සුනිල් ධර්මසේනයන්ගේ සංගීත දිවියේ 40වසර සමරණ 'සුනිල සර' ප්‍රසංගය 16දා



2018-06-12-ent-44

ප්‍රවීණ සංගීතවේදී සුනිල් ධර්මසේනගේ ‘සුනිල සර’ ගී ප්‍රසංගය එළඹෙන 16 වැනිදා සවස 6.30ට කොළඹ බිෂොප් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

එඩ්වඩ් ජයකොඩි, ප්‍රියා සූරියසේන, කීර්ති පැස්කුවල්, උරේෂා රවිහාරි සමග චින්තා සංජීවනී ගායනයෙන් දායක වන මෙම ප්‍රසංගය නිමිත්තෙන් සුනිල් ධර්මසේනයන් පිළිබඳ සටහනක් තබනුයේ ඔහු වසර 40ක කාලයක් පුරා සංගීත ක්‍ෂේත්‍රයේ යෙදී සිටින්නෙකු බැවිනි.

ආතර් ධර්මසේන හා විමලා ධර්මසේන දෙපළගේ දෙවැනි දරුවා වන පොල්වත්ත ගමගේ සුනිල් ජයලත් ධර්මසේන හෙවත් සුනිල් ධර්මසේන ආනන්ද ශාස්ත්‍රාලයේ ආදි සිසුවෙකි.

“මගේ අම්මා සංගීතයට ලැදිව කෙනෙක්. ඇයට සර්පිනාව වාදනය කරන්න පුළුවන්. මගේ මාමා කෙනෙක් ඒ කාලයේ අපේ ගෙදරමයි හිටියේ. ඔහු සංගීත වැඩසටහන්වලටත් සහභාගි වුණා. ඔහු සිතාරයට, බටනලාවට සහ තබ්ලාවට ගොඩක් දක්‍ෂ කෙනෙක්. ඔහු සමග සමීපව සිටි ශිල්පීන් අතර සදානන්ද පට්ටිආරච්චි, එම්.කේ. රොක්සාමි වගේම ඇල්බට් පෙරේරාත් හිටියා. ඇල්බට් පෙරේරා කියන්නේ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ට. ඔහු මගේ මාමාගේ ප්‍රසංගවලටත් සහභාගි වෙලා තියෙනවා. මම හිතන්නේ මගේ මාමාගේ ආභාසයත් මගේ ගමනට එකතු වෙලා තියෙනවා” ඔහු අප සමග පැවසුවේය.

“පාසල් යන කාලයේ ගීත ප්‍රසංග පවත්වනවා පාසලේ. ඒවාට මිල්ටන් මල්ලවආරච්චි, තිස්ස කුමාරපතිරණ, කිංස්ලි ධර්මතිලක වගේම මගේ පාසල් මිතුරනුත් එක්වුණා. හැබැයි මිල්ටන් අපට වඩා පන්ති හතරක් වැඩිමහල් ශිෂ්‍යයෙක්. ඒත් දහම් පාසලේදී පැවැත්වුණු ඒ සංගීත වැඩසටහන්වලදී ඔහු අපිත් එක්ක එකතු වුණා.

ඒත් මට මුල් කාලයේ සංගීතය ලියන්න තරම් දැනුමක් තිබුණේ නැහැ. ඒක මට ඉගැන්නුවේ මහාචාර්ය සනත් නන්දසිරි. ගුවන්විදුලි සංස්ථාවට ගියාට පස්සේ මට ඒ සඳහා උදවු කළේ ඇන්තනී මාස්ටර් (ඇන්තනී සුරේන්ද්‍රගේ පියා). එය මා මේ මොහොතේදී ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා” යැයි සුනිල් සිය අතීතය මෙනෙහි කළේය.

