ජනප්‍රිය වෙන්න එක ගීතයක් තිබුණත් හොඳටම ඇති



2018-03-13-ent-01

ගායකයෙකු හෝ ගායිකාවක ලෙස ජනප්‍රියත්වයට පත්වෙන්නට ගීත කොපමණ ප්‍රමාණයක් ගැයිය යුතු යැයි ඔබ සිතනවාද ? ඒ ගීත අතරිනුත් සර්වකාලීන ගීතයක් නැතිනම් කාලාන්තරයක් පවතින හැම කලකටම ගැළපෙන ගීත කීයක් එක් ගායිකාවක හෝ ගායකයෙකු සතු විය යුතුද? රඟන තාල මවා ( රඹකිඳ රබන් කිකිඳ ) යන ගීතය චාන්දනී හෙට්ටිආරච්චි මහත්මිය සමග ගැයූ පීටර් රොසයිරෝ ගායන ශිල්පියා දැන් කෙහෙද? ඔහු දැන් ගීත ගයන්නේ නැතිදැයි විමසන රසික රසිකාවන් වෙනුවෙන් පසුගිය දිනෙක රඟන තාල මැවූ ඔහු සොයා කතා බහක යෙදෙන්නට අපි අදහස් කළෙමු.

 

ඇයි ඔබ මේ තරම් නිහඬ ?

මම කවදත් ඒ තරම් වැඩි සද්ද බද්ද ප්‍රිය කළ කෙනෙක් නෙවෙන නිසා වෙන්න ඇති. මම කවදත් වෘත්තීමය ගායකයෙක් වෙලා හිටියේ නැහැ. රැකියාව කරන අතර තුර මම සංගීතයට මගේ තිබුණු කැමැත්ත සහ ලැදියාව නිසාත් ගී ගයන්න තිබුණු ආශාව නිසාත් ගී ගැයුවා. මම හැමදාම අන් අයව සතුටින් තබන්නට හැකි දේ වෙනුවෙන් කැප කිරීමක් කරලා ඒ අය එයින් සතුටු වෙන හැටි බලලා මගේ මානසික තෘප්තිය ඇතිකරගත් කෙනෙක්.

රැකියාවෙන් වූ ආතතිය එයින් නැතිවෙන එක මට සැනසීමක් .2018-03-13-ent-02

අසූව දශකයේ මම තරුණයෙක්ව සිටියදී විනෝදාංශයක් විදිහට තමයි මම සංගීතයට යොමු වුණේ. මේ කියන කාලෙදී මම එක් සංගීත කණ්ඩායමකට සම්බන්ධව කටයුතු කළා . ඉතිං ඒ අතර අහම්බෙන් තමයි මට සුපර් ස්ටාර්ස් කණ්ඩායමට සම්බන්ධ වෙන්න ලැබුණේ. එතකොට මම ගායකයෙක් විදිහට කොහොමටවත් ජනප්‍රිය නැහැ. ඒ කාලෙ මම ගුවන්විදුලියේ ආධුනික වැඩසටහන්වල ගී ගැයුවා තරගවලට. ‘නිකාඩෝ නවක තරු’ වැඩසටහනින් වගේම. ‘පිබිදෙන ගායික පරපුර’ ආදී වැඩසටහන්වල ගී ගැයුවා. මම ගැයුවේ සී.ටී. ප්‍රනාන්දු මහත්තයාගේ ගීත. මම ඔහුගෙ ගීත හැම එකක්ම වගේ හොඳට දන්නවා. මාව ඒ ගීතවලටම කොටුවෙලා හිටි කාලේ තමයි මට පැට්‍රික් දෙනිපිටිය මහත්තයාව හමු වුණේ. සී. ටී. මහත්තයාගේ ගීත සීයට අනූවකම වගේ සංගීතවත් කර තිබුණේ පැට්‍රික් මහත්තයා. විවාහ මංගල උත්සවයකදී මා ගයන හැටි දැකලා මගේ ගායන හැකියාව අඳුනගෙන මාවත් ඔහුගේ සංගීත කණ්ඩායමට එක් කරගත්තා.

