ඔස්කාර් සම්මාන උළෙලට නිර්දේශ වූ 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටය ගැන කතාකරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-10-ent-07

අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ගින්නෙන් උපන් සීතල’ (The Frozen Fire) චිත්‍රපටය ලාංකේය සිනමා ඉතිහාසයේ පළමු වතාවට ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන ධාරාව යටතේ හොඳම චිත්‍රපටයට නිර්දේශ වී තිබේ. කමල් අද්දරආරච්චි ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටය,ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර වටා ගෙතුණකි. එබැවින් මේ පිළිබඳ කතා කළ යුතුම චරිතය වන මෙහි අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ සමගින් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට අප සිතුවෙමු.

“ මීට ඉහතදී ශ්‍රී ලංකාවේ සිනමා කෘති දෙකක් ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කරල තියෙනවා. ඒත් ඒවා ප්‍රධාන ධාරාව නියෝජනය කරල නැහැ. ඒ නිසා මේ මොහොත ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂී කඩයිමක්. ඉන්දියාව මුල්වන ‘All Light Film Services’ ආයතනය හරහා තමයි ආසියානු චිත්‍රපට මේ සඳහා තෝරා ගැනෙන්නේ. ඒත් මේ චිත්‍රපටය ඊළඟ වටයට යැවීමට පෙර සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී සිනමා ශාලා හතක සතියක් පුරා තිරගත කෙරෙනවා. ඉන් අනතුරුවයි අවසන් වටය සඳහා තෝරා ගැනෙන්නේ. ඒ හින්දා අද වෙද්දී මේ චිත්‍රපටය ජාත්‍යන්තර මාධ්‍ය 158ක් ඔස්සේ කතාබහට ලක්වෙනවා. ඒක සුවිශේෂී අවස්ථාවක්. මොකද ඔවුන් අපට මේ චිත්‍රපටය වෙනුවෙන් විශාල පුළුල් ප්‍රචාරයක් ලබාදෙනවා. ඒ නිසා අවසන් වටයට තෝරා ගැනීමට පෙර මේ පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකුත් පවත්වලා ඒ පිළිබඳ ප්‍රේක්ෂකයන් දැනුම්වත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා* යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් අනුරුද්ධ අප හා පැවසුවේය.

 

ඔස්කාර් සම්මානය සඳහා ළංවෙන්න ඇයි ලාංකේය සිනමාව මේ තරම් ප්‍රමාද වුණේ ?

ඔස්කාර් සම්මාන උලෙළ සඳහාත් චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමට යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒත් ඒ ක්‍රමවේදයට අනුව තමන්ගේ චිත්‍රපටය ඉදිරිපත් කරන්න හුඟක් දෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. හැබැයි ඒක ඒ තරම් සරල ක්‍රමවේදයකුත් නෙමෙයි. සමහරවිට කොදෙව්වක හුදෙකලා වෙලා ඉන්න අපට මහද්වීපයක දේවල්වලට මැදිහත්වෙන්න පවතින අසීරුතාවය නිසා වෙන්න ඇති.

 

ඒ කියන්නේ මෙවැනි අසීරු ක්‍රමවේදයක ගමන් කිරීමේදීත් විවිධ බාධක බලපාන්න ඇති ?

