'අපේ ආදරේ' ජනප්‍රියම ටෙලිනාට්‍ය බවට පත්වුනේ එහි නිෂ්පාදන ප්‍රමිතිය සමග එක් වූ අන්තර්ගතය නිසයි



2018-09-12-ent-17

අනුරාධපුර උපුල්විල ග්‍රාමයේ හැදී වැඩුණු ඔහු මූලික අධ්‍යන කටයුතු උපුල්විල කනිටු විදුහලෙන් හා හොරොව්පතාන මහ විදුහලෙන් නිම කළේය. භෞතික විද්‍යා අංශයෙන් අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයෙන් උසස් පෙළ නිමකළ ඔහු මේ වන විට නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙස කටයුතු කරයි. ඔහු නමින් හේරත් වර්ණකුලසූරියයි. මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නාට්‍යය බවට පත් වූ අපේ ආදරේ නාට්‍යය ඔහුගේ නිෂ්පාදන කාර්යකි. මේ කතා බහ ඔහු සමගය.

 

ඔබට නිෂ්පාදකයෙකු ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණ ආකාරය පිළිබඳ මුලින්ම කතා කළොත්?2018-09-12-ent-20

මම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරියෙකු ලෙස කාලයක් කටයුතු කළා. පසුව එහි කළමණාකරු ලෙස කටයුතු කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම එප්පාවල රාජ්‍ය පොස්පේට් සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළා. නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්න හැකියාව ලැබුණා. මේ දේවල්වලින් පස්සේ තමයි මම නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කරන්න යොමු වුණේ. මේ වන විට වේදිකා නාට්‍යය හා ටෙලිනාට්‍යය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනවා.

 

ඔබ නිෂ්පාදනයෙන් දායක වී ඇති නිර්මාණ ගැන කතා කළොත්?

වෙලාවකට පිස්සු වගේ, කියන්නේ මම නිෂ්පාදනයෙන් දායක වුණ පළමු වේදිකා නාට්‍යය නිර්මාණය. ඒ වගේම මෙවර රාජ්‍යය නාට්‍යය උළෙලේ සම්මාන කිහිපයකට පාත්‍රවූ ‘චච්දරී’ මම නිෂ්පාදනයෙන් දායක වු දෙවැනි වේදිකා නාට්‍යය නිර්මාණයයි. මේ නාට්‍යය ඉන්දියා ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා නිර්දේශවෙලා තිබෙනවා. ටෙලිනාට්‍යය ගත්තොත් මේ වෙද්දී මම ටෙලිනාට්‍ය හතරක් නිෂ්පාදනය කරලා තියනවා.

ස්වාධීන රෑපවාහිනී සේවයේ විකාශය වූ ‘පිනි මුතු වැස්සේ’,මගේ පළමු ටෙලිනාට්‍ය නිෂ්පාදනයයි. 2014 වසරේදී වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යය ලෙස රයිගම් සම්මාන උළෙලේදී ඒ නාට්‍යය සම්මාන ලබා ගත්තා. සිරස නාළිකාවේ විකාශය වූ ‘ආදරේ සුවද අරන්’ මාගේ දෙවැනි ටෙලිනාට්‍යය නිෂ්පාදනයයි. තෙවැනි ටෙලිනාට්‍ය ලෙස සියත නාළිකාවේ විකාශය වූ අපේ ආදරේ නාට්‍යයට නිෂ්පාදනයෙන් දායක වුණා. මගේ සිවුවැනි ටෙලිනාට්‍යය නිෂ්පාදනය සීගිරි ගල පසුබිම් කරගෙන නිර්මාණය කර ඇති අතර ,එය විකාශය වීමට නියමිතයි

 

මෙවර ජනප්‍රියම ටෙලිනාට්‍යය බවට පත් වූ අපේ ආදරේ ටෙලිනාට්‍යය ගැන කතා කළොත්?

