මේක මගේ සෝලෝ ගීතයක්



2018-05-15-ent-40

B+ ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ. ලංකාවේ මියුසික් වීඩියෝ කලාවට අලුත් දෙයක් එකතු කරමින් එළිදැක්වූ මියුසික් වීඩියෝවක් තමයි ‘දුම් දුම්’ කියන්නේ. එහි සමාජිකයෙකු වන ලසිත පෙරේරාගේ අලුත් වීඩියෝවක් ගැනයි මේ කියන්න යන්නේ. ඊයේ එළිදැක්වූ ඔහුගේ අලුත්ම ගීතය ගැන දැන ගන්න ඔහු ‘සාරවිට’ එක්ක එකතු වුණා. ඔහුගේ අලුත් ගීතය ගැන මේ විදිහට අපිට පැවසුවා.

 

අලුත් ගීතය ගැන මුලින්ම කිව්වොත්?

මම මේ ගීතය Compose කළේ 2008 අවුරුද්දේ. ඊට පස්සේ මගේම ස්ටූඩියෝ ඒක රෙකෝඩ් කරා. මම ඒ ගීතය නැවත යූකේ වල ඕඩියෝ මික්සර් කෙනෙක්ට දීලා ආයේ ඒ ගීතය මික්ස් කෙරුවා. ඒ ගීතය ඊයේ හවස එළිදැක්වූවා. අලුත් වැඩක්, අමුතු වැඩක් කියලා කියන්න පුළුවන්. මේකේ වීඩියෝ නිර්මාණය කරේ චමු ශ්‍රී විසින්. වීඩියෝ එක ෂූට් ක‍ළේ හෝර්ටන් තැන්න ආසන්නයේදී. වීඩියෝ එකේ රඟපාන්නේ අමායා අධිකාරි සමග නිලුක්ෂ නවරත්න. මේක වෙනස් කන්සෙප්ට් එකකට කරපු වැඩක්. ලෝකයේ වර්තමානයේදී භාවිත කරනවා ගොතික් කියන කන්සෙප්ට් එක. ඒ කන්සෙප්ට් එක ලංකාවට අලුත්. ඉතින් හැමදාම මිනිස්සු බලන කමර්ෂල් මියුසික් වීඩියෝ කලාවෙන් මිදිලා තමයි මේ නිර්මාණය කළේ. හරියටම මේ ගීතය ෂෝට් ෆිල්ම් එකක් වගේ.

 

මේ ගීතය එළිදැක්වූවේ B+ පොසිටිව් කණ්ඩායම හරහාද?, නැත්නම් ඔබේ ගීතයක් ලෙසින්ද?

මේක මගේ ගීතයක් විදිහට තමයි එළිදැක්වූවේ. B+පොසිටිව් කණ්ඩායමේ වැඩ වෙනම කරගෙන යනවා. මේක මගේ සෝලෝ ගීතයක්.

 

වර්තමාන මියුසික් වීඩියෝ කලාව පිරිහිලාද?

ලංකාවේ හැමදාම දකින්න ලැබෙන්නේ එකම වර්ගයේ මියුසික් වීඩියෝ. මියුසික් වීඩියෝවල කිසි චේන්ජ් එකක් නැහැ. චේන්ජ් එකක් කරපු යම් පිරිසක් ඇරෙන්න අනෙක් හැමදෙනාම බොරුවට අඬන එකයි කරන්නේ. ගීතයක් විකිණීමේ පදනම මතම ගීත නිර්මාණය කරන පිරිසකුත් ඉන්නවානේ. අනෙත් කාරණය තමයි අද හැදෙන මියුසික් වීඩියෝවල කතාව සහ ගීතයේ පද අතර කිසි සම්බන්ධයක් නැහැ. අපි කොච්චර හොඳට බැලුවත් ඒ ගීතයේ පද වලින් වීඩියෝ එකෙන් පෙන්නන කතාව කියවෙන්නේ නැහැ. දැන් මගේ මේ ගීතයේ වචන වලින් කියන කතාවම තමයි වීඩියෝ එකෙන් කියන්නෙත්.

 

චමු ශ්‍රී කියන්නේ පසුගිය දිනවල වැඩියෙන් දෝෂාරෝපණයට ලක් වූ කෙනෙක්. ඇයි ඔහුවම වීඩියෝ එක නිර්මාණය කරන්න තෝරා ගත්තේ?

චමුශ්‍රීගේ පළමුවැනි මියුසික් වීඩියෝ දෙක තුන තුළදී මම ඔහු සමග හිටියා. ඔහුගේ පළමුවැනි නිර්මාණයෙන් පස්සේ මම කතා කරලා වැඩ කිහිපයක් සම්බන්ධ කරලා දුන්නා. අයේෂ් කියන්නෙත් ඒ වගේ කෙනෙක්. දැන් අයේෂ් ජීවතුන් අතර නැහැ. චමු ශ්‍රී ෆීල්ඩ් එකට එද්දිම මගේ මියුසික් වීඩියෝ දෙකක් එකවරම නිර්මාණය කළා. පසුව ඔහු කමර්ෂල් මියුසික් වීඩියෝ කරා. ඒ වුණාට හොඳ ටැලන්ටඩ් ඩිරෙක්ටර් කෙනෙක් වගේම ටැලන්ටඩ් එඩිටර් කෙනෙක්. හොඳ ලස්සන කලර්ස්වලට නිර්මාණ කරන කෙනෙක් තමයි චමු ශ්‍රී කියන්නේ. පහුගිය කාලේ එක එක දේවල් නිසා එයා බැණුම් ඇහුවා තමයි. ඒ වුණාට ඊට වඩා ඔහුගේ දක්ෂතාව නිසා තමයි මේ ගීතයේ වීඩියෝ එක සඳහා ඔහු තෝරා ගත්තේ.

 

ඉදිරි කටයුතු ගැන කතා කළොත්?

මේ ගීතයෙන් පස්සේ ලංකාවේ වැම්පයර් මියුසික් වීඩියෝ කලාව ආරම්භ වෙනවා. වැම්පයර් කියනවාට වඩා ඉස්සර අපේ අම්මලා කියලා දුන්නේ ඩ්‍රැකියුලා කියලානේ. මගේ තව හොරර් වර්ගයේ වීඩියෝ කිහිපයක් එන්න තියෙනවා. තව විවිධ විවිධ කන්සෙප්ට්වලට අනුව නිර්මාණය කළ වීඩියෝස් තියෙනවා. කොහොමත් වෙනස් කන්සෙප්ට් කිහිපයක ගීත තුනක් ඉදිරියේදී එනවා. ඒ කියන්නේ ලංකාවේ නිර්මාණකරුවෝ මෙතෙක් හිතපු නැති වර්ගයේ මාතෘකා ටිකක්.

 

කැලුම් දේවින්ද

 

arrow

B+ ලසිත්ගේ අලුත් ගීතයක් අද සවස එළිදක්වයි