ලූෂන් බුලත්සිංහල බිහිවෙන්න මූලික වූ වේලූපිල්ලේ ආරුමුගම් මහත්මයාට උපහාරයක් පිණිසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-11-ent-137

අපේ කාලයේ සාලිය - අශෝකමාලා කරළියට ගෙන එන ‘වෙස් මුහුණ ගලවන්න’ ලබන 12-13 ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී...

 

වසර 21කට පසුව නැවතත් නව වේදිකා නාට්‍යයක් හරහා කරළියට පැමිණෙන ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල එම නාට්‍යය නම් කර ඇත්තේ ‘වෙස් මුහුණ ගලවන්න’ ලෙසය. නවක පිරිසක් හා තරුණ ජවය සමග වේදිකාගත වන මෙම වේදිකා නාට්‍යය වේදිකාගත වනුයේ හෙට (12දා) සහ අනිද්දා (13දා) සවස 7.00ටය. ‘තාරාවෝ ඉගිලෙති’, ‘රතු හැට්ටකාරී’ ආදී වේදිකා නාට්‍ය ගණනාවක් ලාංකේය වේදිකාවට තිළිණ කළ ලූෂන් බුලත්සිංහලයන්ගේ මෙම නාට්‍යයද නාට්‍යධර්මීය. මේ ඒ පිළිබඳ ඔහු සමග කෙරෙන කතාබහකි.2018-07-11-ent-139

“අපේ වාර්ගික ගැටුම තාම ඉවර නැහැ. අදත් බුරබුරා නැගෙමින් පවතිනවා. මගේ ජීවිතේටත් තදින්ම බලපාපු ප්‍රශ්නයක් තමයි ඒක. 1956 දී මේ ප්‍රශ්නය ගොඩනැගෙද්දි අපි කුඩා ළමයි. ඒ කාලේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් කියලා ජාති, ආගම් භේදයක් තිබුණේ නැහැ. පන්ති පරතරයක් විතරයි තිබුණේ. අපි ඉගෙන ගත්තු රත්මලාන ශ‍්‍රී ධර්මාලෝක බෞද්ධ පාසලේ මගේ පන්තියේ වෙල්ලයියා කියල ළමයෙකුත් ඉගෙන ගත්තා. අනික ඔවුන් සිංහලෙන් ඉගෙන ගත්තේ. ලීලා කියලා මුස්ලිම් ගැහැනු ළමයෙකුත් ඉගෙන ගත්තා. එදා සමාජය පැවැතුණේ එහෙම. 1956න් පස්සෙයි මේ කාලකණ්ණි දෙමළ විරෝධී ව්‍යාපාරයත් එක්ක ඒ සහජීවනය කාබාසිනියා කරල දැම්මේ. ඒ නිසා 1958 දී අපටත් රත්මලාන අතහැරලා වෙන දිහාවකට යන්න සිදු වුණා. ඒ සිදුවීම මගේ හිතට තදිනම මුල්බැහැගෙන තිබුණා.

මගේ ලිපිකාර ජීවිතයේ තීරණාත්මක චරිතය වෙන්නෙත් වේලූපිල්ලේ ආරුමුගම් මහත්මයා. රජයේ ලිපිකාර සේවයට බැඳෙද්දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර සිසුවෙක් විදියට මම ලියාපදිංචි වෙලා හිටියේ. පේරාදෙණියට මම මාරුවීමක් ඉල්ලුවේ ඒ නිසා. හැබැයි එතකොට මට මාරුවීම දුන්නේ අඹේවෙල සත්ත්ව ගොවිපොළට. එහෙමයි එදා සිංහල බෞද්ධයන් හැසිරුණේ. ඒත් වේලූපිල්ලේ ආරුමුගම් මහත්මයා එදා මං වෙනුවෙන් කවුරුත් නොගන්නා තීරණයක් ගත්තා. ගොවිපොළේ එකම ලිපිකරුවා තමයි මම. ඒ වුණත් මගේ විශ්වවිද්‍යාල අධ්‍යපනය ගැන සලකා, වහාම මාව පේරාදෙණියට මාරු කරන්න කියල ඔහු වගකිවයුත්තන්ට දන්වලා යැව්වා. මම වෙනුවට ලිපිකරුවෙක් එවන්න අපහසු නම්, ඒ වගකීම තමන් බාර ගන්නම් කියලා ඔහු කියල යැව්වා. ඒ නිසා තමයි ලූෂන් බුලත්සිංහල කියන නාට්‍යකරුවා එදා බිහිවෙන්නේ. එතුමාට උපහාරයක් පිණිස ‘වෙස් මුහුණ ගලවන්න” නාට්‍යය නිර්මාණය කරන්නේ ඒ නිසා. මෙතැනදී ඉල්ලීමක් නොකරම මේ නාට්‍යය නිෂ්පාදනය කිරීම සඳහා වෛද්‍ය රංජිත් පතිරණත් ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වීම අනිවාර්යයෙන් සිහිපත් කරන්න ඕන. කලා අධ්‍යක්‍ෂ උපාලි හේරත්, ඉන්ටර් ඇක්ට් ආර්ට් අධ්‍යක්‍ෂ එම්. සෆීර්, දිලිප් රෝහණ, සංගීතය නිර්මාණය ශ්‍රී සෝභිත විද්‍යාලයේ විදුහල්පති නිලන්ත වන්නිආරච්චි වගේම මේ නිර්මාණය සඳහා කැපවූ ආධුනික නළුනිළි පිරිසටත් මාගේ හෘදයාංගම කෘතඥතාව මම පළ කරනවා” ලූෂන් කතාව ඇරඹුවේය.

