රෝයි අයියාගේ අවසාන කැමැත්තට අනුව සිදුවූ දේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-10-ent-10

චන්දන ඇල්ලෙන් නාලා....

අංජන මල්මී ගාලා....

හැංගුණ බඹරා ආවා..

ලස්සන රහසක් කීවා...

 

එච්. ආර්. ජෝතිපාලයන් විසින් ගායනා කරන ලද මේ අතිශය ජනප්‍රිය ගීතය ඇසෙන සෑම වාරයක් පාසාම නිනැතින්ම අපේ මනසේ මැවෙන චිත්‍රපටයක් ඇත. ඒ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රුඟුවේ නොබෝදා අප අතරින සදහටම සමුගත් ප්‍රවීණ රංගන ශිල්පී හා සිනමා අධ්‍යක්ෂක රෝයි ද සිල්වාය.

60 දශකයේ ඉහළම ජනප්‍රියත්වයක් ඉසිලූ රෝයි ද සිල්වා, වසර 55කට අධික කාලයක් රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන්, නිෂ්පාදනයෙන් මෙන්ම පසුබිම් ගායනයෙන් ද සිංහල සිනමාවේ ජය කෙහෙළි නැංවූ අපූරු ශිල්පියෙකි. ඔහුගේ සුවිශේෂී දායකත්වය කිසිදා අමතක කළ හැක්කක් නොවේ.

චකුරාර්ථ දේවදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ රෝයි ඇලෝසියස් ෆීලික්ස් ද සිල්වා ඔහුගේ උපන් නම විය.2018-07-10-ent-11

සිහින් උඩු රුවුල, ඊටම ඔබින රුළි ගැසුණු උඩට පීරෑ කොණ්ඩය, ඔහුගේ කඩවසම් බවේ සුවිශේෂී ලක්ෂණ විය. ඒ මතුපිටින්ය. ඇතුළාන්තයෙන් ද රෝයි ද සිල්වා (ඔහුගේ සමීපතමයන් ඔහු ඇමතුවේ රෝයි අයියා කියාය.) සැබෑ මිනිස් ගති පැවතුම්වලින් සපිරි අව්‍යාජ මිනිසකු විය. ඔහු අතිශයින්ම විනෝදකාමී චරිතයක් විය.

රෝයි අයියා 1960 දශකයේ මුල් භාගයේදී ‘සුජාගේ රහස’ චිත්‍රපටය තුළින් සිනමා ලොවට අවතීර්ණ විය. ඉන් අනතුරුව චිත්‍රපට 100කට අධික ප්‍රමාණයක රංගනයෙන් ද, චිත්‍රපට 40කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යක්ෂණයෙන් ද දායක විය. ඒ චිත්‍රපට බොහොමයක් බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළීමට සමත් වූයේ ඔහු ප්‍රේක්ෂක රුචි අරුචිකම් තේරුම්ගෙන නිර්මාණකරණයේ යෙදුණු නිසාය.

රෝයි අයියා මෙරට තැනූ මුල්ම ඉංග්‍රීසි චිත්‍රපටය (It’s a matter of time) නිර්මාණය කළ අතර එහි දෙවන කොටස ‘It’s a matter of love’ නමින් මෑතකදී ප්‍රදර්ශනය කළේ, සිනමා ලොවට බොහෝ නවකයන් හඳුන්වා දෙමින්ය.

ඔහු අධ්‍යක්ෂණය කළ අලුත් චිත්‍රපට ත්‍රිත්වයක වැඩ නිමවී වසර කීපයක් ගතවී තිබුණ ද ඒවා ප්‍රදර්ශනය කිරීම සඳහා නිසි අවකාශයක් නොලැබීම ගැන රෝයි අයියා පසුවූයේ දැඩි කණස්සල්ලෙනි.

එහෙත් ලබන මස 30 වැනි දින ඔහු වෙනුවෙන් සංවිධානය කරීමට තිබුණු උත්කර්ෂවත් උපහාර උළෙල පිළිබඳව පසුගිය කාලය තුළ ඔහු පසුවූයේ දැඩි උද්‍යෝගයෙනි. එහෙත් ඊට හරස් කපමින් දෛවය ඔහු අපෙන් පැහැර ගත්තේය.

ප්‍රවීණ සිනමා තරුවකට, අධ්‍යක්ෂකවරයකුට වඩා රෝයි අයියා තුළින් මතුවූයේ අව්‍යාජ මිනිසෙකි. ඔහුගේ හිතවතුන් සමඟ රස කතා කියමින් හක හක ගා සිනාසෙන රෝයි අයියාගේ ළෙංගතු මුහුණ දැනුදු අප ඉදිරියේ මැවෙන්නේය. සදහටම එය එසේ සිදුවනු ඇත.

ජීවිතයේ කිසිම දිනෙක ඔහු තුළින් අප දුක, දොම්නස, කලකිරීම හෝ කෝපය දුටුවේ නැත. නමුත් රෝයි අයියා තම ජීවිතයේ විශාල කම්පනයකට පත්වූ කෙටි කාල පරාසයක් තිබුණි. ඒ මීට වසර තුනකට පමණ පෙර ඔහුගේ සෙනෙහෙබර බිරිඳ ඔහුට සුවිශාල ශක්තියක් වූ ආදරණීය සෙවණැල්ල සුමනා අමරසිංහ අසාධ්‍යව රෝහල්ගත වී සිටි කාලයයි. රෝයි අයියා ඒ තරම් අසරණ වූ කාලයක් අප දැක නැත. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සුමනක්කාගේ වෛද්‍යවරුන් හා රෝහල් අධ්‍යක්ෂකවරුන් හා ඇගේ තත්ත්වය ගැන කතා කරන්නට ඔහු මා කැටුව ගිය අවස්ථා ද විය. ඔහු පත්ව සිටි අසරණ බව මා හට හොඳින්ම පසක් වූයේ ඒ දිනවලය.

ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටි සුමනක්කා සුව අතට හැරුණේ හාස්කමකින් බව බොහෝ දෙනකුගේ මතය විය. ඒත් ඒ හාස්කමට සුවිශාල ශක්තියක් වූයේ රෝයි අයියාගේ දැඩි කැපවීම වාගේම ඔහුගේ සිත තුළ සුමනක්කා කෙරෙහි තිබූ අසීමිත ළෙන්ගතුකම හා අප්‍රමාණ සෙනෙහසේ බල මහිමය බව මට සිතේ.

අප හමුවන හැමවිටම රෝයි අයියා ඔහුගේ පැරුණි රස කතා යළි යළිත් මතකයට නංවන්නට දැක්වූයේ දැඩි ප්‍රියතාවයකි. ඔහුට අමතක වූ ඇතැම් සියුම් තැන් පැහැදිලි කර දීමට සුමනක්කා ඔහු අසල සෙවණැල්ලක් මෙන් සිටියාය. කොතරම් සුඛෝපභෝගී හෝටල් මේ රටේ තිබුණද රෝයි අයියාගේ ප්‍රියතම හෝටලය වූයේ වැල්ලවත්ත සැෆයර් හෝටලයයි. සැෆයර් හෝටලයේ ෆ්‍රයිඩ් රයිස්වලට අප හුරු කළේ රෝයි අයියා හා සුමනක්කාය. ඒ දෙදෙනා සමඟ එහි අප ගිය වාර අනන්තය.

එහි ගිය මුල් වකවානුවකදී මා වෙනුවෙන් ඇණවුම් කළ වෙජිටේරියන් ෆ්‍රයිඩ් රයිස් එක වෙනුවට මේසයට ගෙනවිත් තිබුණේ බිත්තර ෆ්‍රයිඩ් රයිස් එකකි. “පුතා, මේ මහත්තයාට වෙජිටේරියන් රයිස් එකක්නේ ගේන්න කිව්වේ. අපට නම් චිකන් ඕකේ..” රෝයි අයියා වේටර්ට කීවේය.

“නැහැ අයියේ. මට බිත්තර අවුලක් නැහැ. මම බිත්තර නම් කනවා” මම කීවෙමි.

“ආ ඇත්තද? එහෙනම් ඔයා වෙජිටේරියන් නෙවෙයි බිජුටේරියන්.” රෝයි ගත් කටටම කී විට අසල සිටි වේටර්ටත් හිනා ගියේය. එදායින් පසු මම බිජුටේරියන් කෙනකු බව දැන ගත්තෙමි.

රෝයි අයියා දායක වූ චිත්‍රපට ගැන බොහෝ අය, බොහෝ දෑ ලියා ඇත. ඒවායේ මතකයන් සදාතනික වනු ඇත.

1970 දශකයේ චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරීමේ ක්‍රියාව පිටුපස රෝයි අයියා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ බව නොරහසකි.

ඔහු කිසි දිනෙක ඔහුගේ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කළේ නැත. ඔහුගේ දේශපාලන පාක්ෂික බව කිසි දිනෙක කිසිදු හේතුවක් නිසාවත් පාවා දුන්නේ ද නැත. එම ස්ථාවරය නිසා ඔහුට බොහෝ දේ අහිමි වන්නටත් ඇත. අහිමි වූ අවස්ථාද තිබුණි.

කෙණෙහෙලිකම්වලට පාත්‍ර වූ අවස්ථා ද නොතිබුණා නොවේ. එහෙත් ඒවායින් ඔහු කිසිදා සැලුණේ නැත.

ජීවිත කාලය තුළ ජනප්‍රිය සිනමා තරුවක් ලෙස පමණක් නොව, සැබෑ මිනිසකු ලෙස ජීවත් වන ආකාරය රෝයි අයියා අපට ක්‍රියාවෙන් ඔප්පු කළේය. ඔහුගේ මරණය තුළින් ද ඔහු අපට තවත් පාඩමක් මෙනෙහි කර දුන්නේය. ඔහුගේ දේහය රුගත් මිනී පෙට්ටිය මුද්‍රා තබා තිබුණි. ඒ අසල තිබුණේ සුපුරුදු අව්‍යාජ සිනහවකින් හෙබි රෝයි අයියාගේ ලස්සන රාමු කළ පින්තූරයකි. ඒ දයාන් විතරණගේ පින්තූරයක් විය යුතුය. ඒ රෝයි අයියාගේ අවසාන කැමැත්තට අනුව සිදුවූවකි.

මරණයෙන් පසුව තම නිසල දේහයට දස දහස් ගණනකගේ ගෞරවය ලබනවාට වඩා, තමන් ජීවත් වන කාලය තුළ සැබෑ මිනිසකු ලෙස කල් ගෙවීම කොතරම් ගෞරවපූර්ව රෝයි අයියා අපට පසක් කර දී ඇත.

මරණයෙන් මතුවද, ඔහුගේ මතකයන් අප අතර සදා නොනැසී පවතින්නේ ඔහු සැබෑ මිනිසකු ලෙස ජීවත් වූ නිසාමය.

 

ගිහින් එන්න.. සුබ ගමන්..