නාට්‍යයක් තුන් හතර සැරයක් බලන්න හිතෙනවා නම් එය හොඳ නාට්‍යයක් ලෙසයි මම හඳුන්වන්නේ



2018-08-07-ent-116

කලකට පසු නැවතත් ‘සුද්දෙක් ඔබ අමතයි’ වේදකා නාට්‍යය අගෝස්තු මස 04 වැනිදා ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත ගත විය. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට එම නාට්‍යයේ අධ්‍යක්ෂක උදයසිරි වික්‍රමරත්න මහතා අප සමග මෙලෙස සම්බන්ධ විය.

 

‘සුද්දෙක් ඔබ අමතයි’ කියන වේදිකා නාට්‍යය නිර්මාණය කලකට පසු යළිත් වේදිකාගත කිරීම පිළිබඳව මුලින්ම කතා කරමු?2018-08-07-ent-117

සුද්දෙක් ඔබ අමතයි කියන්නේ කොටස් තුනකින් යුතු නාට්‍යයක්. නාට්‍යයේ එක කොටසක් තමයි ‘ඉතිහාසය ඔබ අමතයි’ කියන්නේ එය ජයලත් මනෝරත්න විසින් සිදුකරනවා. නලීන් ප්‍රදීප් උඩුවෙලගේ ‘සුද්දෙක්’ කියන්නේ අනිත් කොටස. එය හා ‘ස්ත්‍රියක් ඔබ අමතයි’ කියන්නේ මාධනී මල්වත්ත රංගනයෙන් දායක වන කොටස. මේ කොටස් තුනකින් සමන්විත නාට්‍යය අත්දැකීම සුවිශේෂීයි. මෙය පවතින මොහොතට අතිශය සංවේදී නාට්‍යයක් ලෙසයි මම හඳුන්වන්නේ. එක් අතකින් මෙය පවතින සමාජයේ කැඩපතක්. මේ නාට්‍යය හැමවිටම ඒ මොහොතේ රටේ පවතින්නා වූ වාතාවරණය සමග බැඳී තිබෙන්නේ. මේ නාට්‍යය නිර්මාණය කළදා සිටම අප සිදුකළ දෙයක් තිබුණා. ඒ රටේ පවතින තත්ත්වය අනුව නාට්‍යයේ පිටපත යම්කිසි ප්‍රමාණයකට වෙනස් කිරීම. එමගින් හැම දර්ශන වාරයකම වෙනස් අත්දැකීමක් ලැබෙනවා. ඒ නිසාම මේ නාට්‍යය හතර පස් වතාවක් නැරඹූ අය හමු වෙනවා.’මනමේ’, ‘සිංහබාහු’,’අන්දරේලා’, වැනි නාට්‍යය එවැනි වාර සංඛ්‍යාවක් බැලූ ප්‍රේක්ෂකයන් ඉන්න පුළුවන්. නාට්‍යයක් තුන් හතර සැරයක් බලන්න හිතෙනවා නම් එය හොඳ නාට්‍යයක් ලෙසයි මම හඳුන්වන්නේ. මේ කාලය තුළ සිදු වූ සමාජ දේශපාලන තත්ත්වයන් මේ නාට්‍යය නරඹන අයට ලබාදීමට තමයි අපි යොමු වෙන්නේ.

 

ගැටුමක් නැති තැන නාට්‍යයක් නැහැ කියලා තමයි න්‍යායන් ගැන කතා කරද්දී සඳහන් වෙන්නේ. මේ කාරණාව මේ නාට්‍යය උදාහරණ කර ගනිමින් යම් තරමකට සාකච්ජා වුණා. ඒ වගේම මේ නාට්‍යය ආකෘතිය ගැනත්?