එහි මා මෙන්ම මගේ වයසට කිට්ටු තවත් තරුණයන් දෙදෙනෙක් හිටියා. ඒ තමයි පැට්‍රික් දෙනිපිටිය මහත්තයාගේ පුතුන් දෙදෙනා. ප්‍රීමස් හා මහේෂ්. ඉතිං මේ අයගේ ඇසුර මට සංගීතය එක්ක මිතුරු වෙන්න තදින්ම බලපෑවා. එයින් පස්සෙ කාලෙකදී මට මහේෂ්ගේ සංගීත කණ්ඩායමටත් එකුවෙන්න අවස්ථාව පෑදුණා. ඉතිං සුපර් ස්ටාර්ස් සංගීත කණ්ඩායමේ ඉන්න දවස්වල කණ්ඩායමේ ගීතයක් විදිහට තමයි රඟන තාල මවා ගීතය සරත් ද අල්විස් මහත්තයා නිර්මාණය කරන්න යෙදුණේ. හදිසියේම සුපර් ස්ටාර්ස් කණ්ඩායමේ කිහිපදෙනෙකුට විදේශගත වෙන්න වුණ නිසා ඒ ඉතිරි කණ්ඩායම ‘නයිට් රයිඩර්ස්’ නමින් වෙනම කණ්ඩායමක් වුණා. මෙන්න මේ කියන කාලේ තමයි රඟන තාල ගීතය ජනප්‍රිය වුණේ.චාන්දනී ඒ දිනවල අපේ කණ්ඩායමේ ආරාධිත ගායිකාව. ඒ අනුව තමයි මේ ගීතය මම ඇයත් එක්ක ගායනා කළේ.

නයිට් රයිඩර් කණ්ඩායමත් පසු කාලෙක ඩයිනමයිට්ස් නමින් අලුත් වුණා. ඒත් මට ඊට සම්බන්ධවෙන්න වුණේ නැහැ. ඒ රැකියාවේ වූ අධික කාර්යබහුලත්වය නිසා. ඒත් ඒ කාලේ නන්දන වින්දන වැනි රූපවාහිනී ප්‍රසංග නිසා මමත්, චාන්දනීත් ගැයූ රඟන තාල මවා ගීතය ලොකු ජනප්‍රියත්වයක් ලැබුවා. ඒ එක්ක තමයි පීටර් රොසයිරෝ කියලා ගායකයෙකු බිහි වුණේ ජනප්‍රිය වුණේ. ඒ කාලේ වැඩි වුණේ සංගීත ප්‍රසංගනේ ඉතිං නිදිමරාගෙන වැඩ කරල රැකියාවට යන්න බැරි නිසා මම නයිට් රයිඩර් කණ්ඩායමෙන් පස්සේ මහේෂ් එක්ක එකතුවෙලා ඒ කණ්ඩායමේ නිත්‍ය ගායකයෙක් විදිහට ලොකු කාලයක් වැඩ කළා. මහේෂ්ට හදිසියේම ශිෂ්‍යත්වයක් ලැබිල විදේශ ගතවෙන්න වුණාම මහේෂ්ගේ එතෙක් කරගෙන ආව වැඩ ටික සේරම මට භාරදුන්න. ඒ විදිහට තමයි මට වෙනම සංගීත කණ්ඩායමක් බිහි කරගන්න වුණේ.

 

ඉතිං ඇයි ඔබ මේ තරම්ම නිහඬ වෙන්න හිතුවේ?

අනූහයේ අපි ඔස්ට්‍රේලියාවේ සංචාරයකට කණ්ඩායමම එක්වුණා. මගේ රැකියාවත් මගේ සංගීත කණ්ඩායමත් මෙහෙයවීමේ කටයුතු තිබුණ නිසා මට තරමක් නිහඬ වෙන්න වුණා. මම කළ ගීත තියෙනවා බොහෝමයක්. නමුත් ප්‍රසංගයක කියන්න තියෙන්නේ ගීත තුනයිනේ. ඉතිං රඟන තාල මවා කියන ගීතය මට ගෙනාව ජනප්‍රියත්වය හොඳටම ඇති. නමුත් මම සංදර්ශනවලට ගියේම නැති තරම්. ඒත් මේ ගීතය වැඩිපුරම ජනප්‍රියත්වයක් දිනාගත්තේ චාන්දනී මේ ගීතය දිගටම සංදර්ශනවල ගැයූ නිසා.

