අපි නොදන්න ලයිව් මාව පිස්සු වැට්ටුවා



2018-04-11-ent-168

නිවේදකයෙක් වෙන්න තියෙන උණ නිසාම මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ටිකින් ටික ඉදිරියටම ආපු ඔහු අද වෙද්දී නාළිකාවක් මෙහෙයවන්නෙක් වී අවසන්. රේඩියෝ අසන්නාට උසස් රසවින්දනයක් සපයමින් තම නාළිකාව අංක එකේ නාළිකාව ලෙස ඉදිරියටම ගෙනයාමට ඔහු මහත් කැපවීමක් කර තිබෙනවා. සැබෑවටම දක්ෂතා පරිපූර්ණ පුද්ගලයෙකු වූ ඔහු තමයි එෆ්.එම්. දෙරණ සාමාන්‍ය අධිකාරී බණ්ඩාර විජේරත්න. මෙවර සැඳැල්ලෙන් ඔහු ගැන කතා කරන්නට ඉඩක් වෙන් කෙරෙනවා.

 

මුලින්ම ඔබේ මාධ්‍යය ජීවිතයේ ආරම්භය ගැන කතා කරමුද?

මගේ ජීවිතේ පොඩිකාලෙ ඉඳන්ම මාධ්‍යයට එන්න ලොකු ආසාවක් තිබුණා. නමුත් රූපවාහිනී මාධ්‍යයට එන්න ටිකක් ලස්සන කඩවසම් පෙනුමක් තියෙන්න ඕනැනෙ. ඉතින් මට එහෙම පෙනුමක් නැති නිසා මම හිතුවා මට රූපවාහිනිය හරියන්නේ නෑ රේඩියෝ තමයි හරියන්නෙ කියලා. ඒ නිසාම මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාමත් ජනසන්නිවේදනය ඉගෙනගත්තා. විශ්වවිද්‍යාලය ඇතුළෙ නාට්‍ය කළා, නිර්මාණ කළා. ඒ තරමට මාධ්‍ය උණක් ගහලා තිබුණෙ. ඒ වෙනුවෙන්මයි හැමදේම කළේ.

 

ඇයි ඒ තරමට මාධ්‍යයට කැමැති?

ඇත්තටම මම ඒ කාලෙ ගොඩක්ම කැමැති වැඩසටහනක් තමයි සුනෙත්ගෙයි ගාමින්දගෙයි අපි නොදන්න ලයිව් වැඩසටහන. ඒකට පිස්සු වැටිලා හිටියෙ.

ඒ විහිලූවල හරි අමුතු දෙයක් තිබුණා. ඉතින් මටත් ඕනෑ වුණේ කවදහරි විහිලූවෙන් දෙයක් දෙන්න ජෝකර් කෙනෙක් වෙන්න. ඒකට තමයි මම උත්සාහ කළේ?

 

ඒ උත්සාහය ඔබ ජයගත්තා නේද?

ඔව්, අපි විශ්වවිද්‍යාලය තුළ ඉන්න කාලය තුළ සුනෙත් ගාමින්ද වගේ දෙපිට කැපෙන වචන නොකියා විහිලූවෙන් දෙයක් දෙන්න උත්සාහ කළා. ඒක සෑහෙන්න සාර්ථක වුණා.

 

ඒ අතරතුර ඔබේ ජීවිතේ වෙනසක් සිදුවෙනවා.

ඔව්. අපි විශ්වවිද්‍යාලයේ ඉන්න කාලෙදි එක් රේඩියෝ නාළිකාවකින් හොඳම විහිලූකාරයා තෝරන්න රේඩියෝ රියැලිටි වැඩසටහනක් කළා. එහිදී මමයි මගේ විශ්වවි්‍යාලයේ යාළුවෙකුයි අයදුම් පත‍්‍රයක් යොමු කරලා ඒ වෙනුවෙන් සම්බන්ධ වුණා. ඒ වෙනුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් සම්බන්ධ වෙලත් හිටියා. නමුත් ඒ අතරින් මටත් මගෙ යාළුවටත් ජයග‍්‍රහණය කරන්න ලැබුණා පළවෙනි රේඩියෝ රියැලිටි විහිලූකරුවන් දෙන්නා ලෙසින්. ඒ 2008 වර්ෂයේදී.

 

එතැනින් පස්සෙ ඔබේ ඉලක්කයට යන්න හැකිවුණා?

ඔව්. එතැනින් පසුව මම අවුරුදු තුනක් එක් නාළිකාවක වැඩ කළා. මමත් මගේ යාළුවා අනුරාධ සිගේරාත් තමයි සිරස ‘ටාසන් බාප්පා’ වැඩසටහන කරගෙන ගියේ.

 

2018-04-11-ent-166

 

ටාසන් බාප්පාට හොඳ ශ‍්‍රාවක පිරිසක් හිටියා නේද?

ඔව්, ඇත්තටම ටාසන් බාප්පාට සෑහෙන ශ‍්‍රාවක පිරිසක් හිටියා. අපි ඒ වැඩසටහන කරන්න ගත්තාට පසුව හඬට වඩා නිර්මාණයට තැන දුන්නෙ. ඒ කාලෙ මේ වැඩසටහන අංක එක බවටත් පත්වුණා රේටින්ස්වලින්. නමුත් ඒ වෙනත් කෙනෙකුගෙ කන්සෙප්ට් එකක්නෙ.

