'ඉරණමට ඉඩ දෙන්න බැහැ වස්තුවේ' ගීතය මගේ ජීවිතේට ගොඩාක් සමීප වූ ගීතයක්



2018-08-07-ent-141

මේ දිනවල යූටියුබ් ජාලයේ ප්‍රසිද්ධ ගීතයක් තමයි "ඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේ" කියන ගීතය. මේ ගීතය ගයන්නේ නව පරපුරේ ගායකයෙකු වන ලංකා නදීමාල්. ඉතිං මේ කතාබහ ඔහුත් එක්කයි.

 

අලුත්ම නිර්මාණය ගැන මුලින්ම කිව්වොත්?2018-08-07-ent-142

මගේ අලුත්ම ගීතය "ඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේ" මේ දිනවල youtube, Facebook මාධ්‍ය හරහා ඒ ගීතය ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. විශේෂයෙන්ම සති දෙකක වගේ කාලයක් තුළ youtube trending වල ඉහළින්ම තිබුණා. මේ වනවිට ලක්ෂ හතරහමාරකට ආසන්න පිරිසක් එය නරඹා තියෙනවා. මේ නිසා මම පෞද්ගලිකව ගොඩක් සතුටින් ඒ ප්‍රතිචාර විඳිනවා.

 

මේ ඔබේ කීවෙනි ගීතයද?

මේක මගේ තුන්වැනි ගීතය.මීට කලින් මම ගායනා කළ" කවුරුන්ද හුරු කළේ " සහ " ළංවෙන්න බෑ " ගීත දෙක අන්තර්ජාලයේ තියෙනවා. මම ලංකාවේ හිටියෙ නැති නිසා රූප රචනාවක් කරගන්න හැකියාවක් ලැබුණෙ නැහැ. ඉරණමට ඉඩදෙන්න ගීතය තමයි මගේ පළමුවැනි රූප රචනාව.

 

මීට කලින් කරපු නිර්මාණ ගැන මතක් කළොත්?

"කවුරුන්ද හුරු කළේ" මගේ පළමුවැනි ගීතය. ඒක යුග ගීතයක්. ෆාතිමා රම්සිනා තමයි මාත් එක්ක ගායනා කරන්නෙ. සංගීතය සඳරුවන් ජයසිංහ , පද රචනය සජිත් වී චතුරංග. " ළංවෙන්න බෑ "ගීතයත් සංගීතය සඳරුවන් ජයසිංහ පද රචනය සුජිත් ප්‍රියාන්.

 

ඉරණමට ඉඩ දෙන්න බැහැ වස්තුවේ ගීතයත් රැල්ලට නිර්මාණය වුණ ගීතයක්ද?

ඒක බැලූ බැල්මට රැල්ලට යන ගීතයක් වෙන්න පුලුවන්. හැබැයි මේ ගීතය මගේ ජීවිතේට ගොඩාක් සමීප වූ ගීතයක්. කොටින්ම කිව්වොත් මම මේ ගීතය හරහා මට කියන්න අවශ්‍ය දේ තමයි කියල තියෙන්නෙ. ඒක මට ලස්සනට ලියල දුන්නෙ උවිඳු දයාරත්න. සංගීතය ප්‍රගීත් පෙරේරා. මේ නිර්මාණයෙ තියෙන්නෙ වැඩිමල් කෙනෙකුට ආදරය කරපු කතාවක්. ඒක ගොඩක් අයට දැනුන නිර්මාණයක් කියන එකනම් දැන් මට තේරිලා තියෙනවා.

 

ආදරය විරහව කියන දේ නැතිව ගීත ජනප්‍රිය කර ගන්න අමාරුද?

එහෙම කියන්න බැහැ. ආදරය සහ විරහව නැති වෙනත් ආරයේ ගීත ඕනතරම් තියෙනව අපි ආසා කරන. නමුත් ආදරය සහ විරහව කියන්නෙ ගොඩාක් අය විඳින සහ විඳවන දෙයක්. මේකට ගීතයකින් ලොකු දෙයක් කරන්න පුළුවන්. එවැනි ගීත මිනිස්සු ගොඩක් ඉක්මනින් වැලඳ ගන්නවා. ඒක නිසා තමයි මම හිතන්නෙ ගොඩක් ආදරය සහ විරහ ගැන ගීත වැඩිපුර නිර්මාණය වෙන්න හේතුව.

 

නවක පරපුරේ ගායක ගායිකාවන් අද බොහෝ දෙනෙක් ඉන්න නිසා මේ ක්ෂේත්‍රය තුළ යන ගමන ගැන මොකද හිතෙන්නේ?

මම ඉන්නෙ ජපානයෙ. මම 2016 ජපන් සුපර් ස්ටාර් ජනප්‍රියම තරුව වුණා. එතැන් පටන් තමයි මගේ සංගීත ගමන පටන් ගන්නෙ. මන් හැමදාම ලංකාවේ ඉන්නෙ නැති නිසා මගේ රසිකයන්ට වෙනස් නිර්මාණ දෙන්න මට ජපානයේ ඉන්න ගමන් පුළුවන් වේවි කියල හිතනවා. මොකද මම ජපානයෙත් සංගීත කණ්ඩායමක සාමාජිකයෙකු නිසා. අපි බලමු තව ඉස්සරහට වෙනස් ටිකක් වෙනස් දෙයක් කරන්න.

 

ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?

ඉරණමට ඉඩදෙන්න ගීතයෙන් පසුව මම නැවත ජපානයට යන්න කලින් තවත් ලස්සනට ගීතයක් කළා."තේරුම් යයි මතු දවසක" තමයි ගීතයේ නම. ඒකත් පද රචනය කරේ උවිඳු. සංගීතය අෂාන් ප්‍රනාන්දු. ලොකු විශ්වාසයක් තියෙනව ඒකත් හිතට ගොඩාක් දැනෙන ගීතයක් වෙයි කියලා.

 

උදව් කරපු පිරිස ගැන මතක් කළොත්?

මට මේ ගීතය නිර්මාණය කරන්න ඕන කියන තැනට මාව පත්කරපු කෙනාට ගොඩාක් ස්තුතියි....!!!!! ඔයාට දැනුනෙ නැතත් අද ඒ ගීතය ගොඩාක් අය වැලඳගෙන තියෙනව. මගෙ අම්ම, තාත්තා. පවුලෙ අය ඒ වගේම හරි ක්‍රියේෂන් ලහිරු අයිය, එරන්ද අයිය මට හරියට වැඩක් කරල දුන්න. ඒ වගේම මගෙ ජපානයෙ සහ ලංකාවෙ ඉන්න යාලුවො ඔක්කොම ආදරයෙන් මතක් කරනවා. Facebook එකේ ඉන්න මගෙ ඔක්කොම යාළුවන්ට ගොඩාක් ස්තුතියි....!!!!! ජයවේවා...!!!

ඩිලාන් ක්‍රිෂාන්ත