බදු දඩයමට එරෙහි කලාකරුවෝ



2018-06-12-ent-41

2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත මගින් නව බදු පැනවීම් සිදුකර ඇති අතර, එය මෙම වසරේ අප්‍රේල් මස 01 වනදා සිට ක්‍රියාත්මක වන්නේය. මෙම නව බදු පනත තුළින් මෙතෙක් කලාව වෙනුවෙන් හඳුන්වා දී තිබූ බදු සහන වන 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතින් හඳුන්වා දී තිබූ සියලු සහන කපා හැරීම, නාට්‍ය, ටෙලිනාට්‍ය, සිනමා, සාහිත්‍යය, සංගීතය, නර්තනය, ප්‍රාසාංගික කලා ආදී සියල්ලගේ පැවැත්මට ඉතා අහිතකර ලෙස බදු පැනවීම, වෘත්තීය කලාකරුවන් සහ කාර්මික ශිල්පීන් ලබන ආදායම බද්දට යටත් කිරීම වැනි කරුණු රැසක් අන්තර්ගතව තිබුණි. ඉහත කරුණු මුල්කර ගනිමින් පසුගියදා (06දා) නිදහස් කලා සන්ධානයේ මූලිකත්වයෙන් ‘බදු දඩයමට එරෙහි කලාකරුවෝ’ ලෙස කලාකරුවන් සංවිධානගතව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වුණි. මෙම අවස්ථාවට ක්ෂේත්‍රයේ කටයුතු කරන කලාකරුවන් රැසක් සහභාගී වූහ.

 

2018-06-12-ent-36

මෙහිදී අදහස් දැක්වූ නිදහස් කලා සන්ධානයේ සභාපති සුදත් රෝහණ

“නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ඇති කළ භයානකම පනතක් තමයි 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත කියන්නේ. මීට පෙර නව සිනමා ශාලා ඉදිකිරීමට හා පවතින සිනමා ශාලා වැඩිදියුණු කිරීමට බදු සහන පැවතුණා. චිත්‍රපට නිෂ්පාදනයට බදු සහන පැවතුණා. අන්තර්ජාතික සිනමා උළෙලකදී සම්මානලාභී චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අවස්ථාවක (2015.04.01 පසු) එම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේදී ලැබෙන අදායමෙන් ½ක් බද්දෙන් නිදහස් වෙනවා. ග්‍රන්ථකරණයෙන් ලැබෙන ආදායමෙන් සියයට පනහක් බද්දෙන් නිදහස් කර තිබුණා. නාට්‍යයක් නිෂ්පාදනය කිරීමෙන් හා ප්‍රදර්ශනය කිරීමෙන් පළමු වසරේදී ලැබෙන ආදායමෙන් සියයට පනහක් බද්දෙන් නිදහස් කර තිබුණා. ගීතයක වුණත් පදරචකයාට, සංගීතඥයාට, ගායකයාට ලැබෙන ලාභ බද්දෙන් නිදහස් කර තිබුණා. මේ සියලු බදු සහන නව පනත මගින් ඉවත්කර තිබෙනවා. ඒ නිසයි මෙය බදු දඩයමක් කියා අප හඳුන්වන්නේ. සරල උදාහරණයක් කිව්වොත් එක් කතාංගයක් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලැබෙනවා නම් නිෂ්පාදකයාට නාළිකාව විසින් ලබාදෙන්නේ අසූහයදහසක මුදලක්. සියයට දාහතරක් රඳවා ගැනීමේ බද්දක් ලෙස තබාගන්නවා. මෙය අවසන් ලෙස ප්‍රේක්ෂකයාට තමයි බලපාන්නේ. ලැබෙන මුදල අනුව වැය ඇස්තමේන්තුව සකසාගෙන නිර්මාණ කිරීමට යොමු වීම තුළ වෙන්නේ හරසුන් නිර්මාණයන් බිහිවීම. මාසෙකට රුපියල් පනස්දහසකට වැඩි ආදායමක් ලබන කලාකරුවෙකුගෙන් බදු අයකිරීම අසාධාරණයි. අර්ථසාධක විශ්‍රාම වැටුප් මේ කිසිවක් ඔවුන්ට නැහැ. අනිත් කාරණය එක් නිර්මාණයක් කරලා මේ මසදී මුදල් ලැබුණත්, නැවත නිර්මාණයක් කරන්න ඉඩක් ලැබෙන්නේ මාස ගණනකට පසුව. මේ නිසා මේ බදු ප්‍රතිපත්තිය මීට වඩා නම්‍යශීලී විය යුතුයි.

