'මම කැමතිම චොක්ලට් මෙයා ආස බිස්කට්' නාට්‍ය ළමයින් සහ වැඩිහිටියන් ආකර්ෂණය කරන නාට්‍යක්



2018-08-08-ent-01

ළමා හා යොවුන් නාට්‍යවේදී සචිත්‍ර රාහුබද්ධගේ නවතම වේදිකා නිර්මාණය වන ‘මම කැමතිම චොක්ලට් මෙයා ආස බිස්කට්’ නාට්‍යයේ මංගල දර්ශනය මෙම මස 10දා සවස 6.30ට බිෂොප් විද්‍යාලයීය රංග ශාලාවේදී වේදිකාගත වීමට නියමිතය. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට එම නාට්‍ය සඳහා රංගනයෙන් දායක වන රංගන ශිල්පී ජනක කුඹුකගේ මහතා සම්බන්ධ කර ගැනීමට අප සිතුවෙමු.

 

මීට පෙර ඔබ ළමා නාට්‍යයකට දායක වී තිබෙනවාද?2018-08-08-ent-04

ළමයින් වෙනුවෙන් නිර්මාණය කරන නාට්‍යයකට මම දායක වෙන්නේ පළවෙනි වතාවට. ඉතින් ඒක ටිකක් අමාරු කාර්යයක්. මොකද ළමා මනස කොයි ආකාරයටද ගමන් කරන්නේ කියන එක පිළිබඳව ළමා නාට්‍යයකට සම්බන්ධ වෙද්දී අපි වෙනම අධ්‍යනයක් කරන්න ඕනේ. සචිත්‍ර රාහුබද්ධගේ මේ නාට්‍ය තුළ විශේෂයක් තියෙනවා. මේක ළමයින්ටයි වැඩිහිටියන්ටයි දෙගොල්ලන්ටම පොදු වෙන විදිහේ පිටපතක් ඇසුරෙන් තමයි නිර්මාණය වෙන්නේ. ඒක තමයි මම හිතන්නේ මේ නාට්‍යයේ තියෙන සුවිශේෂීභාවය. ඕනෑම ළමයෙකුට සහ ඕනෑම වැඩිහිටියකුටත් ගෝචර වන විදිහට තමයි මේ පිටපත නිර්මාණය කර තිබෙන්නේ. ඒ වගේම ඒ පිටපතට අදාළ වන ආකාරයේ රංගනයන් අපිට පුහුණුවීම් කටයුතුවලදි නිර්මාණය කරගැනීමට හැකිවෙනවා. ඉතින් ඒක ඉතාම සුවිශේෂී කාරණාවක්. මොකද මේ විදිහේ වැඩක් අපේ රටේ කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ. දැන් ළමා නාට්‍ය කලාව තුළ මේ ක්‍රමවේදයන් දකින්න ලැබෙන්නේ ඉතා අඩුවෙන්.

 

ඔබ කිව්වා මේ නාට්‍ය ළමයින් සහ දෙමවුපියන් කියන කොට්ඨාස දෙකටම වැදගත් වන නාට්‍යයක් කියලා. මෙවැනි නාට්‍ය වර්තමානයේදී බිහිවෙන්නේ අඩුවෙන් නේද?

ඔව්. ඇත්තටම මේ වර්ගයේ නාට්‍ය ඉතාම කලාතුරකින් තමයි බිහිවෙන්නේ. ලෝකය තුළ නම් මේ වර්ගයේ නාට්‍ය බොහෝවිට දක්නට ලැබෙනවා. නමුත් අපේ රට තුළ මෙහෙම ළමා නාට්‍යයක් දකින්න ලැබෙන්නේ අඩුවෙන්. අපිට සෝමලතා සුබසිංහ මහත්මියගේ ළමා නාට්‍ය කිහිපයක් තිබෙනවා. ඊට අමතරව අපිට ළමා නාට්‍ය කියලා පෙන්නන්න පුළුවන් විදිහේ නාට්‍ය නැහැ. ළමා නාට්‍ය කිව්වාම ගොඩක් අය හිතන්නේ පාසැල්වල පෙන්නන කොන්සට් ගනයේ නාට්‍ය කියලා. එහෙම එකක් නෙවෙයි ළමා නාට්‍යයක් කියන්නේ. මේක දියුණු තැනක තියෙන නාට්‍යයක්. මේ නාට්‍ය තුළ දියුණු රංගවේදයන් භාවිතා වනවා. දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා වෙනවා. ඉතින් ඒක නිසා මේ ‘මම කැමතිම චොක්ලට් මෙයා ආස බිස්කට්’ නාට්‍ය ළමයිනුත් ආකර්ෂණය කරන වැඩිහිටියනුත් ආකර්ෂණය කරන නාට්‍යක් විදිහට දකින්න පුළුවන්.