පළමු බාධකය තමයි මොන ජාත්‍යන්තර සිනමා උළෙලක් නියෝජනය කළත්, අවසානයේ ලංකාවේ මේ චිත්‍රපටය තිරගත කිරීම. ඒක තමයි අභියෝගයත්.මොකද ලංකාවේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරල කවදාවත් නිෂ්පාදකයාගේ වියදම පියවා ගන්න බැහැ. ඔස්කාර් සම්මාන උළෙලක් දක්වා යන්නත් චිත්‍රපටය වෙනුවෙන් විශාල පිරිවැයක් දරන්න ඕනි. ඒ නිසා ලංකාවේ මේ චිත්‍රපටය තිරගත කිරීම කියන්නෙම විශාල අවදානම් සහගත තත්ත්වයක්. තාමත් ලංකාවේ සිනමා ශාලා අර්බුදය අවසන් වෙලා නැහැ. සිනමා ශාලාවලට නෙමෙයි, ලංකාවේ රෝහල් ගත්තත්,පාසල් ගත්තත්,මහාමාර්ග ගත්තත් ඒ තත්ත්වය එහෙමයි. ඒක සිනමාවට බලපානවා. මූලික අවශ්‍යතාවයන් තෘප්ත නොවුණු රටකින් කොහොමද හොඳ සිනමා කර්මාන්තයක් බලාපොරොත්තු වෙන්නේ. ප්‍රේක්ෂකයාගේ මනස හොඳින් පැවතුණොත් තමයි ඔවුන් සිනමා ශාලාවට එන්නේ. ණය වෙච්ච ආර්ථිකයක් පවතින රටක කොහොමත් ජනතාවගේ මනස හොඳ වෙන්න විදිහක් නැහැ. ඒ නිසා තමයි සිනමා ශාලාවට ප්‍රේක්ෂකයා රැගෙන ඒමම අර්බුදයක් වෙන්නේ. ඒ හින්දා තමයි සිනමාකරුවන්ටත් චූල මානසික මට්ටමක ඉඳන් වැඩ කරන්න සිද්ධවෙලා තියෙන්නේ. ඒ හින්දා මෙහෙම හරි අපි උත්සාහයක් නොගත්තොත් ඔස්කාර් තියා ආසියානු මට්ටමටවත් අපට යන්න බැරි වෙනවා.

 

ලාංකේය සිනමාව තුළ තාමත් ඉන්නේ පුහුණු පිරිස් නෙමෙයි කියලද කියන්න හදන්නේ ?

ඔව්. ඒ නිසා තමයි කීයක් හරි හම්බ කර ගන්න විතරක් වෙහෙසෙන පිරිස් මේ හරහා බිහි වෙන්නේ. මේවා තමයි සිනමාවේ හාස්‍ය නාටක. ඒත් මිනිසුන් තුළ උදාර මානසික මට්ටමක් ඇති කරගත හැකි නිර්මාණයි අපිට අවශ්‍ය කරන්නේ. උදාහරණයකට ක්‍රිකට් ක්‍රීඩාවේදී ජාත්‍යන්තර මට්ටමට පැවතුණොත් තමයි රටකට පවතින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි අපට ලෝක කුසලානය දිනාගන්න පුළුවන් වුණෙත්. ඒ හින්දා තමයි මේ පුහුණු කිරීමට ක්‍රමවේදයක් අවශ්‍ය කරන්නේ. ඒ හින්දා තමයි සිනමා කෘති බෙදා හැරීමට නිශ්චිත ක්‍රමවේදයක් අවශ්‍ය කරන්නේ.අඩුම ගාණේ සිනමාව පැවැතිය යුතු අමාත්‍යාංශය පවා නොදන්නා පාලකයන් එක්කයි අපට කාලාන්තරයක් පුරා ජීවත් වෙන්න සිද්ධ වුණේ.ඇමැතිවරයා අනුව ක්‍රමවේදය වෙනස් වෙන්නේ මේ නිසා. වාර්මාර්ග,මුදල් හා ක්‍රමසම්පාදන,ජල සම්පාදන වැනි අමාත්‍යාංශ යටතට පවා සිනමාව වර්ගීකරණය වෙන්නේ ඒ නොදැනුවත් බව නිසා. ඒ හින්දා තමයි අපේ උත්සාහයෙන් අපට නැගිටින්න සිදුවෙලා තියෙන්නේ. ඒත් චිත්‍රපට සංස්ථාවෙන් උදව් නැහැ කියල මම කියන්නේ නැහැ.ඒත් ඔවුන්ට විශාල පිරිස් බලයක් නැහැ.අනික ඒක කඩාවැටිච්ච ආයතනයක්. ඔවුන්ගෙන් විශාල දේවල් බලාපොරොත්තු වෙන්න අපට බැහැ. එවැනි අර්බුද අස්සෙයි අපට මේ පිමි පනින්න සිද්ධවෙලා තියෙන්නේ.

 

ඒ වුණාට පසුගියදා චිත්‍රපට සංස්ථාව විසින් චිත්‍රපට බෙදාහැරීම වෙනුවෙන් මැදිහත් වුණා නේද?