මේ බදු පැනවීම සිදුව තිබෙන්නේ අප්‍රේල් මස 01 වනදා. ජනාධිපතිතුමා ඒ ගැන දන්නේ මැයි මස 30 වනදා සම්බන්ධීකරණ ලේකම් සරත් වීරසූරිය මහතා ඒ ගැන කිව්වම.

06 වැනිදා කලාකරුවන්ට ජනාධිපති හමුවක් පැවැත්වුවා. අපට එයට කතා කළේ නැහැ. සහභාගී වූ අයගෙන් දැනගන්න ලැබුණ කාරණාව වුණේ නාට්‍යයක අයිතිය නාළිකාවකට පැවරුවාම බදු ගෙවිය යුතු නැහැ කියලා. එය සරල කාරණාවක්. විකාශන අයිතිය ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ, සම්පූර්ණ නාට්‍යයේ අයිතිය ගැනයි. මෙලෙස පූර්ණ අයිතිය පැවරූ පසු නිෂ්පාදකවරයාට ඇතිවන තත්ත්වය මොකක්ද? ඉස්සර මෙවැනි තත්ත්වයක් තිබ්බේ නැහැ. වසරකට දෙකකට ආදී ලෙස විකාශන අයිතිය පමණයි ලබා දෙන්නේ. මෙය ජනාධිපතිට හෝ විෂයභාර අමාත්‍යවරයාට ප්‍රකාශයක් කළ පමණින් වෙනස් කළ නොහැකියි. පනතක් මගින් පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි. ඉදිරි දින කිහිපයේදී සාධාරණයක් කරනවා කියන පොරොන්දුව හා එය ඉටුකරන දිනය ගැන දැනුම් දෙන්න. මේ ඔවුන් පෙන්වන්නේ ව්‍යාජ නාටකයක්. මෙයට විසඳුමක් නොමැති වුවහොත් සියලු කලාකරුවන් පාරට බහින්න සූදානම්.

 

 

2018-06-12-ent-35

ප්‍රවීණ රංගන ශිල්පී, ගායක රෝහණ බැද්දගේ

රොන් අරගෙන පෙමින්.. යන බිගු ලෙසින්..

ලොවට දුක් නොදෙමින්.. ගනිත් අය පඬුරු පෙර නියමෙන්..

මෙලෙස ක්‍රමවේදයක් තිබිය යුතුයි. දැන් එහෙම නෙමෙයි සිද්ධවෙන්නේ.

පළගත් අතු නසා.. මොර කන්න වුන් විලසා.. ජනන් වනසා...

කලාකරුවන්ට පමණක් නෙමෙයි අද බොහෝ මිනිසුන්ට මේ දෙය බලපානවා. සියලුදෙනාටම සහනයක් වන ලෙස මේ බදු අය කිරීම් සිදුවිය යුතුයි.

 

 

රංගන ශිල්පී ලාල් කුලරත්න

කලාකරුවන් සියයට අනූනවයක්ම මේ බදු අය කිරීම ගැන දන්නේ නැහැ. එහි වරදක් තිබෙනවා. රජය විසින් කිසියම් බද්දක් අය කරනවා නම් ඒ බදු අය කරන පාර්ශ්වය ඒ ගැන කලින් දැනගත යුතුයි. මෙය සිදුකර නැහැ. හොරෙන් සිදුකළ බද්දක් නිසා තමයි මෙවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මේ ගැන කතා කරන්න කලාකරුවන්ගේ සංවිධාන තුනක් එකතු කළා. නමුත් රජය ටෙලිනාට්‍යයක් නිර්මාණය කරලා මේ දේ කඩාකප්පල් කරන්න උත්සාහ කළා. කලාකරුවන් එක්කෙනෙක්, දෙදෙනෙක් ලෙස මේ ගමන් මගෙන් සූක්ෂමව ඉවත් කළා.

