මම ජාතිවාදයට විරුද්ධ මානවවාදී මිනිසෙක්



2018-08-08-ent-09


චාල්ස් දයානන්දගේ ‘පිටස්තරයෝ’ හා ‘ඉබේ ලියවුණ කවි’ යන ග්‍රන්ථ ද්විත්වය දොරට වැඩීම 15දා

 

චිත්‍ර කලා ගුරුවරයෙකු සේම චිත්‍ර කලා නිර්මාණකරණයේද නිරත වන චාල්ස් දයානන්දගේ ප්‍රථම නවකතාව වන ‘පිටස්තරයෝ’ හා ‘ඉබේ ලියවුණ කවි’ යන ග්‍රන්ථ ද්විත්වය දොරට වැඩීම මෙම මස 15 වැනිදා සවස 3.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුකිරීමට නියමිතය. ‘පිටස්තරයෝ’ නවකතාව පිළිබඳ ඔහු අප හා සම්මුඛ වූයේ මෙලෙසිනි.

 

දෘෂ්ටිවාදය වෙනුවට විශ්ව මානව සංකල්පීය යෝජනාවක් ගෙන එන ‘පිටස්තරයෝ’ නවකතාව රචනා කිරීමේ පසුබිම ගැන මුලින්ම කතා කළොත් ?

චිත්‍රකලාවට සම්බන්ධ පොත්පත් තමයි මම මීට පෙර රචනා කර තිබෙන්නේ. මෙය මගේ පළමු නවකතාවයි. නවකතාවකට සමාන සාහිත්‍යමය අගයක් තිබෙන පොතක් මා අතින් ලියවුණා නම්, ඒ ‘සිපිරි ගේක වසර හයක්’ කියන ග්‍රන්ථයයි. එය ලියවුණේ සාහිත්‍යමය භාෂාවකින්. එහි ලද උත්තේජනයත් එක්ක තමයි මේ ග්‍රන්ථය රචනා වෙන්නේ.2018-08-08-ent-10

මම බලංගොඩ ගුරු සේවයේ නිරතව කටයුතු කරන කාලයේදී මගේ මිත්‍රයෙක් හිටියා. ඔහු දමිළ ජාතිකයෙක්. එහෙම දමිළ කියලා සඳහන් කළාට ඔහු සිංහල සමාජයේ ජීවත් වුණ සුන්දර මිනිසෙක්. විවාහ ජීවිතය අසාර්ථක වෙලා, ඔහු අවසානයේදී තදබල ලෙස බීමට ඇබ්බැහිව මරණයට පත්වන්නේ උමතු වූවෙකු ලෙසින්. මේ සිදුවීම මට කම්පනයක් ගෙන ආවා. කාලයක් තිස්සේ ඒ වේදනාව මගේ හිතේ තිබුණා. මේ තරම් වටිනා කෙනෙකුට මෙවන් තත්ත්වයක් ඇති වුණේ ඇයි කියලා මම කල්පනා කළා. ඒ ගැන හොයලා බැලුවා. එහිදී මේ දේ සිදුවෙන්න ජාතිවාදී බීජයක් හේතුවෙලා තියනවා කියන දේ මට තේරුණා. මගේ දමිළ මිත්‍රයා ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන ප්‍රසිද්ධියෙ කතා කරන කෙනෙක් නෙමෙයි. ඔහු සිංහල කාන්තාවක් සමගයි විවාහ වුණේ. දරුවන් සමග ඇය ඔහුගෙන් වෙන්වෙලා තිබ්බා. ඔහු දිනක් මට හිතේ වේදනාවෙන් කිව්වේ එක දෙයයි.ඒ “අපි දෙමළනේ මචං* කියලා විතරයි. මගේ හිතට එය තදින්ම කාවැදුණා. මේ පවුල් සංස්ථාව දෙදරා යෑමට එක් හේතුවක් වෙන්න ඇත්තේ ඒ කාරණය කියලා මට හිතුණා. මෙවන් වාතාවරණයක් තුළ සිටියදී අසූතුනේ ජූලි කෝලහාල වැනි තත්වයක් ඇති වුණොත් කුමක් සිදුවෙනවාද? එහෙම වුණා නම් අනිවාර්යයෙන්ම සිංහල හා දෙමළ අය එක්ව වාසය කරන නිවසේ ප්‍රශ්න ඇති වෙනවා. මේක හරි සංවේදී ප්‍රශ්නයක්. මේ වගේ තවත් සිදුවීමක් වුණා. මා හොඳින් දන්නා තරුණියක් විවාහ වුණේ දමිළ ජාතිකයෙකු එක්ක. ඔවුන්ට දරුවෙක් ලැබුණා. මේ දරැවා ලොකු වෙද්දී ඒ ගෙදර ප්‍රශ්න ඇති වුණා. ඒකට හේතුව වුණේ ඒ ළමයා දෙමාපියන් එක්ක රණ්ඩු කිරීම. ඒ දරුවා රණ්ඩු කළේ මට දෙමළ වෙන්න බෑ කියලා. පියාගේ ජාතිය ආගම තමයි උප්පැන්නේ සඳහන් වෙන්නේ. මෙය ඉතාම අප්‍රකට අප රට තුළ පවතින මහා සංවේදී ප්‍රශ්නයක්. මම ජාතිවාදයට විරුද්ධයි. මං මානවවාදී මිනිහෙක්. පටු ආගම්වාදී ජාතිවාදී තැනක මම නැහැ. මේ දේවල් එක්ක කිසියම් කම්පිත සිතුවිල්ලක් මෝරමින් වැඩෙමින් මා තුළ පැවතුණා. එහි ප්‍රතිඵලයක් තමයි මේ පොත. සත්‍ය සිදුවීම් න්‍යෂ්ටිය කොට ගනිමින් ප්‍රබන්ධයක් සාහිත්‍යය ඇසුරෙන් ගොඩ නැගුවා.