ඒ දේ පෝෂණය කරමින් ඉඳලා වැඩක් නෑ. ඉතින් අපේම කන්සෙප්ට් එකක් ගේන්න ඕනෑ කියලා හිතලා තමයි මමත් අනුරාධ සිගේරාත් අනුපමා රේඩියෝ කෝච්චියෙ අදහස ගොඩනැගුවෙ. දැන් අද වෙද්දි ඒක ලංකාවෙ අංක එකේ මොර්නින් ෂෝ එක බවට පත්වෙලා තියෙනවා.

 

එතකොට දැන් දෙරණට ඇවිල්ලා කොච්චර කල් වෙනවාද?

මේ වෙද්දි අවුරුදු හතක් වෙනවා.

 

ඒ අවුරුදු හත ඇතුළත ඔබ කරපු වැඩසටහන්වල වැඩිම ශ‍්‍රාවක ප‍්‍රතිචාර තිබුණේ?

අපි දෙරණට ආවේ ‘අනුපමා’ කෝච්චිය කරන්න. ඒ ඇවිල්ලා ටික කාලයකට පස්සේ දෙරණෙ හිටපු වැඩසටහන් අධ්‍යක්ෂකතුමා නිලේන්ද්‍ර දේශප‍්‍රිය මහත්මයා ඔහුගෙ තණ්හා, රතී, රඟා චිත‍්‍රපටයත් එක්කම දෙරණෙන් ඉවත්වෙලා ගියා. එතැනින් පස්සෙ දෙරණෙ වැඩසටහන් බලනවත් එක්කම TV දෙරණෙ සම්පූර්ණ වගකීම මට ලැබුණා. එතැනින් පස්සේ අලූත් වැඩසටහන් පෙළගැස්මක් නිර්මාණය කරන්න වුණේ මට. ඒ අනුව දෙරණෙ චූටි මල්ලියි, පොඩි මල්ලියි වැඩසටහන ඇර අනිත් සියලූම වැඩසටහන් මගෙ කාලය තුළ ඒ අදහස් අනුව නිර්මාණය කරපුවා තමයි.

 

දෙරණට ඇවිල්ලා පුංචි කාල සීමාවක් තුළ ඔබ සාමාන්‍යාධිකාරී බවටත් පත්වුණා. ඒ වගේ තත්ත්වයකට එන්න හැකිවීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මට පළමුවෙන්ම තනතුරක් නෙමෙයි අවස්ථාවක් තමයි ලැබුණේ. අවස්ථාවක් දීලා ඉහළ කළමනාකාරීත්වය මට කිව්වා දෙරණ වැඩසටහන් අංශයෙ පැත්තෙන් නාළිකාව ඉදිරියට ගෙනියන්න මොනවාහරි කරන්න කියලා. ඉතින් ඒ දුන්නු අවස්ථාව දැඩිව ග‍්‍රහණය කරගෙන වැඩ කළා. මම නාළිකාව භාරගනිද්දි රේඩියෝ නාළිකා තිස් හතරක් අතරින් එකොළොස් වෙනි තැන තමයි තිබුණේ. ඉතින් මගේ මුල්ම අධිෂ්ඨානය වුණේ මේ නාළිකාව හොඳම නාළිකා පහ අතරට ගේන්න. ඉතින් 2012 දී මට භාරවුන නාළිකාව 2013 වර්ෂය අවසන් වෙද්දි පළමු තැනට ගේන්න හැකිවුණා.

එතැනින් පස්සෙ මගෙ ඉලක්කය වුණේ 10% චැනල් ෂෙයා එකක් ගන්න එක. ඒකත් අවුරුද්දකින් කරන්න ලැබුණා. සාමාන්‍ය සේවකයෙක් විදියිට ආපු මම අවුරුදු හතක් තුළ තනතුරු ධුරයන් ගණනාවක් පසු කරලා වැඩසටහන් කළමනාකරු, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි, සාමාන්‍ය අධිකාරි ලෙස දැන් වැඩ කරනවා. මේ හැමදේම ඉතින් ලැබුණෙ කරපු කැපකිරීම් මත තමයි. ඒ ගැන ගොඩාක් සතුටුයි.

 

දැන් දෙරණට වයස කීයද?

පසුගිය මාර්තු 29 දිනට අවුරුදු නමයක් ලැබුවා.

 

TV දෙරණ කාර්ය මණ්ඩලය ගැනත් කතා කරමු නේද?

මේ හැමදේම අපිට කරන්න ලැබුණෙ කණ්ඩායමක් විදියට එකට එකතුවෙලා සාමූහිකව ගමනක් ආපු නිසා. එහිදී ඉහළ කළමනාකාරිත්වය එක්ක කළමනාකරණ අධ්‍යක්ෂ දිලිප් ජයවීර, වරුණි අමුණුගම, නියෝජ්‍ය සභාපති ලක්සිරි වික‍්‍රමගේ, ප‍්‍රධාන විධායක නිලධාරී මාධව මඩවල යන මහත්වරුන්ගේ මඟපෙන්වීම ඉතා වටිනවා. ඒත් එක්කම TV දෙරණෙ සියලූම කාර්ය මණ්ඩලයත් ආදරයෙන් මතක් කරන්න ඕනෑ. ඒ කැපවීම, දායකත්වය නිසා තමයි මේ වෙද්දි මේ තරම් දුර ගමනක් ඇවිල්ලා ඉන්නේ.

 

ධනු විජේරත්න

 

 2018-04-11-ent-167  2018-04-11-ent-169