ඔව්. ‘සුද්දෙක් ඔබ අමතයි’ කියන්නේ ප්‍රේක්ෂකයෝ නැතුව කරන්න බැරි නාට්‍යයක්. වෙනත් වේදිකා නාට්‍යයක් ප්‍රේක්ෂකයන් නොමැති වුණත් සිදුකරන්න නළුනිළියන් මගින් පුළුවන්. නමුත් මේ නාටයේ එක් ප්‍රේක්ෂකයෙකු හෝ සිටිය යුතුයි. රංගන ශිල්පියා කතා කරන්නේ ප්‍රේක්ෂකයා එක්ක. එක් අතකට සහය නළුවා බවට පත්වෙන්නේ ප්‍රේක්ෂකයා. ප්‍රේක්ෂකයා උත්තර දීමක් මෙහිදී සිදුවෙනවා. බොහෝ විට ප්‍රේක්ෂකයා බැඳෙන්නේ නාට්‍යය තුළ ඊළඟට මොකක්ද වෙන්නේ කියන දේ මත. නමුත් මේ නාට්‍යය තුළ ප්‍රේක්ෂකයා ඊළඟට මොකක් කියයිද කියන කාරණය එක්ක බැඳිලා තියෙන්නේ. ඇත්ත මේ නාට්‍යයේ කොතැනද ගැටුම තියෙන්නේ කියලා හිතන්න වෙනවා. එහෙම නම් මේක නාට්‍යයක් නෙමෙයිද කියලත් අහන්න වෙනවා. මෙහෙමයි, ලෝකේ කලා නිර්මාණ බිහිවෙන්නේ න්‍යාය අනුව නෙමෙයි. කලා නිර්මාණවලින් පසුව තමයි න්‍යායය බිහි වෙන්නේ.ග්‍රීක නාට්‍යය බලන්න. ඛේදාන්ත, සුඛාන්ත ලෙස නාට්‍යය වර්ග කරනවා. මේ නාට්‍යය ගැන අධ්‍යනය කරද්දී බොහෝ දෙනෙකු හිතන්නේ තියරිය මුලින් තිබිලා ඉන් පසුව නාට්‍යය නිර්මාණය වුණා කියලා. නමුත් ඇත්තටම වුණේ නාට්‍යය දෙස බලා තියරි කාරණා නිර්මාණය වීමක්. තනි නළුවෙකු සිටින නාට්‍යය පැවතුනා. එහි ඔහු චරිතයක් ඉදිරිපත් කරන්නේ. මේ කතාව පවත්වනවා කියන ආකෘතිකමය ස්වරූපය ඒ තුළ නැහැ. නමුත් මේ නාට්‍යය නිර්මාණය කරද්දී මම හිතපු කාරණයක් තිබෙනවා. අපි කියන කාරණයක් ගැන මිනිසෙකුට විනාඩි දහයකට වඩා අවධානය තබා ගන්න බැහැ කියන එක මනෝ විද්‍යාත්මකව සනාථ වූවක්. නමුත් අපේ රටේ පැය දෙක තුනක් ගැන එකම දේ කතා කරනවා. ඒ පැය දෙක වුණත් තමන්ට අදාළ දැනෙන දෙයක් නම් අහගෙන ඉන්නවා. තමන්ට දැනෙන කතාවක් අහන එක අවස්ථාවක් බවට ‘සුද්දෙක් ඔබ අමතයි’ පත්වෙලා තියනවා. ඒකයි සාර්ථකත්වය.

 

මේ වෙද්දී බොහෝ දර්ශන වාර සංඛ්‍යාවක් මේ නාට්‍යය වේදිකාගත කර තිබෙනවා. මේ කාලීන සමාජ, දේශපාලන වෙනස් වීම් අනුව වෙනස් වන මේ නිර්මාණය ප්‍රේක්ෂකාගාරය එක්ක බද්ධ වූ ආකාරය ගැන ඔබේ අදහස මොකක්ද?

2018-08-07-ent-118

දර්ශනවාර 250ක් විතර මේ වෙද්දී අප මෙහි පවත්වා තිබෙනවා. මේ ප්‍රෙක්ෂකාගාරය තුළ සමාජවාදීන්, ධනවාදීන් වගේම පශ්චාත් නූතනවාදීන් වැනි විවිධ මතවාද දරන්නන් ඉන්නවා. නමුත් ‘සුද්දෙක් ඔබ අමතයි’ වේදිකා නාට්‍යයට මේ හැම මතවාදයකම අය කැමැත්තක් දක්වනවා. මෙහෙමනේ ජෝතිපාලගේ සින්දුවක් ළඟ පක්ෂ දේශපාලනය නැහැනේ. මේ නාට්‍යයත් එවැනියි. එය තමයි නාට්‍යයේ සාර්ථකත්වය කියලා මම හිතන්නේ. පුද්ගලයෙක් වශයෙන් මට අකමැති අය හිටියත් නාට්‍යයට කැමතියි. මේ හැම දෘෂ්ටිවාදියෙකුම මෙයට කැමතියි. දෘෂ්ටිවාද පැත්තකින් තියලා හරි, දෘෂ්ටිවාද එක්ක හරි ප්‍රේක්ෂකාගාරය මේ නාට්‍යය එක්ක බැඳෙනවා. ඒක ප්‍රතික්ෂේප කරන තැනක ඔවුන් නැහැ. ඒ වගේම මම පොඩි කාරණාවක් කියන්න ලොකු හරඹ කරන්නේ නැහැ. ඒ නිසා ඔවුන් මේ සමග ඉන්නවා.