 

දේශපාලනමය හැඩයක් ඔස්සේද එතකොට ‘වෙස් මුහුණ ගලවන්න’ නාට්‍යය ගොඩනැගෙන්නෙ?

නාට්‍යය ගලායන්නෙ ප්‍රේම කතාවක් ඔස්සේ. මානව දයාව ගැනයි අපි කතා කරන්නේ. දේශපාලනය විසින් තමයි ආදරයට බාධා කරන්නේ. ඒ කාලයේ මගේ සමකාලීන විශ්වවිද්‍යාල දෙමළ, මුස්ලිම් සහෝදරයන්ට ඒ ආණ්ඩුව බල කළා සිංහල භාෂා ප්‍රවීණතාව විභාගයකින් ලබා ගන්න කියලා. එහෙම නැත්නම් රැකියාවල වැටුප් වැඩිවීම් ලබාදෙන්නේ නැහැ කියලා රජය ඔවුන්ට තර්ජනය කළා. ඒත් ඔවුන් ඉගෙනුම ලබා තිබුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. අපටත් තේරුණා ඒක හරිම අසාධාරණයි කියලා. ඒ නිසා අපි ඔවුන්ට පුළුවන් හැම වෙලාවකම සිංහල ඉගැන්නුවා. එතැනදී සිංහල මිනිස්සුත් දෙමළ හෝ ඉංග්‍රීසි ඉගෙනගත යුතුයි කියලා පාලකයන් තීරණය කළේ නැහැ. සමාන අයිතිය ඔවුන්ගෙන් උදුරා ගත්තේ එහෙම. ඒ අනුවයි ඒ ගැටලුව මහා යුද්ධයක් බවට පෙරළෙන්නේ. සාලිය - අශෝකමාලා මේ නාට්‍යයේ ප්‍රධාන චරිත ද්විත්වය. මොකද ඒක තමයි අපේ ජාතික ප්‍රේම කතාව. ගැමුණු රජ්ජුරුවෝ තමයි සිංහලේ මහා වීරයා. හැබැයි ඔහුගේ පුතා විවාහ කරගන්නේ වෙන ජාතික කාන්තාවක්. මහාවංශයේ ඒක ලියන්නේ සැඩොල් කුලයේ කාන්තාවක් එක්ක විවාහ වුණා කියලා. අපහාස කරන්න හිතාගෙන තමයි එහෙම ලියන්නේ. මොකද වෙනත් ජාතික කාන්තාවක් එක්ක විවාහ වුණා කියලා කියන්න එහි කතුවරයා මැලිවෙලා. කොහොම වුණත් ගැමුණු රජ්ජුරුවොවත් තමන්ගේ පුතාට බලපෑම් කළේ නැහැ. ලබාදිය යුතු සියලු දේ ඔහුට ලබා දුන්නා. හැබැයි අද තත්ත්වය එහෙමද? මේක තමයි මගේ නාට්‍යය හරහා සාකච්ඡාවට ලක් කරන්නේ. මෙහි එන සාලිය - අශෝකමාලා වේදිකාවේ රඟ දක්වන්නේ ඒ ඛේදවාචකය. මෙහි එන සාලිය -අශෝකමාලා ජීවත් වෙන්නේ යුද්ධය අවසන් වීමට නියමිත අවසන් දින කිහිපයේ. ඇය කොළඹ කැරොකේ එකක වෙස් වළා ගත්තු දෙමළ ගායිකාවක් විදියට ජීවත් වෙනවා. සාලිය නම් තරුණයෙක් ඇයට ආදරය කරනවා. ඒ අනුවයි මේ මේ ප්‍රේම කතාව ගොඩනැගෙන්නේ.