“1972 දී තමයි මම ප්‍රථමයෙන්ම තනුවක් නිර්මාණය කළේ. එම තනුවට පද එකතු කළේ ප්‍රේමකීර්ති ද අල්විස්. ඒක පටිගත කළේ බම්බලපිටියේ ‘ඔගී’ ශබ්දාගාරයේදී. එම පටිගත කිරීමට ආචාර්ය වික්ටර් රත්නායක තමයි YC 10 ඕගනය වාදනය කළේ. එම්.කේ. රොක්සාමි තමයි සැක්සෆෝන් වාදනය කළේ. ‘Triangles’ කණ්ඩායමෙයි, අපේ කණ්ඩායමෙයි ගායන ශිල්පියෙක් වුණු මයිකල් පෙරේරා මෙහි මුල් කොටස ගායනා කළා. ඉතිරි කොටස මොහාන් සමරකෝන් එක්ක මම ගායනා කළා. ‘Triangles’ කණ්ඩායමට ඒ කාලයේ සම්බන්ධ වුණු සාමාජිකයන් අතර සරත් ද අල්විස්, මොහාන් සමරකෝන්, තිලක් සමරකෝන් (අදත් Experiment කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදක), නෙරංජලා සරෝජිනී, මයිකල් පෙරේරා, දිස්නා ප්‍රියංජනී, අයි. රූකාන්ත, චන්ද්‍රනාත් හෙට්ටිආරච්චි සහ උපේන්ද්‍ර ප්‍රනාන්දු හිටියා.

1978 දී මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ගිටාර් වාදකයෙක් ලෙස එක්වුණා. 1982 දී මම මගේ ප්‍රථම කැසට්පටය එළිදැක්වුවා. එහි ඇති විශේෂත්වය තමයි ප්‍රථමයෙන් කැසට් පටියක ගී ගැයූ ගායිකාවන් අතර සිටි සුජාතා අත්තනායක, වර්නන් පෙරේරා, රෝහණ වීරසිංහ, එඩ්වඩ් ජයකොඩි, කීර්ති පැස්කුවල්, රෝහණ සිරිවර්ධන ඊට ගායනයෙන් දායක වීම. ඒ වගේම අනික් අයගෙන් නිහාල් නෙල්සන්, ටී.එම්. ජයරත්න සහ පෝල් ප්‍රනාන්දුගේ කැසට්පටත් මමත් එළිදක්වලා තියෙනවා. ඒ කැසට්පටය කිරීමට අවස්ථාව සලසා දුන්නේ මගේ පාසල් මිතුරෙක් වන මුනිදාස ගුණසිංහ (අමිල අධිපති). පසුව ඔහු ‘අමිල කැසට්’ නමින් නිකුත් කළ කැසට්පට 15කට පමණ සංගීත අධ්‍යක්‍ෂණයෙන් හා තනු නිර්මාණයෙන් මම දායක වුණා. ඒ කැසට් අතර ෆ්‍රෙඩී සිල්වා, ඒ.ඊ. මනෝහරන්, නිලන්ති පිච්චප්පා වගේ අය හිටියා.

1984 දී මම ‘Trangles’ සමග ‘Band Leaders’ නමින් සුනිල් පෙරේරා, නීල් වර්ණකුලසූරිය, නලින් පෙරේරා, යොහාන් වීරසිංහ, සීදුව සකුරා සුදත්, සොඩියැක් නුවන් වගේ කණ්ඩායම් නායකයන්ගේ කැසට්පටයකට දායක වුණා.”

ඔහු මෙහිදී ‘සාගර තරංගා’ ගීතය සමග බැඳි අමතක නොවන මතකය සිහි කිරීමටද අමතක නොකළේය.