 

ඔබ නිර්මාණය කළ සෑම වේදිකා නාට්‍යයකම වගේ ජෝතිපාලයන්ගේ ගීත හෝ ඒ තනු ඇසුරින් නිර්මාණය වූ ගීත අන්තර්ගත වෙනවා. මේකට හේතුව මොකක්ද?

ජෝතිගේ සින්දුවකින් ජෝති ගැන කියවෙන දෙයක් අපිට ඔහු ගැන අවුරුද්දක් කතා කරත් කියන්න බැහැ. ඒ වගේම ජෝති කවදාවත් දේශ ප්‍රේමයක් ගැන කතා කළේ නැහැ. නමුත් ඔහුගේ ගීත තුළ ඒ දේශප්‍රේමය තිබෙනවා. ජෝතිගේ ගීතවල තිබ්බ දේශප්‍රේමය දැන් අපි ළඟ නැහැ. වෙන දේශප්‍රේමයක් ඇවිත් වගේ හැඟීමක් මට ඇති වෙලා තියනවා. දේශප්‍රේමය කියන්නේත්, ප්‍රේමය කියන්නෙත් ප්‍රකාශ කරන දෙයකට වඩා ක්‍රියා කරන දෙයක්. ජෝතිලාගේ පරපුරේ මෙලෙස සිදුවුණා. නමුත් අපේ පරපුරේ මට ඒ ගැන ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රශ්නයත් එක්ක තමයි ඔහුගේ ගීත නිර්මාණ මගේ නිර්මාණවල අන්තර්ගත වෙන්නේ.

 

‘රඟපෑම් ඉවරයි’,’පෙම් යුවලක් ඕනෑ කර තිබේ’ වැනි නාට්‍යය මේ වන විට වේදිකාගත වෙන්නේ නැහැ. ඒ නාට්‍ය පවත්වාගෙන යෑමෙන් ඉවත් වුණේ ඇයි?

එහෙම ඉවත්වුණා කියලා කියන්න බැහැ. ‘පෙම් යුවලක් ඕනෑ කර තිබෙයි’ කියන්නේ සාමාන්‍යය පවතින නාට්‍යයක්. ආදරය රඟපාල පෙන්වන්න බැහැ කියන එක තමයි මේ වේදිකා නිර්මාණයෙන් කතා කරන්නේ. එය කාල්පනිකව රචනා වූවක්, ‘පෙම් යුවලක් ඕනෑ කර තිබෙයි’ කියන්නේ සංවිධායකයෙක් නොමැතිව වේදිකාගත වූ නාට්‍යයක්. ඇත්තම කතාව මම කියන්නම්. මම නාට්‍යය වෙනුවෙන් ජීවත් වෙන්නෑ. මම එහෙම ජීවත් වෙන්න ගියා නම් මට ජීවත් වෙන්නත් බැහැ. මගේ දරුවන් ජීවත් කරන්නත් බැහැ. මම රැකියාවක් කරනවා.

නාට්‍ය කලාවට මිනිසෙකු ජීවත් කිරීමේ හැකියාව අද වන විට නැහැ. ඒ නිසා මගේ සීමාව ඇතුළේ තමයි මේ දේවල් සිදුවෙන්නේ. ‘පෙම් යුවලක්’ නාට්‍යය මෙතරම් කාලයක් වේදිකාගත වුණේ මේ නාට්‍යය නැරඹූ සංවිධායකවරුන් මගින්. ඒකයි එය සිදුවුණේ. අපි නාට්‍යය නිර්මාණය කළේ මිනිසුන් සිනාසී සතුටු කරන්නම නෙමෙයි. ඊට වඩා අර්ථයක් එක්ක. ‘පෙම් යුවලක් ඕනෑ කර තිබෙයි’ නාට්‍යය එක්ක ශිල්පීන්ට බැඳෙන්නත් කිසියම් කාලයක් ගතවුණා. නාට්‍යය මොකක්ද කියන එක ඔවුන්ට තේරුණේ නැහැ. ආදරය පදනම් වූ මෙවැනි කතාවක නාට්‍යය ඒ කාලයේ නිර්මාණය වී තිබුණේ නැහැ. මේ නාට්‍යය සාමාන්‍යය මිනිසුන්ට දැනෙන නාට්‍යයක්. එවැනි තැනකදී තමයි මේ නාට්‍යය ශිල්පීන්ටත් නාට්‍යය දැනුනේ. ඒක අපේ නාට්‍යය සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක්. නාට්‍යය කලාවේ අර්බුදයත් ඒකයි. ‘රඟපෑම් ඉවරයි’ නාට්‍යය ගැන කතා කළොත් රගපෑම් ඉවරයි කියන වේදිකා නිර්මාණයේ අන්තර්ගතය වෙන්නේ අපි බොරුවක් කියන්න උත්සහ කරද්දී සබකෝලය ඇතිවුණොත් මොකද වෙන්නේ කියන කාරණය පිළිබඳවයි. ඒ නාට්‍යය උසස්ම තත්ත්වයෙන් පවත්වා ගන්න එක් දර්ශන වාරයයි දිනකදී පවත්වන්නේ කියන තීරණයට එළඹෙන්න සිද්ද වුණා.