 

මෙලෙස පවතින ජාතිවාදයට වඩා ආගම් වාදය භයානකයි කියන කාරණය ඔබ ඉස්මතු කර දක්වනවා?

දැන් සිද්ධ වෙන්නේ බුදු දහමට විරුද්ද ක්‍රියාවන්. මම බුදු දහම හොඳින් හදාරපු කෙනෙක්. මේ වන විට පවතින්නේ ඒ මුල් බුදු දහම නෙමෙයි. මේ බුදු දහමට පටහැණි ගෝත්‍ර දහමක් තමයි මේ පවත්වාගෙන යන්නේ. චීවරය දරාගත් අය විසිනුත් ගෝත්‍රික සංකල්පයක් සමාජගත කරනවා. මේ සංකල්පවලට වඩා විශ්ව මානව සංකල්පයක් ගැන කතා කරන්න කලාකරුවන් ලෙස අපිට කිසියම් වගකීමක් තිබෙනවා. ඒ නිසා මං කල්පනා කළා රළු ලෙස දේශපාලනිකව එය කතා කරනවට වඩා සාහිත්‍යය කලාව තුළින් මැදිහත්විය හැකියි කියලා.

 

මේ මොහොතේ ලංකාවේ සිදුවන සාහිත්‍යකරණය හා එය වැලඳ ගන්නා පාඨකාගාරය සමග මේ කතිකාවත ගොඩනගන්න පුළුවන්ද?

මට දැන් අවුරැදු 68ක් වෙනවා. එක්දහස් නවසිය හැත්තෑව අසූව දශකය කියන්නේ හරිම සුන්දර දශකයක්. ඒ කාලේ ඉතාම හොඳ ප්‍රබුද්ධ සාහිත්‍යමය, කලාමය වටපිටාවක් පැවතුණා. ඒ ප්‍රබුද්ධ සමාජය බිඳවැටී ජාතිවාදී ප්‍රශ්නයක් මතුවුණේ ඇයි ? සමාජය ඉදිරියටනේ යන්න ඕන. හැත්තෑව දශකයේදී ඇති වූ මහා ප්‍රබුද්ධ පිබිදීම බිඳ වැටීමක් මම දකිනවා. ඒ බිඳ වැටීම සිදුවුණේ දේශපාලනය හරහා ජාතිවාදය සමාජගත කිරීම තුළයි. දේශපාලනඥයන් බලය ලබා ගැනීමයට කෙටිම මාර්ගය ලෙස ජාතිවාදය භාවිතා කරනවා. එය අපේ රටේ ඉතාම ඛේදජනක තත්ත්වයක්. මේ යතාර්ථය සාකච්චජා කරන්න පුළුවන්ද කියලා හිත හිත ඉන්නවාට වඩා උත්සහ කරන එක හොඳයි කියලායි මම හිතන්නේ. ටොල්ස්ටෝයි, දොස්තෝස්කිලා ග්‍රන්ථ රචනා කරද්දී රුසියන් විප්ලවයක් ගැන හිතුවේ නැහැ. අනාගතයේ විප්ලවයක් ඇතිවෙයි කියලා දන්නේවත් නැහැ. නමුත් ඔවුන් ඒ සමාජයේ තිබ්බ පීඩාකාරීත්වය ගැන ලිව්වා. ඒ ලිවීමම අවසන විප්ලවයට හේතු කාරක වුණා. එහෙම අනාගත විප්ලව බලාපොරොත්තු නැතුව කලාකරුවා තමන්ගේ වගකීම කරන්න ඕන කියලායි මම හිතන්නේ. මේ යුගයේ සියලු කලාකරුවන්, සාහිත්‍යකරුවන් වගේම උගතුන්ගෙත් වගකීම විය යුත්තේ ලංකාවේ පවතින මිත්‍යාව හා ජාතිවාදයට එරෙහිව කටයුතු කිරීමයි. එවැනි සමාජයක මානසික මතවාදයක් ගොඩනැගීමයි.