“මම මාලදිවයින සමග එක්ව (අස්ලාම් රිශිඩ්) මාලදිවයිනේ කැසට් 14ක් හා චිත්‍රපට දෙකකට සංගීතය නිර්මාණය කළා. මොකද අස්ලාම් රිශිඩ් මාගේ හොඳ මිතුරෙක්. ඔහු හොඳ ව්‍යාපාරිකයෙක් වගේම එවකට මාලදිවයින රජයේ සිටි මන්ත්‍රීවරයෙක්. ඔහු මට එහේදී අංග සම්පූර්ණ ශබ්දාගාරයක් ලබා දුන්නා මසකට එම රටේ ශිල්පීන් යොදා කැසට්පට දෙකක් නිර්මාණය කරන්න. ඔහුට තමයි මම ‘සාගර තරංගා’ ගීතය නිර්මාණය කළේ. එය ගී පද රචනය කළේ රොඩ්නි විදානපතිරණ. මාලදිවයින හා ලංකාව එක්ව නිෂ්පාදනය කළ ටෙලිනාට්‍යයක් සඳහායි ඒ ගීතය නිර්මාණය වුණේ. එහි අධ්‍යක්‍ෂවරයාත් රොඩ්නි. එහි ඉතිරි ගීත ගායනා කළේ මරියසෙල් ගුණතිලක, මිල්ටන් මල්ලවආරච්චි සහ නිරෝෂා විරාජිනී යන ගායක ගායිකාවන්. ඒත් ඒ ටෙලිනාට්‍යය අපට ඉවර කර ගන්න බැරි වුණා. මොකද මාලදිවයිනේ ගිහින් එක්තරා දිවයිනකට යන්න ගිය වෙලාවේ අපි ලොකු කුණාටුවකට අහු වුණා. අපි ගමන් කරපු යාත්‍රාව අනතුරකට ලක් වූ නිසා අපි බය වුණා. ඒ නිසා ළඟම ඇති දූපතට ආයේ යාත්‍රාව හරවගෙන පස්සේ පසුතලයට ගියාට නළුනිළියන් (නිල්මිණි තෙන්නකෝන්, ජගත් වික්‍රමසිංහ, අමිත්ත වීරසිංහ, මධුමාධව අරවින්ද) රූගත කිරීම්වලට සහභාගි වෙන්න බැරි තරම් මානසිකව වැටිලා හිටියේ. ඒ නිසා ඒ රූගත කිරීම් නවත්තලා අපි ආයේ ලංකාවට ආවා. පස්සේ ඒ ටෙලිනාට්‍යය එහෙමම නැවතුණා. කෙරුණේ නැහැ. ඉතිරි වුණේ ‘සාගර තරංගා’ ගීතය විතරයි."

අතිශය ජනප්‍රිය වූ තම ගීත ගැනද ඔහු මෙහිදී සඳහන් කළේය.

“දැනට මම ගීත 1,000ක් පමණ නිර්මාණය කරලා තියෙනවා. ඒත් ඒවායෙන් ජනප්‍රිය වෙලා තියෙන ගීතවලින් ‘මිතුරි මගේ සදා කල්’ (රූකාන්ත-චන්ද්‍රලේඛා), ‘මේ මල් යායේ’, ‘නිහඬ කල්පනා’, ‘සිහිනයේ මල් පිපී’, ‘ගිම්හාන කාලේ’, ‘පෙර ඔබ මා හමුවී’ (එඩ්වඩ් ජයකොඩි), ‘සාගර තරංගා’, ‘මල් මන්දහාසේ’, ‘පෙම්වන්තයින් සේ’ (ජගත් වික්‍රමසිංහ), ‘සඳ කැන් ඇදෙන්නේ’ (වික්ටර් රත්නායක), ‘ලිහිණි නගේ’ (සනත් නන්දසිරි), ‘ඉස්සර දවසේ’ (මර්වින් මිහිඳුකුල), ‘මංගල දිනයේ’, ‘මේ මාවත අද්දර’, ‘තුරු සෙවණේ’ (සුජාතා අත්තනායක), ‘ආකාසේ’ (ටී.එම්. ජයරත්න), ‘සොඳුරු ලොවක’ (චන්දන), ‘පුංචි කුරුලු කූඩුවේ’, ‘පිනිබර සීත යාමේ’ (සමන්ද සිල්වා), ‘ආරොන්ගෙගමල්ලි බාරොන්’ (ෆ්‍රෙඩී සිල්වා) හුඟක් ප්‍රසිද්ධයි.”

ඔහු මෙහිදී සිය ප්‍රසංගය වර්ණවත් කරන ‘Traingles’ සංගීත කණ්ඩායම ගැන අදහස් දැක්වීමටද අමතක නොකළේය.

“මම දැන් නැවත ‘Triangles’ සංගීත කණ්ඩායම පටන්ගන්තා. එහි පරණ ශිල්පීන් වන සුසිල් පෙරේරා, ජෝර්ජ් සේනානායක, මහින්ද කරුණාරත්න, දමිත් ප්‍රසන්න, අසංක සම්පත්, ඩෙරික් සම්පත් සමග චින්තා සංජීවනී සහ චාමික සම්පත් ඉන්නවා. ඔවුන් තමයි මේ ප්‍රසංගය වර්ණවත් කරන්නේ.”

 

මාලන් විදානපතිරණ