එහෙම එක දර්ශනවාරයක් පවත්වා නාට්‍යයේ වියදමවත් පියවගන්න ක්‍රමවේදයක් නැහැ. අපේ නාට්‍යය පවතින තත්ත්වය මත දර්ශනවාර දෙකක් එක් දිනයක පවත්වන්න බැහැ. කමල් අද්දරආරච්චි රංගනයේ යෙදුණ චරිතය ගැන කතා කළොත් ඔහු ඒ සඳහා වන මහන්සියෙන් එක් දවසකට දර්ශන වාර දෙකක් කරන්න බැහැ. විනාඩි පනහක පමණ කාලයක් වේදිකාව පුරා යමින් සිදුකරන රංගනයක් ඔහුට කරන්න සිද්ද වුණේ. එයත් හේතුවක්. අනෙක් දේ චිත්‍රපටයක්, ටෙලිනාටයක් කරලා ඉවර කරන්න පුළුවන්. නමුත් නාට්‍යයක බැඳීම් පවත්වාගෙන යන්න ඕන. එය බිඳ වැටුණොත් නාට්‍යයත් අතරමග නතර වෙනවා. ඒ මිත්‍රකම් බැඳීම් එක්ක තමයි නාට්‍යයක් පවත්වාගෙන යන්න ඕන.

 

මෙවැනි තත්ත්ව මත නාට්‍යයක් දිගටම වේදිකාගත කිරීමේ ක්‍රියාවලියට නිර්මාණකරුවාටම මෙතරම් මැදිහත්ව කටයුතු කිරීමට සිද්ධ වෙන අවකාශයක් නිර්මාණය වුණේ කුමන කාරණයක් නිසා කියලද ඔබ හිතන්නේ?

ලංකාවේ කලාවට රාජ්‍යය ප්‍රම්‍රඛතාවයක් ලැබිලා නැති එක මේ රටතුළ තිබෙන ප්‍රශ්නයක්. කලාව රටට ඕන කියන දේ නායකයන්ට දැනෙන්නේ නැහැ. ඇමෙරිකාව ලෝකය පාලනය කරන්නේ හොලිවුඩ් චිත්‍රපටවලින්. හැම තැනකම කලාව කුළු ගැන්වීම තිබෙනවා. ඒක රටේ ප්‍රමුඛතාවය. අපේ ප්‍රමුඛතාවය ලෙස අපේ රජයන් ඉඩ ලබා දෙන්නේ අපේ කලාව යටපත් කර, විදේශ නිර්මාණ නරඹන්න පුළුවන් වෙළෙඳ පොළක් නිර්මාණය කරන එකට. ඒ වගේම කලාව ඇතුළෙත් ප්‍රශ්න තිබෙනවා. අද ඉන්න කලාකාරයෝ කියා ගන්නා ගොඩක් අය කලාකාරයෝ නෙමෙයි. සංස්කෘතියට, ආගමට, දහමට, මිනිසුන්ට, ඔවුන්ගේ ගෞරවයක් නැහැ. දොස්තොස්කි කියන්නේ රුසියාවට අසීමිතව ආදරය කරපු මිනිසෙක්. අපේ කලාකරුවෝ ලංකාවට අසීමිතව එහෙම ආදරය කරනවද? දොස්තොව්ස්කිට රුසියාවට වඩා රටක් තිබ්බේ නැහැ. නොබෙල් ත්‍යාගය පවා ප්‍රතික්ෂේප කළ බොරිස් බැස්ටිරනක්( boris Pasternak)ට විරුද්ධව රජය තීරණයක් ගන්නවා එහිදී ඔහු අගමැති කරුෂෙප්ට මෙහෙම ලියනවා. &මා රුසියාවෙන් නෙරපීමේ වෑයමක් පවතින බව මට දැනගන්නට ලැබී ඇත. රුසියාවෙන් තොර ජීවිතයක් ගැන මට සිතා ගැනීමට නොහැකිය. රටේ දේශසීමාවලින් ඔබ්බට යෑම මට මරණය හා සමානය. ඒ නිසා ඒ දැඩි දඬුවමට මා ලක් නොකරන්න.* කියලා අන්න එතනයි කලාකරුවා බිහි වෙන්නේ. එහෙත් අපි කොතනද ඉන්නේ.

 

නිදුක් මදුෂික

2018-08-07-ent-118