 

මේ මතවාදය ගොඩ නැගීමට නවකතාවට පිවිසුමට පෙර ඔබ ග්‍රන්ථය තුළ දෘෂ්ටිවාදය ගැන දීර්ඝව සඳහන් කරනවා. මෙය සිදුවුණේ සංස්කෘතියට බය නිසාද? විචාරකයන්ට බය නිසාද?

නැහැ එහෙම දෙයක් නෙමෙයි. මෙය ග්‍රන්ථයේ අවසානයට එය එකතු කරන්න තමයි මම හිතාගෙන හිටියේ. මෙන්න මේ කතාවෙන් කියවෙන දර්ශනය මෙයයි කියලා එවිට කියන්න තිබුණා. නමුත් මෙයටත් වඩා වැඩි කම්පනයක් මෙය පොතේ මුලින් එකතු කළ විට ලැබෙයි කියලා හිතලා තමයි මුලින්ම යෙදුවේ. ඒ උපක්‍රමය සාර්ථකද දන්නේ නැහැ. එහි ආකෘතිමය ප්‍රශ්නයක් තිබෙන්නේ. මෙම සමාජ සමස්තය තුළ තිබෙන්නා වූ දුර්භාග්‍ය තත්ත්වය පිළිබඳ ඇති වූ දැඩි කම්පනය නිසා තමයි මම එය රචනා කළේ. මම තදින්ම යෝජනා කරන්නේ උප්පැන්න සහතිකය අවශ්‍ය නැහැ කියලායි. උප්පැන්න සහතිකය කියන්නේ මේ සමාජය බෙදන භයානක ලියවිල්ලක්. වාසගම කියන්නේ කුලය. ජාතිය ආගම අහනවා. මේ දෙයින් තමයි සමාජය බෙදා තිබෙන්නේ. ඒ කාරණාව මට තදින්ම කියන්න ඕන නිසායි මම ලිව්වේ. විචාරකයාට, පාඨකයාට එය ඕන විදිහකට විවේචනය කරන්න ඉඩ තිබෙනවා. මගේ ඇතුළාන්තයේ තිබෙන කම්පනය සාහිත්‍යමය ආකාරයෙන් දැක්වීම තමයි මම සිදුකළේ. අද සමස්ත සමාජයේම පැතිකඩක් අරන් බැලුවහොත්,ත්‍රිකෝණයක් ලෙස ගතහොත් එහි මුදුනත එතරම් පළල නැහැ. හීනියි පතුළ මහතයි. සමස්ත සමාජයේ බහුතරයක් මේ ජනතාව වැලඳ ගන්නේ නැහැ. නමුත් ඒ ජනතාව මෙහෙයවිය හැකි බලය තිබෙන්නේ ඊට ඉහළ ස්ථරයේ සිටින ඊට වඩා කුඩා ප්‍රමාණයක් ඉන්න උගත් මධ්‍යම පන්තිය තුළයි. මේ උගත් මධ්‍යයම පන්තිය ඇත්ත වශයෙන්ම මෙය වැලඳ ගන්නවා. අලුතින් යමක් ලබා දුන් සැණින් එය වැලඳ ගන්නා විශාල උගත් ප්‍රබුද්ද ජනතාවක් ඉන්නවා. සමාජය මෙහෙයවීමේ ගාමක බලවේගය වන්නේ ඔවුන්.

 

බුද්ධ දර්ශනයත්, මාක්ස්වාදයත් යම් මට්ටමකින් මේ ග්‍රන්ථය හරහා සාකච්ජා කරන්න උත්සහ දරනවා?

