මූසිලය කියන්නේ මගේ පරිකල්පන අවකාශය තුළ ගොඩ නැගුණු සිතුවිලිවල හැඩයක්



 2018-08-08-ent-06

වේදිකා නාට්‍යය ශිල්පියෙකු, රංගන ශිල්පියෙකු ලෙස බොහෝ දෙනෙකු හඳුනා ගන්නා කළණ ගුණසේකර විසින් රචනා කළ ‘මුසිලය’ ග්‍රන්ථය දොරට වැඩීම මෙම මස 10දා සවස 6.00ට ‘රෝයල් තැබ්රෝබේන්’හිදී සිදුකිරීමට නියමිතය. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ඔහු අප සමග මෙසේ එක්විය.

 

ඔබට රචකයෙකු ලෙස කටයුතු කිරීමට අවකාශය උදාවීම පිළිබඳ සඳහන් කළොත්?2018-08-08-ent-05

බොහෝ දෙනෙකු මාව හඳුනා ගන්නේ රංගන ශිල්පියෙකු ලෙසින්. මම ඊටත් පෙර වේදිකා නාට්‍යය අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කළා. රැවන් මලික් පීරිස් හා මම වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කළා. මම නිර්මාණවලට විවිධ අයුරින් සම්බන්ධ වෙලා තියනවා. ඒක මගේ විනෝදයට කරන වැඩක්. නමුත් මේ මොහොතේ මගේ විෂය වෙලා තියෙන්නේ රංගනය. රංගනය සිදුකරන්න තෝරා බේරගෙන නිර්මාණ භාර ගන්නා විට අපට නිර්මාණ නොලැබී නිවසේ ඉන්නත් සිද්ද වෙනවා. ඒ කාල සීමාව දන්නේ නැහැ. එහෙම වුණාම අපිට නිවසේ සිට කරන්න වෙන වැඩක් නැහැ. අපි විවිධ වු සිතුවිලි එක්ක ඉන්නේ. එහෙම සිතෙන දේවල් රචනා කරන්න යොමු වෙනවා. එලෙස මම චිත්‍රපට කිහිපයක් රචනා කරන්න යොමු වුණා. එහෙම තමයි මම ඒ සිතුවිලි ඉදිරිපත් කරන්නේ.

 

එලෙස රචකයෙකුගේ කාර්යය සිදුවුණත් එය ග්‍රන්ථයක් ලෙස සම්පාදනය වන පළමු අවස්ථාව මෙයයි?

ඔව්. මේක මගේ පළමු ග්‍රන්ථය. අවුරුදු පහකට පෙර තමයි මෙය ග්‍රන්ථයක් බවට පත්වෙන්න තිබුණේ. නමුත් ඒ මොහොතේ මේ කටයුත්තට මුදල් තිබුණේ නැහැ. එය නැවත කියවා බලද්දී සමකාලීන සමාජයට මේ මොහොත වන විට මෙය වඩා වැදගත් වෙනවා කියලා මම හිතනවා. එදාට වඩා අද ඒ කාව්‍යයන් තුළ වෙනස් හැඩයක් මම දැක්කා. පසුව මෙය මුද්‍රණය කළ යුතුයි කියලා හිතුවා. උපුල් ශාන්ත සන්නස්ගල මහතා මෙය පොතක් ලෙස එළිදක්වන්නම් කියලා සඳහන් කළා. ඒ අනුව ඉතාම කැමැත්තෙන් මේ ග්‍රන්ථයේ කටයුතු සිදුවුණා.

 

මුසිලය ලෙස නම් කරන මේ ග්‍රන්ථය රචනා කරන්න පසුබිම සැකසෙන්නේ කෙලෙසද?

‘මේ වසන්ත කාලයයි’ ටෙලිනාට්‍යයේ රෑගත කිරීම් කුරුණෑගල ප්‍රදේශයේ සිදුවෙන කාලයේදී මම ‘ගුත්තිල කාව්‍යය’ කියැවීම සිදුකළා. එය කියවන විට මට සිතුන දෙය තමයි මූසිල වෙනුවෙන් යමක් ලිවිය යුතුයි කියලා. ඒ අනුව මීට අවුරුදු පහකට පමණ පෙර තමයි මම මේ කවි රචනා කිරීම සිදුකරන්නේ.

 

ඇයි මූසිල වෙනුවෙන් පෙනී සිටින්නේ?

මට සිතුනා මූසිලට කිසියම් අසාධාරණයක් සිදුව තිබෙනවා කියලා. මගේ දැක්ම අනුව නැවත මූසිල ගැන මේ කාලයේ කතා කළ යුතුයි කියලා මම හිතුවා. ඉතිහාස කතාවලින් චිත්‍රපට නිර්මාණය වනවා නම් ,නවකතා නිර්මාණය වනවා නම්,රාවණා ඇසුරෙන් නිර්මාණ සිදුවෙනවා නම් මගේ පරිකල්පන අවකාශය ඇතුළේ මම මූසිලවත් ගේනවා කියලා හිතුවා. මෙය කවි දෙසීයක් පමණ තිබෙන සංකල්පයක්. මේක පොතකට වඩා මට සිතුණු සිතුවිලි යායක්. මූසිල නැමැත්තාට මම උදව් කරනවා. මූසිලට අසාධාරණයක් සිද්ධ වෙලා තියනවා. ඒ නිසයි මම මූසිල වෙනුවෙන් පෙනී සිටින්නේ. මට කියන්න ඕන දේවල් ටිකක් තිබෙනවා. ඒ වෙනුවෙන් මූසිල පෙනී සිටිනවා. එයයි සිදුවෙන්නේ.

 

මෙහි කාව්‍යය රචනා කිරීමේදී ඔබ තෝරාගත් ආකෘතිය ගැන කිව්වොත්?

(බරණැස් පුරයේ සිටින බඹදත් රජුන්ගේ නගරයට මූසිල නැවත එනවා..)
 

බරණැස් රජු බඹදත්ද

නිමකරමින් යුද සද්ද

වර ලබමින් ජන සිද්ද

ගසමින් නව ජන බද්ද..
 

මෙවැනි සිව්පද ආකෘතියේ කවි තමයි රචනා වෙන්නේ. ගුත්තිල කාව්‍යයට සමාන අයුරින් සිව්පද ආකෘතියෙන් කවි රචනා කරන්න තමයි මම යොමු වුණේ. එහි අන්තර්ගත අදහස පමණයි වෙනස් වෙන්නේ. මේ කිසිවෙකුට කරන චෝදනාවක්වත්, අසාධාරණයක්වත් නෙමෙයි. මූසිල කියන්නේ මගේ පරිකල්පන අවකාශය තුළ ගොඩ නැගුණු සිතුවිලිවල හැඩයක්. එය කියවා ඒ ගැන අදහස් කියන්න කියලා මම කියනවා.