 

මේ නාට්‍යයේ තේමාව ‘පවුල’ කියන සංකල්පය. අද ලෝකයේ දෙමවුපියන් දෙදෙනාම නොමැති දරුවෝ අපි දකිනවා. මේ නාට්‍යය ඔවුන්ට කොහොම දැනේවිද?

මේ යුගයේදී හැම කෙනාගේම ජීවිත ඉතා වේගයෙන් ගමන් කරනවා. ඉතින් එතකොට දෙමවුපියන් හිටියත් දෙමවුපියන්ට දරුවන් වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නොමැති වෙලා තිබෙනවා. මේ ක්‍රමය ඇතුළේ දෙමව්පියන්ට දුවන්න වෙලා තිබෙනවා. ළමයි ඉන්න දෙමවුපියන්ට ළමයි එක්ක දුවන්න වෙලා. සමහර වෙලාවට ළමයි අත්හැරලා වැඩ කරන්න වෙලා. ඉතින් එතැනදී දෙමවුපියෝ ඉන්න දරුවන්ටත්, දෙමවුපියෝ නැති දරුවන්ටත් තමන් ගැන හිතන්නත්, වැඩිහිටියන්ටත් ළමයි ගැන හිතන්නත් මේ නාට්‍යය හොඳ කෘතියක් බවට පත් වෙයි කියලා හිතනවා. අද කාලේ දෙමවුපියන්ට ළමයි අත්හැරෙනවානේ. ඉතින් මේ නාට්‍යය ඒකට හොඳ උත්තරයක්. අනිත් පැත්තෙන් කතා කරොත් මේක ළමයින්ට පවා වෙනස් විදිහකට හිතන්න පුළුවන් නාට්‍යයක්.

 

ළමයෙකුට තමන්ගේ අනාගතය සහ පෞර්ශ වර්ධනය සිදුකරගැනීමට දෙමවුපියන්ගේ මැදිහත්වීම අවශ්‍යයිද?

අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ළමයෙකුට එක්තරා අවධියකදී දෙමව්පියන්ගේ තල්ලුව අත්‍යවශ්‍ය වෙනවා. දෙමාපිය ආදරය, රැකවරණය කියන්නේ මනුස්සයෙක් ගොඩනගන්න අවශ්‍ය දේවල්. ඒ දේවල් නොමැතිව අත්හැරුණු දරුවෝ සමාජයේ වැරදි ක්‍රියාවන්ට පෙළඹිලා තිබෙනවා. සමාජ විශ්ලේෂණයක් කරලා තිබෙනවා. ඒකෙන් හොයාගෙන තිබෙනවා වැරදි ක්‍රියාවලට යොමුවෙලා සිටින වැඩිදෙනෙකු දෙමාපිය රැකවරණය නොලැබුණු අය කියලා. ඉතින් ඒ නිසා අත්‍යවශ්‍ය සාධකයක් තමයි දෙමාපිය රැකවරණය, නිවසේ පරිසරය කියන දේ. ඒවා ගිලිහුනොත් දරුවා ආගාදයකට වැටෙනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම අපි මේ නාට්‍ය තුළින් කතාබහට ලක්කරනවා.

ඉතින් මම ආරාධනා කරනවා අගෝස්තු 10දාට බිෂෝප් විද්‍යාලයීය රංගශාලාවට සවස 6.30ට එන්න කියලා. අගෝස්තු 10දා ඉඳලා මේ නාට්‍ය රට පුරාම සංචාරය කිරීමට නියමිතයි. මම මෙහිදී විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා මේ නාට්‍ය නිෂ්පාදනය කරන තිමිර රාජපක්ෂට. මොකද මේ වගේ ළමයින්ට සහ සමාජයට හරවත් දෙයක් ඕනෑ යුගයක මේ වගේ කර්තව්‍යයකට බර පැන දරණ එකට. ඇයි අද වෙද්දී හරවත් වේදිකා නිර්මාණවලට නිෂ්පාදකයෝ හොයාගන්න අමාරුයිනේ.

 

ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?

මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයක වැඩ කරගෙන යනවා. එතකොට සිනමා නිර්මාණ දෙකකත් වැඩ කරනවා. ඊට අමතරව වේදිකාවේ වැඩ කිහිපයකුත් කරගෙන යනවා.

 

සටහන - කැළුම් දේවින්ද

 

 2018-08-08-ent-02 2018-08-08-ent-03