මගේ පෞද්ගලික ජීවිතය අත්දැකීමෙන් මෙය පටන් ගන්නේ. මෙහි සිටින හිඟන්නාගේ චරිතය යථා ලෝකය තුළ පවතින චරිතයක්. මම උසස් පෙළ කරන කාලයේදී ඔහු මට හමුවුණා. මගේ සිතුවිලි වෙනස් කරන්න ඔහු ලොකු බලපෑමක් කරා කියන දේ ඇත්ත. ඔහු නිදහස්කාමී මතවාදයක් ගොඩ නැගුවා. අපි කුඩා කල සිට බෞද්ධ අධ්‍යාත්මය තුළ තිබෙන්නේ බොහෝ දේවල් අත්හැර නිවීම, සැනසීම හා පුළුල් දැක්මක්. මෙන්න මේ දේ තුළ තන්ණාව, ජාතිවාදය, ග්‍රෝත්‍රවාදය ඒ තුළ නැහැ.මම එය හිඟන පුද්ගලයා තුළින් දැක්කා. මම එය වැලඳ ගන්නේ බෞද්ධ මුහුණුවරත් එක්ක. වඩා වටිනා චරිතයන් ලෙස මට පෙනන්නේ, දකින්නේ බොහොම සතුටින් ජීවත්වෙන චරිත. හොඳ චරිත මට පේනවා. මමත් එවැනි කෙනෙක්. සරල ජීවිතය තුළින් මම ලොකු සන්තෘෂ්ටියක් ලබනවා. මම හිතනවා මෙය කියවන්නා තුළත් එවැනි සන්තෘෂ්ටියක් ඇතිවෙයි කියලා. මෙලෙස සියලු දෘෂ්ටින් අත්හැර විශ්ව සමාජයක් ගොඩ නැගීම තමයි බුදුන්ගේ දර්ශනය තුළත් තිබෙන්නේ. මාක්ස්වාදය තුළත් තිබෙන්නේ එයයි. මම එයට කියන්නේ විශ්ව සමාජයක් කියලා. අනාගත ලෝකයට අවශ්‍ය මතවාදය ගොඩනැගිය යුතුයි කියලා මම හිතනවා. අනාගත ලෝකයේ එකම භාෂාවක් වෙනවා නම් එය හොඳ තත්ත්වයක්. දේශ සීමා මායිම් වෙනස්ව එක රටක් බවට පත්වෙනවා නම් එය තමයි මගේ පැතුම.

 

‘පිටස්තරයෝ’ නවකතාව සමාජගත වන ආකාරය ගැන කතා කළොත්?

කොළඔ තමයි මේ එළිදැක්වීම සිදුවෙන්නේ. මේ කටයුතු සංවිධානය කිරීමේ කාර්යය මගේ මිතුරු කණ්ඩායම විසින් සිදුකරනවා. ඒ හැත්තෑ එකේ කැරැල්ලට හසුව මා සමග සිපිරි ගෙදර හිටපු මිතුරු සමාජය. හැත්තෑ එකේ සහෝදරත්ව සංසදය තමයි මෙය සිදුකරන්නේ. ඒ සහෝදරත්වයේ බැඳීම අප තුළ තවම තිබෙනවා. මගේ ජීවිතයේ බොහෝ කාලයක් ගතවුණේ චිත්‍ර කලාව එක්ක. මේ කලාව තුළින් පුළුල් සමාජයට තිබෙන ආත්මාර්ථකාමී කුහකකමින් තොර තත්ත්වය ගොඩ නැගුවා. චිත්‍ර කලාවේ නියැළෙන්නෙක් හා චිත්‍ර කලා අධ්‍යාපනඥයෙකු ලෙස වසර හතළිහක් පමණ මම කටයුතු කර තිබෙනවා. මම මුදල් උපයන පරමාර්ථයෙන්ම චිත්‍රය භාවිතා කරන්නේ නැහැ. සමාජ යහපත වෙනුවෙන් තමයි එය සිදුකරන්නේ. සමස්ත ලංකා චිත්‍ර කලා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයත් අවුරුදු 18 පරණයි. සෝලියස් මෙන්දිස් පදනම දැන් වසර පහළොවක් පරණයි. පුළුල් බහුජන සේවාවක් තමයි මේ තුළින් සිදුකරන්නේ. මගේ කලාව භාවිතා වෙන්නේ ඒ වෙනුවෙන්. ජීවත්වන කෙටි කාලය තුළ උසස් පරමාර්ථයකින් ජීවත්වෙලා මිය යන්න තමයි බලාපොරොත්තුව වෙන්නේ. මේ එහි එක් පියවරක්. මේ පොත එළිදක්වන දිනට සහභාගි වන ලෙස හැම කෙනෙකුටම මම ආරාධනා කරනවා.

 

නිදුක් මදුෂික