 

 

2018-06-12-ent-37

රංගන ශිල්පිනී, ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සේමිණී ඉද්දමල්ගොඩ

මේක අපේ සමස්ත ජනතාවටම බලපාන කාරණාවක්. මෙහි අවසානයේ මිනිසුන්ගේ උසස් රසවින්දනයට සිදුවෙන්නේ බාධාවක්. දැනටත් එය සිදුවෙලා තියෙන්නේ. ඉදිරියේදී මෙය ඊට වඩා දරුණු ලෙස සිදුවෙයි. මම මේ බදු ක්‍රමය ගැන දැනගෙන හිටියේ නැහැ. මගේ පළමු චෙක් එක ගන්න යන විට තමයි මම මේ බදු ක්‍රමය ගැන දැනගත්තේ. එයින් සියයට දහයක මුදලක් ලබාගත්තා. ඒ අනුව කතාංග පහක් සඳහා බදු මුදල රුපියල් හැත්තෑපන්දහසක්. මගේ ලාභය රුපියල් පනස්දහසයි. මේ නාට්‍යය දුන්නෙත් රුපියල් පනස්දහසක පාඩුවක් දරාගනිමින්. මම පූර්ණ වශයෙන් නිෂ්පාදකවරියක් නෙමෙයි. මගේ කැමැත්තට කළ නිර්මාණයක්. මේක හරිම අසාධාරණයක්. මින් කලාකරුවන් නිදහස් කරන්න කියලයි ඉල්ලන්නේ.

 

2018-06-12-ent-38

නිදහස් කලා සංගමයේ ලේකම් ඩග්ලස් සිරිවර්ධන

අනාගතයේදී යන්තං ගැටගහන යන්තං ටෙලිනාට්‍යයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. සකල කලාවේ නියුතු සියලු ශිල්පීන්ට මෙය බලපානවා නම් රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. බදු තිබිය යුතුයි. නමුත් ජනතාවට සහන නොලැබෙනවා නම්, නිර්මාණවලට සහනයක් නැත්තම් ඉන් ඇති වැඩක් නැහැ. මේ බදු මුදල යන්නෙත් මහා භාණ්ඩාගාරයට. කර්මාන්තයේ දියුණුවට සතපහක්වත් ලැබෙන්නේ නැහැ. මේ බදු ප්‍රශ්නය ලඝු කරලා බලන්න එපා. මෙය ජාතික ප්‍රශ්නයක්. ඒ නිසා ඒ සඳහා යම්කිසි වැඩපිළිවෙළක් ඇති විය යුතුමයි.

 

2018-06-12-ent-39

රංගන ශිල්පී පාලිත සිල්වා

අපිට නියමිත මුදල් නොලබා අත්හැර දමන අවස්ථා එමටයි. අපි දන්න කලාකරුවන් සමග වැඩ කරන්නේ ඒ නිසා. නීතිමය තත්ත්වයන්ට අප යන්නේ නැහැ. රංගනයේ යෙදිලා මුදල් ගනිද්දී එයිනුත් සියයට දහයක් බදු වෙනුවෙන් කියලා නිෂ්පාදකවරයා තබා ගන්නවා. නිර්මාණයක් ආර්ථික වශයෙන් සාර්ථක නොවුණ තැන මුලින්ම රංගන ශිල්පියාගේ මුදල් තමයි කපා හරින්නේ. මේ ඇතිව තිබෙන්නේ එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. තමන්ගේ රජයක් පත්කරගන්න වෙහෙසෙන කලාකරුවන්ට කියන්න ඕන ඒ රජය තුළ සිටින ආර්ථික විශේෂඥයන් කවුද කියා සොයා බලන්න කියල.