මම බොහෝවිට වැඩකළේ මගේ කණ්ඩායමක් එක්ක. තනියම වැඩකරන්න කම්මැලියි වගේ වුණාට අපි කල් යල් බලලා හොඳ වැඩක් කළා. මේ නිසා සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් අපි ගැන හොඳ ආකල්පයක් දැරුවා.

 

ඉතිං අද පවතින රැල්ලේ ගීතයක් නිර්මාණය කරන්න අදහසක් නැද්ද?

අද පවතින රැල්ල කියන තැනට එන්න මගේ කැමැත්තක් නැහැ. මොකද මම කවදත් අනුන් කරන නිසා යමක් කරන කෙනෙක් නෙවෙයි. මට විඳින්න හැකි දෙයක්ද මේ කරන්නේ කියන එක මම බොහෝ දුරට හොයනවා.

 

ඒ කියන්නේ ඔබට වින්දනයක් නොදෙන ගීත ඔබ අහන්නෙත් නැහැ කියන එකද ?

ඉස්සර ගුවන්විදුලිය තමයි අපට ගීතයක් අහන්න තිබුණු ලොකුම ක්‍රමය. එයින් අපි උදා ගී අඩු පැය, දේශාභිමානී ගී , බොදු ගී, ළමා ගී කණ්ඩායම් ගී ,වැනි ගීත එක දිගට පැය භාගයක් ඇහුවා. අපිට චිත්‍රපට ගීතයක් අහන්න ඕන වුණාම අපි චිත්‍රපට ගී අඩ පැයෙන් ජෝති, ලතා, සුජාතා වැනි ශිල්පීන්ගේ ගීත රසවින්දා. ගුවන් විදුලියේ තිබුණු මේ වටිනාකම පුද්ගලික ගුවන් විදුලි නාළිකාවල ආගමනයත් එක්ක වෙනස් වුණා. ඊට පස්සේ අපිට ඇහෙන්නේ සිංදු හත්මාලුවක් , නැත්නම් අච්චාරුවක් වගේ. අපිට තෝරා බේරාගෙන අහන්න සිංදු ඒවාවල යන්නේ නැහැ. යන්නේ අතනින් මෙතනින් සිංදු ඔබලා. අච්චාරුවක් වගේ ඒ ගීත අස්සවනවා මිසක ආසාවෙන් අහන් ඉන්න අවස්ථාවක් දැන් නැහැ. ඉතිං බොහෝදුරට අර අලුත් නාළිකා එක්ක රේස් එකට වැටුණු ගුවන් විදුලියටත් අන්තිමේ තමන්ගේ අනන්‍යතාව නැති වුණා. ඉතිං අද තියෙන්නේ සල්ලි දීලා. ලයිසන් අරන් ගුවන් විදුලිය අහපු කාලේ නෙවෙයි. අහන අයට සල්ලි දීලා ඒ ඒ අයට කැමති ගීත අස්සවන කාලයක්.

 

ඒත් ඔබ මේ ගීත අතරට හොඳ ගීත ටිකක් එකතු කරා නම් ?

ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. හොඳ ගීත භාර දෙන්න යන එකත් දැන් මෝඩ වැඩක්. මොකද දැන් තියෙන්නේ හොඳ ගීතවලින් මනස එක්තැන් කරවන කලාවක් නෙවෙයිනේ ? කලාව සහ කලාකරුවා යන හැමදේම වෙනස්වෙලා. දැන් සිංදුවක් වාදනය කරන වාර ගණන වෙලාව වාදනය කරනවද නැද්ද යන්න හැමදේම මුදල් මතයි තීරණය වෙන්නේ.

