කළා කියලා ෆෝන් එකෙන් ෂූට් කරලා ලොකු ස්ක්‍රීන් එකේ පෙන්වන්න බැහැනේ. හොලිවුඩ්, බොලිවුඩ් ෆිල්ම් එහෙම කරන්නේ නැහැනේ. ඒවත් එක්කනේ අපි හැප්පෙන්නේ. අපිම තමයි මේක වට්ටගෙන තියෙන්නෙත්. අපිම තමයි මේක නැගිට්ටන්න ඕනෙත්. අපට පුළුවන් ආණ්ඩුවේ භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කරන්න හෝල් ටිකක් හදන්න සල්ලි ටිකක් දෙන්න කියලා. වැඩේ කියන්නේ අපේ අය එකමුතු නැහැනේ. අපි ෆයිට් කරන්න ඕන ඉන්දියාවත් එක්කනේ. බොලිවුඩ් ෆයිට් කරන්නේ හොලිවුඩ් එක්කනේ. හැබැයි අපේ අය ෆයිට් කරන්නේ අපේ අය එක්කමනේ. අපේ අයගේ ආත්මාර්ථකාමීත්වය නැතිවුණු දවසට සිනමාව ගොඩ එයි. නැත්නම් ඔයා තව අවුරුදු 10කින් ඔය ප්‍රශ්නෙම ඇහුවොත් මට දෙන්න තියෙන උත්තරයත් ඕකමයි.

 

අපි අවසාන වශයෙන් කතා කරමු ඔබ දායක වූ ඉදිරියට එන නිර්මාණ ගැන?

‘කුසල්’ එනවා. ඒකෙ මම අවශේෂ චරිතයක් කරනවා. මමයි, සුරංගයි එකතු වෙලා කරපු නිර්මාණයක මම ප්‍රධාන චරිතයක් කරනවා. තව මම ‘කුණාටුවේ මාරයා’ කියලා අධ්‍යක්‍ෂණය කරපු ෆිල්ම් එකක් තියෙනවා. ඒක පාසල් කාලය ඉවර වුණු අයගේ වයසේ කතාවක්. මම නිෂ්පාදනය කළා ‘ඝරසර්ප’ ෆිල්ම් එක. තව එකකට ආරාධනා ලැබුණා. හොඳ නිර්මාණ ආවොත් බාර ගන්නවා. හිතට එකඟ නැතිව කරන්න අමාරුයි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

 2018-02-13-ent-62