 

මෙහි ඔබ නියෝජනය කරන දෙමළ ප්‍රජාවත් සංක්‍රමණික කොටසක් නේද?

නැහැ. එහෙම බැලුවොත් මේ රටේ සියල්ලෝම සංක්‍රමණිකයෝ. සිංහලයොත් ආවේ පිටරටින්. ඉතිහාසය පරීක්‍ෂා කරල බැලුවොත් සිංහල කියලා වර්ගයක් ඉඳලත් නැහැ. හැමෝගෙන්ම සංකලනය වුණු සින්තටික් ජාතියක් තමයි අපි. ඒකට විස කවල තියෙන්නෙ. කිසි කෙනෙකුට බැහැ තව වර්ගයකට බලපෑම් කරන්න. කිසිකෙනෙකුව පීඩනයට ලක්කරන්න කිසිකෙනෙකුට බැහැ. බෞද්ධ දර්ශනයේ තියෙන්නෙත් විස නසන්න මිසක් විස පතුරුවන්න නෙමෙයි. දෙමළ ප්‍රජාව කියන්නෙත් අනාධිමත් කාලයක් පටන් ලංකාවේ ජීවත් වන ජන වර්ගයක්. ඔවුන් ලංකාවට එන්නේ සිංහලයන් එන්නත් කලින්. යක්‍ෂ ගෝත්‍රිකයන් නමින් හඳුන්වන්නේ ඔවුන්ව. මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන රචනා කළ නවතම කෘතියට අනුව කිසිම සෙල්ලිපියක සිංහල හෝ හෙළ කියන වචනය සඳහන් වෙලා නැහැ. හැබැයි දමිළ, කබොජ කියන නම් සඳහන් වෙලා තියෙනවා. කාම්බෝජය, තායිලන්තය වැනි රටවලින් මේ රට ජනාවාස වෙලා තියෙනවා. ඉන්දියාවේ හැම ප්‍රාන්තයකින්ම මේ රටට ඇවිත් තියෙනවා. ජනාවාස වෙලා තියෙනවා. ඒත් අපේ අය මේ ඔක්කොම දැන් පටලවාගෙන ඉන්නේ. යුද්ධයකට පාර කැපෙන්නේ ඒ හින්දා. ඒ නිසා ඒ වෙස් මුහුණු ගලවන්න තමයි අපේ උත්සාහය. එතකොටයි මේ පැටලැවිල්ල ලිහාගන්න පුළුවන් වෙන්නේ.

 

කාලෙකට පස්සෙ තමයි ඔබ නැවතත් වේදිකාවට සම්බන්ධ වෙන්නෙ?

රූපවාහිනී මාධ්‍යයට ප්‍රවේශ වීම තමයි මට විශාල පීඩනයක් එල්ල කළේ. කලාව සමග පැවැති සබැඳියාව මගෙන් ගිලිහුණා. රැකියාව දෙපාරක්ම අහිමි වුණා. 1997 දී මාව කිසිම හේතුවක් නැතුව අනිවාර්යය නිවාඩු යවනවා. සෙසු සමාජයත් අපි දිහා අමුතු විදියට බලන්න ගත්තා. අනික් අයත් අපිත් එක්ක වැඩ කරන්න අකැමැති තත්ත්වයක් උද්ගත වුණා. රජයේ තරහකාරයෙක් විදියටත් හංවඩු ගැහුණා. මගේ තනතුර දේශපාලනඥයන්ගේ හිතවතුන්ට දෙන්නයි ඔවුන් එහෙම කළේ. විධායක ජනාධිපති ක්‍රමයට අපි විරුද්ධත් ඒකයි. ඒවායේ බලයෙන් තමයි ඔවැනි දේවල් සිදු කරන්නේ. මීට කලින් තිබුණු ව්‍යවස්ථාව යටතේ කාටවත් බැහැ කිසිම රාජ්‍ය සේවකයෙකු ඒ ආකාරයෙන් අයින් කරන්න හෝ තමන්ට ඕන කෙනෙක් පත්කර ගන්න. ඒත් මිනිස්සු දන්නේ නැහැ මේ ව්‍යවස්ථාවේ පවතින භයානකකම. ඒ නිසා තමයි අවුරුදු 21ක් තිස්සේ මගේ කලාකටයුතු ඇනහිටින්නේ. ඒ නිසා තමයි අද අපිව පිටස්තරයෝ විදිහට සලකන්නේ. අපි කරපු නිර්මාණ ගැන බොහෝ විශ්වවිද්‍යාල සිසුන් පවා දන්නේ නැත්තේ ඒ නිසා.