ඒ ගත්තු තීරණය හොඳයි. ඒත් චිත්‍රපට බෙදාහැරීම පිළිබඳ තමන් සතුව නිසි ක්‍රමවේදයක් නොමැතිවයි ඔවුන් ඒ ක්‍රියාමාර්ගයට පෙළැඹුණේ. ඒකයි ගැටලුව. ඒ හින්දයි දැන් ඒ ප්‍රශ්නේ මුල චිත්‍රපට සංස්ථාව විසින් අඳුනගෙන තියෙන්නේ. ඊට මැදිහත් වෙන්න තිබ්බේ යම් කාලයක් ගියාට පස්සේ. මොකද චිත්‍රපට බෙදාහැරීම පිළිබඳ පෞද්ගලික ආයතනත් කටයුතු කරමින් හිටියා. ඒත් චිත්‍රපට සංස්ථාව කළේ එක රැයකින් ඒ ක්‍රමවේදය තමන් සතු කර ගැනීම. ඒකයි ඔවුන්ට දැන් පවරා ගැනීම වෙනුවෙන් සුදුසු පුහුණු පිරිසක් ඉන්නවාද යන්න ගැටලුවක් වෙලා තියෙන්නේ. නියාමන මණ්ඩලයක් හෝ අධිකාරියක් විදිහට ක්‍රියාත්මක වුණා නම් ඊට වඩා හොඳයි.

 

ඇයි රෝහණ විජේවීර වැනි දේශපාලනික චරිතයක් ගැනම සිනමාපටයක් නිර්මාණය කරන්න හිතුවේ ?

දේශපාලනික තේමාවක් වශයෙන් කවුරුත් මේ පිළිබඳ මෙතෙක් උනන්දුවක් දැක් වූයේ නැහැ. රටක ජන ජීවිතයේ සිදුවන හැල හැප්පීම් ඔස්සේ තමයි ඒ වුණත් සිනමා කෘති බිහි වෙන්නේ. හැබැයි යුද්ධය සම්බන්ධයෙන් පවා නිසියාකාරව සිනමා කෘති බිහි වුණේ නැහැ.71 කැරැල්ල ගැනත් එහෙමයි.87 කැරැල්ල ගැනත් එහෙමයි. මොකද ඒ තරුණ ප්‍රශ්නය,ස්වාධිපත්‍යය,ධවල පත්‍රිකාව පිළිබඳ ගැටලු ආදිය මුල් කරගෙන ගොඩනැගුණු රෝහණ විජේවීර යන චරිතය පිළිබඳ සිනමා මාධ්‍ය හරහා සාකච්ඡාවට බඳුන් වුණේම නැහැ. අනෙක 1971 කැරැල්ලෙන් පස්සේ ඔහු ගෙවූ රහසිගත ජීවිතය, ජනතා විමුක්ති පෙරමුණ තහනමකට ලක්වීම, ජුලි කලබල ඇතිවීම සිට රෝහණ විජේවීර අතුරුදහන් වීම දක්වා ජීවන චරිතයයි මේ චිත්‍රපටය හරහා කතාබහට ලක් කරන්නේ. ඒ නිසා ඔහුව අමතක කරන්න අපට බැහැ. එහෙම කරනවා නම් ඒ සමාජ ප්‍රශ්නත් අමතක කරන්න අපට සිද්ධවෙනවා. ඒ පුවත්පත් ලිපි,නඩු වාර්තා,කවි,කෙටි කතා,නවකතා අමතක කරන්නත් අපට සිද්ධවෙනවා. මොකද ලෝකේ මෙහෙම නැහැ.ඔවුන් තමන්ගේ ඉතා කුඩා ප්‍රශ්න පවා චිත්‍රපට හරහා කතාබහට ලක් කරනවා.

 

රෝහණ විජේවීර වෙනුවෙන්ද මේ ආකාරයෙන් කඩේ යන්නේ ?