 

 

2018-06-12-ent-40

රංගන ශිල්පී ජනක් ප්‍රේමලාල්

බදු අය කිරීමේ මූලධර්ම තිබෙනවා. බදු අය කරනවා නම් ඒ බදු අය කළ යුත්තේ ඒ මූලධර්මයන්ට අනුකූලව. එහි ප්‍රධාන මූලධර්මයක් තමයි බද්දෙන් ලැබෙන ආදායමට වඩා බදු එකතු කිරීමට යන වියදම අඩුවීම. නමුත් අද ප්‍රචාරක කටයුතු සඳහා ඔවුන් වැය කරන මිල බලන්න. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පැමිණෙද්දී කියූ දේවල් නෙමෙයි දැන් සිදුවෙන්නේ. කලාකරුවා කියන්නේ එහෙම බදු ගෙවන්න ශක්‍යතාවක් ඇති කෙනෙක් නෙමෙයි. එහෙම හැකි කෙනෙක් නම් ඔහුට නිශ්චිත ස්වාමියෙක් සිටිනවා. අපිට එහෙම කෙනෙක් නැහැ. අපිට විශ්‍රාම වැටුප් නැහැ. ස්ථිර සේවා ස්ථානයක් අපිට නැහැ. අපිට වැඩ කරන්න වෙලාවක් නැහැ. බද්දට යටත් වූ කෙනාට වැඩකරන වෙලාවක් තිබෙනවා. මේ ගත වූ මාස හය තුළ මම අලුතින් පටන්ගත් කිසිම නාට්‍යයක රඟපාලා නැහැ. ඉදිරි මාස හයත් මෙලෙස ගතවුණොත් මේ වසරට මම කළ දෙයක් නැහැ. නමුත් මට බදු ගොනුවක් විවෘතව තිබෙනවා. මම රඟපෑ පැරණි ටෙලිනාට්‍යයක් මෙකල විකාශය වුණත් එයත් යටත් වෙනවා. නිදහසෙන් පසු කලාකරුවන් මේ තරම් අසීරුවට පත්කළ වෙනත් ආණ්ඩුවක් නැහැ.

 

 

 

රංගන ශිල්පී, වේෂනිරූපණ ශිල්පී වසන්ත විට්ටච්චි

මේක දිර්ඝකාලීන සැලැස්මක එක්තරා පියවරක්. කලාකරුවන් මර්දනයට සිදුකරන දෙයක් තමයි මෙය. මෙලෙස සිදුකිරීමේදී කලාකරුවන් මේ ක්ෂේත්‍රයෙන් ඈත් වෙනවා. එහෙම වුණාම ඔවුන්ට විදේශීය නාට්‍ය ගෙන ආ හැකියි. මුලින්ම මේ උත්සාහ කරන්නේ අපේකම නැති කරන්න. අපිට ස්ථිර ආදායමක් ලැබෙන්නේ නැත්නම් ඇයි අපි ස්ථිර ආදායම් ලබන්නන් ලෙස බදු ගෙවන්නේ. අනාගතයේ විෂය නිර්දේශයෙනුත් කලාව, සාහිත්‍යය ඉවත් කරයි. අපේ රටේ සංස්කෘතිය සදාචාරය නැතිකරන දිනයක් එයි. ඊට පෙර අපගේ පැවැත්ම උදෙසා මීට එරෙහිව පෙළගැසිය යුතුයි.

 

 

රංගන ශිල්පී ජගත් චමිල

මේ බදු ක්‍රමවේදය තුළ වෙනත් ව්‍යංගාර්ථ තියෙනවා. මේ සියල්ල සෑම ජනයෙකුටම බලපානවා. පෞද්ගලික දේශපාලන අරමුණු වලින් තොරව මෙයට මැදිහත් විය යුතුයි. සාහිත්‍යය සහ රසඥතාවය මොට වූ විට චින්තනය අවදි වෙන්නේ නැහැ. සාහිත්‍ය කලාව තුළ තමයි කෙනෙක්ගේ චින්තනය දිගහැරෙන්නේ. ඒ තුළින් තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. නමුත් මෙය සිදුනොවන විට ඕනෑම කෙනෙක්ට තමන්ට රිසි සේ තමන්ගේ අරමුණු පවත්වාගෙන යන්න පුළුවන්. එය තමයි සිදුවෙන්නේ.

 

නිදුක් මදුෂික/ජායාරූප ඉසුරු පෙරේරා