 

යුදමය කාලපරිච්ඡේදයක් ගත කළ නිසා නේද ලංකාවේ කලා සංස්කෘතිය දියුණු නොවුණේ?

පසුගිය දශක කිහිපය තුළම කලා සංස්කෘතියේ ප්‍රගතියක් සිදු වුණේ නැහැ. මාධ්‍ය සංස්කෘතියත් එහෙමයි. රටේ දේශපාලන ක්‍රියාකාරකම්වල ස්වභාවය ඊට බලපෑවා. සංස්කෘතිය කියන්නෙත් අපේ මිනිස්සු හුඟක් දන්නේ නැති දෙයක්. අනික වෙන රටවල සංස්කෘතික අමාත්‍යාංශය පවතින්නේ අධ්‍යාපනයත් එක්ක ඍජුවම සම්බන්ධ වෙලා. ඒ ඍජු සබඳතාව එක්කයි ඒ රටවල් පවතින්නේ. හැබැයි ලංකාවේ එවැනි තත්ත්වයක් නැහැ. අධිකරණයට, නීතියට, පොලීසියට අද වෙලා තියෙන දේ බැලුවාම කොහොමත් කලාව ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. රඟහල නැති රටකනේ අද අපට නාට්‍යය කරන්න සිදු වෙලා තියෙන්නේ. මොකක්ද රජයෙන් හදපු රඟහල? ඒකයි මම කියන්නේ නාට්‍ය කලාවේ උන්නතියට තාමත් රජයෙන් කිසිවක් කරලා නැහැ කියලා.

 

කොහොම වුණත් ලිබරල් ආර්ථික ක්‍රමයක් තුළ රටේ සංවර්ධනය කෙරෙහි නාට්‍ය කලාව බලපාන ක්‍රමවේදයක් නේද අවශ්‍ය කරන්නේ?

දියුණු රටවල රටේ සංවර්ධනයට කලා සංස්කෘතික මාධ්‍යයන් ඍජුවම බලපානවා. ඔස්ට්‍රේලියාව වැනි රටවල එයාලාගේ දළ දේශීය නිෂ්පාදිතයට එක්කර ගන්නා එක් අංගයක් තමයි කලාව. සංගීත නිර්මාණ හරහා විශාල ආදායම් ඔවුන් උපයනවා. ආදිවාසී කලාවත් බුද්ධිමය දේපොළ වශයෙන් ඔවුන් සලකලා ඒවා ආරක්‍ෂා කරලා තියෙනවා. ඒ හින්දා තමයි ලෝකයෙන්ම ඒ වෙනුවෙන් ආදායම් ලැබෙන්නේ. හැබැයි ලංකාවේ ඒවා ගණනය කිරීමක් ගැන හිතලවත් නැහැ. එහෙම ගණනය කළා නම් අපේ ගීතවලින් දේශීය නිෂ්පාදිතයට එකතු වෙලා තියෙන මුදල කොච්චරද කියලවත් බලාගන්න තිබ්බා. එහෙම කළොත් හැබැයි සියලු මාධ්‍ය ආයතනවල, හෝටල්වල, ගුවන් සමාගම්වල වාදනය කරන ගීතවලින් එකතු වන මුදල හිතාගන්නත් බැහැ. ඒ නිසයි අපේ රට බුද්ධිමය දේපොළ කොල්ලකන රටක් කියන්නේ. කලාකරුවන්ව ආරක්‍ෂා කරන අවම මානව හිමිකම තමයි බුද්ධිමය දේපොළ කියන්නේ. අමරදේව, කේමදාස වැනි අය පස්වෙන්නේ ඒ හිමිකම නැතුව. ඒ නිසා එයාලගේ දේවල් අදත් කොල්ලකනවා. උදාහරණයකට මගේ ‘රතු හැට්ටකාරී’ නාට්‍යයේ එන “දී කිරි* ගීතය අද භාවිත වෙන්නේ මී කිරි විකුණන්න. ඒත් බුද්ධිමය දේපොළ හිමිකම නැහැ. රියැලිටි වැඩසටහන්වල මේ ගීතය ගායනා කරනවා. විද්‍යුත් මාධ්‍යවල ප්‍රචාරය කරනවා. ඒත් බුද්ධිමය දේපොළ හිමිකම නැහැ. අද අපට ඒ නිසා නාට්‍ය කරන්න වෙලා තියෙන්නේ අපට තියෙන කැක්කුමකට මිසක් වෙන හේතුවක් හින්දා නෙමෙයි.

 

මාලන් විදානපතිරණ

 

 2018-07-11-ent-138