කොහෙත්ම නැහැ.අනික ලෝක සිනමාවේදීත් අදාළ චරිතය දරන මතයට සිනමාකරුවා එකඟවීම වැදගත් නැහැ. ඒ නිසා ඔහු රටේ ස්වාධිපත්‍යය වෙනුවෙන්,තරුණ ප්‍රශ්න වෙනුවෙන් රටේ දේශපාලනයට කළ බලපෑමයි මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ. ඒ දේශපාලනික කතාබහයි ඇති විය යුත්තේ. ඒ නිසා අපි මූලාශ්‍ර ආශ්‍රය කරගෙන,අදාළ දර්ශන තලවලට ගිහින් ඒ තොරතුරු රැස් කරමින් වසර ගණනාවක පර්යේෂණාත්මක අධ්‍යයනයකින් පසුවයි මෙම තිර පිටපත සකස් කරන්නේ. ඒ වුණත් බොහෝ දෙනෙක් කළේ ඒ විප්ලවීය කැරලිකරුවා පරාජිතයෙකු විදිහට ඉවත දැමීමයි. ඒ නිසා තමයි මම මෙහිදී කැරලිකරුවාගේ පැත්තේ හිටගන්නේ. අනික මහාවංශයේ ලියැවිලා තියෙන්නෙත් ජයග්‍රාහකයන් ගැන මිසක් පරාජිතයන් ගැන නෙමෙයි. වාමාංශික ව්‍යාපාරවලට මේ තත්ත්වයෙන් අසාධාරණයක් සිද්ධවෙනවා. අපි ඒ වාමාංශික ව්‍යාපාර විසින් කැරැල්ලක් ගහන්න හේතුවුණු හේතුව හොයල බලන්න ඕන. අනික ඒ කැරැල්ලට සම්බන්ධ වුණු බහුතරය උගත්තු.විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ.එහෙනම් ඔවුන්ටත් මෙවැනි ව්‍යාපාරයකට සම්බන්ධවෙන්න තරම් පිස්සුද කියලත් හිතන්න වෙනවා. ඒ හින්දා ධනවාදී අදහස් අපට තිබ්බත්,වාමාංශික අදහස් තිබ්බත් රටේ වෙච්ච දේ ගැන කතා කිරීමට ඒක අදාළ නැහැ. සැඟවුණු ඉතිහාසය හෙළිදරව් කිරීමයි මම මේ චිත්‍රපටය හරහා කරන්නේ.

 

ඒත් ඇයි රෝහණ විජේවීර චරිතයට කමල් අද්දරආරච්චිම තෝරගන්න හිතුවේ ?

ඔහු චරිත තෝරා බේරාගෙන රූපණයේ යෙදෙන, හොඳ රූපණ පෞරුෂයක් තියෙන,අතළොස්සක් වූ රූපණ ශිල්පීන්ගෙන් කෙනෙක්. ඔහු යම් කිසි රාමුවකට කොටුවුණු රූපණ ශිල්පියෙකුත් නෙමෙයි. ඒ නිසා මෙවැනි චරිතයක් ඔහු කරාවි කියන විශ්වාසය මං තුළ ගොඩනැගුණා. ඔහු ඒ චරිතය බාර ගැනීම තුළ ඒ විශ්වාසය දෙගුණ තෙගුණ වුණා.ඒ නිසා ඒ වෙනුවෙන් අපි ඔහුට මේ සඳහා අවශ්‍ය සියලු දේශපාලනික තොරතුරු හැකි උපරිම ආකාරයෙන් ලබා දුන්නා.

 

ඒත් මෙවැනි දේශපාලනික චිත්‍රපටයක් නිර්මාණය කිරීම තහනමකට හේතුවක් වෙන්න බැරිද ? අවදානමක් වෙන්න බැරිද?

එහෙම වෙන්න බැහැ.ඒ හින්දා තමයි තොරතුරු දැන ගැනීමේ පනතක් සම්මත කරල තියෙන්නේ. එහෙනම් ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටය නිර්මාණය කළ සිනමාකරුවත් අද ජීවත් වෙන්න විදිහක් නැහැ. තමන්ගේ නඩු විභාග කරන කාමරයේ තියාගෙන කාන්තාව දූෂණය කළ නඩුකාරයත් අද ජීවත් වෙනවා. චිත්‍රපටය තහනම් වෙනවානම් එම කරුණුවලට අදාළ පුවත්පත් පවා තහනම් වෙන්න ඕනි. නැත්නම් ඇයි චිත්‍රපටය විතරක් තහනම් වෙන්නේ. එතැන ගැටලුවක් පවතිනවා. ඒ නිසා තොරතුරු නිවැරදිව දැනගෙන,අදාළ චරිතවලට අපහාසයක් නොවෙන පරිදි ප්‍රතිනිර්මාණය කිරීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තියෙනවා. පනතකින් ඒක ආරක්ෂා කරල තියෙන්නේ ඒකයි.

 

මාලන් විදානපතිරණ

 

2018-07-10-ent-04 2018-07-10-ent-05 2018-07-10-ent-06