 

කලාකරුවා වෙනස්වෙලා යැයි ඔබ කීවා. නමුත් තවමත් පරණ කලාකරුවෝම අප අතර ඉන්නවානේ. ඔවුන් වෙනස්වෙලා කියලද ඔබ කියන්නේ ?

යම් තරමකට වෙනස්වෙලා. ඒක තමයි ඇත්ත. කලාකරුවා කියන්නේ හරිම සංවේදී ලස්සන හිත් තියෙන සරල මනුස්සකම් සහ යහපත්කම්වලින් පිරුණ ජන කොට්ඨාසයක්ය කියන හීනය තමයි අපි කාගෙත් හිත්වල තියෙන රූපය. නමුත් සමහර වෙලාවට ඇතැම් කලාකරුවන් අතරින් හමුවෙන කුහකත්වය කලාව තරම් ලස්සන නැහැ නේද කියලා අපටම දැනෙනවා. ඒ වෙලාවට හිතෙනවා හොඳ වෙලාවට වෘත්තීමය කලාකරුවෙක් නොවුණේ කියලා.

 

ඔබේ කලාව එතකොට කවුරුන් උදෙසාද ? ඔබේ ඉලක්කගත පිරිස කවුද?

මනුස්සයන් නැතිනම් කිසියම් සෞන්දර්යාත්මක හැකියාවක් සහිතව ඉපදීම අහඹු දෙයක් නෙවෙයි. ඔවුන්ට තියෙනවා වගකීමක් . ඒ අන් අයගේ සතුට වෙනුවෙන් අන් අයගේ ජීවිත වෙනුවෙන් යමක් කරන්න. මම කරන්න උත්සාහ දරන්නේ ඒ දෙය මට හැකි පමණිනුයි. රසිකයන් වෙනුවෙන් මට ඕන ගීත හදලා , මගේ ගීත ජනප්‍රිය කරගෙන එයින් මම හම්බු කරගෙන, මගේ දේවල් විතරක් කරගෙන බැබලෙන්න නෙවෙයි මට ඕන. මමත්, මගේ බිරිඳ ෂෙරීන් සහ මගේ දියණියත් මේ ජන සමාජයේ තවත් කෙනෙකුගේ උපකාරයෙන් ජීවිතයට යම් එළියක් සහනයක් බලාපොරොත්තුවෙන අයවෙනුවෙන් සමාජමය කටයුතුවල නිරන්තරයෙන්ම යෙදෙනවා.

 

එවර් ග්‍රීන් ගැන කියන්නේ නැතිද?

එවර් ග්‍රීන් ලයිව් ඉන් කොන්සර්ට් නමින් අපි පසුගියදා ප්‍රසංගයක් පැවැත්වුවා. නමුත් එහි ඉන්නේ අපේ පරණ සගයන්මයි. කීර්ති පැස්කුවල් මහතාත් අපි සමග මෙයට සම්බන්ධ වුණා. ඉතිං අපි ‘එවග්‍රීන්’ අපේ මිත්‍රයෝ සමග අහන්න විඳින්න හැකි සංගීත රසයක් මවන්න තමයි මේ උත්සාහ ගත්තේ. මට සංගීතය හදාරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් මගේ දියණියට ඒ අවස්ථාව ලබාදෙන්න මම පුළුවන් වුණා. ඇය සංගීතය සම්බන්ධ උසස් ඉගෙනුමක් ලද කෙනෙක්. මගේ බිරිඳ ෂෙරීන් හොඳ කලාත්මක හැකියාවක් ඇති කෙනෙක්. ඇය මට සපයා දුන් ගී සංකල්පනා කීපයක්ම ඉතාම ලස්සන ගීත ලෙස නිමවී තිබෙනවා. ඒ සියල්ල මේ මහපොළවේ අපි නැති දවසකත් පවතීවි . ඒ හොඳටෝම ඇති කියලා මට හිතෙනවා.

 

නාලිකා රාජපක්ෂ