මෙය සාම්ප්‍රදායික මෙගා ටෙලිනාට්‍යවලට වඩා වෙනස් මුහුණුවරක් ගන්නේ. ඒකට හේතුව එහි තිබෙන නිෂ්පාදන ප්‍රමිතිය සමග එක් වූ අන්තර්ගතයයි. ගම,නගරය,දේශපාලනය,අධ්‍යාත්මික භාවනා ක්‍රම,සටන් කලාවන්,රුඩිකල් සිතුම් පැතුම් සහිත තරුණ පරපුර, සාම්ප්‍රදායික ආදරය, පාතාල ගැටුම් යන පුලුල් ක්ෂේත්‍රයක් පුරා මේ කතාව විහිදී තිබෙනවා.

පිටිසර ගමක සිංහල සංස්කෘතිය මුල් බැසගත්,දුප්පත් පවුලක ගැහැනු දරුවෙකුට ආදරය කරන කෙළිලොල් ඇමති පුතෙක්. ඒ ආදරයට හරස්වන ඇමතිවරයෙක්. ඒ මැර බලය හරහා දැඩි ප්‍රහාරයට ලක්වන අහිංසක ගැමි පවුලක්, ප්‍රහාරයන්ට එරෙහිව සටන් වදින අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කළ තරුණයෙක්. මෙම තරුණයාට ආදරය කරන නගරයේ තරුණියන් දෙදෙනෙක්. ආදී පරාසයන් වටා මෙම කතාව දිව යනවා. ඒ වගේම මෙවැනි සාර්ථක නාට්‍යයක් සියත ටිවී නාළිකාවේ විකාශනයට තෝරා ගැනීම එම පාලනාධිකාරිය ලැබූ ජයග්‍රහණයක්.

 

මෙම ටෙලිනාට්‍යය ජනප්‍රියම ටෙලිනාට්‍යය බවට පත්වීමට හේතුවු කාරණාව ලෙස ඔබ දකින්නේ මොකක්ද?

ලක්ෂ්මන්ගේ ප්‍රබල කතා පිටපත හා තිර රචනය, ජනක චමින්ද අත්තනායකගේ අත්දැකීම් බහුල ප්‍රවීණත්වයෙන් යුත් කැමරා හැසිරවීම හා අධ්‍යක්ෂණය, අසුන් මල්වත්ත වැනි ප්‍රමුඛ පෙළේ සංස්කාරකවරයෙකුගේ සංස්කරණය මෙම නිර්මාණය ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන්න ලොකු හේතුවක් බවට පත්වුණා. ටෙලි දෙපැය තුළ දේශීය නාට්‍යය පමණක් විකාශනය කරන නිසාම සියත නාළිකාව කෙරෙහි විශේෂ ඇල්මක් ප්‍රේක්ෂකයා තුළ පවතිනවා. මනාප හයලක්ෂ පනස්දහසකට ආසන්න ප්‍රමාණයක් ලබාගැනීම තුළින් ප්‍රේක්ෂක හද බැඳගත් නිසාම මම හිතන්නේ මෙය සාර්ථක නිර්මාණයක් කියලා

 

ඔබට මෙහිදී මතක් කළ යුතු පිරිසක් ඇති?

මෙම ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වන අමිල අබේසේකර, හර්ෂණ බෙත්මගේ, වොල්ගා කල්පනී, කාවිංග පෙරේරා, දුල්මිණ සදීප හේරත්, ඉමායා ලියනගේ, දිස්නි රාජපක්ෂ, ඉෂාන් මෙන්ඩිස්, ජනක් ප්‍රේමලාල්, පවිත්‍රා වික්‍රමසිංහ, ගාමිණී හෙට්ටිආරච්චි, ලක්ෂ්මන් අමරසේකර ඇතුළු රංගන ශිල්පීන් සේම කාර්මික ශිල්පීන්ද, සියත ආයතනයේ සභාපතිතුමා, විධායක අධ්‍යක්ෂක අනුර සිරිවර්ධන, අධ්‍යක්ෂක මණ්ඩලය හා කාර්යය මණ්ඩලය, මේ නිර්මාණයට දායක වූ හැමදෙනාම වගේම මේ නිර්මාණය ජනප්‍රියම නිර්මාණය බවට පත්කළ ප්‍රේක්ෂකයන්ටත් මෙහිදී මම ස්තූතිවන්ත වෙනවා.

 

නිදුක් මධුෂික

 

2018-09-12-ent-15 2018-09-12-ent-16  2018-09-12-ent-18 2018-09-12-ent-19  2018-09-12-ent-21 2018-09-12-ent-22