අප්පච්චිගේ සින්දු දැන් මගේ



2018-09-14-ent-04

70 දශකය යනු ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රය ස්වර්ණමය යුගයක් කරා ඔසවා තැබූ කාල පරිච්ඡේදයක්. සිනමා ක්ෂේත්‍රය සේම සංගීත ක්ෂේත්‍රය ද විශාල පිබිදීමකට ලක්වූ එම කාල පරාසය තුළ සුවිශාල රසික රසිකාවියන්ගේ ආදරයට හා ප්‍රසාදයට පාත්‍ර වූ එක් අපූර්ව කටහඬක් ද බිහිවිය.

හදවත ඉල්ලා නොලැබුණු විටදී, දිය ගලනා උල්පත්, මව වටා ගැයුණු ඔහුගේ මිහිරි මී වගේ දැනුණු ගීතවල රහ ඉකි බිඳින සිත් දස අහස් ගණනක් සුවපත් කරන්නට ඇතිද? දශක පහකට ආසන්න කාලයක් පුරා ප්‍රියා සූරියසේන තරම් ආදරේ කියූ කිසිවකු නැති තරම්ය. ‘හදසර’ හා දොඩමළු වෙන්නට අපි ඔහු සොයා ගියෙමු.

 

මේ දිනවල ඔබට විදෙස් සංචාර වැඩියි කියලා ආරංචියි?2018-09-14-ent-05

ඇත්තටම කියනවානම් ඔව්.. ඉඩකඩ ලැබෙන විදිහට මෙහෙ ප්‍රසංගවලට සහභාගී වෙනවා. සැප්තැම්බර් 7 වැනිදා සිට10 දක්වා මම ජපානයේ ප්‍රසංග කීපයකට සහභාගී වෙනවා. නැවත 22 ඕස්ට්‍රේලියානු සංචාරයක් තියෙනවා. ඉන් පසු ඩුබායි. අබුඩාබි හා කැනඩාවලිනුත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් දින වකවානු තාම ස්ථිර වෙලා නැහැ. 70 හා 80 දශකවල අපේ ගීත රසවිඳපු බොහෝ අය ඒ රටවල්වල ඉන්නවා. අපේ පරණ ගීත තාමත් ඒ අයගේ මතකේ තියෙනවා. එදා තිබුණ ඉල්ලුම මට අදත් තියෙනවා. විදෙස් සංචාර බාර ගනිද්දි මම ලොකු මුදල් බලාගෙන සංවිධායකවරු අපහසුතාවයට පත් කරන්නේ නැහැ. ඒත් මගේ රසික රසිකාවියන් පිනවීමේදී මගේ උපරිමය ලබා දෙනවා.

 

ඔබ කැසට්, සීඩී විශාල ගණනාවක් එළිදක්වලා තියෙනවා නේද?

මගේ මුල්ම කැසට් පටය නිකුත් කළේ විජය රාමනායකගේ ‘තරංගා’ ලේබල් එක යටතේ. මගේ මුල්ම ගුවන් විදුලි ගීතය පටිගත කළේ 1968 වසරේදී.

 

ඒ කියන්නේ ඔබේ සංගීත දිවියට අවුරුදු 50ක් පිරෙනවා. තාමත් ඔබේ ඒක පුද්ගල ප්‍රසංගයක් නොකළේ ඇයි?

එහෙම ප්‍රසංගයක් කරන්න කීපදෙනෙක් මට කතා කළා. සමහර සංවිධායකවරුත් යෝජනා කළා. ඒත් ඒවා හරි පිළිවෙළකට ආවේ නැහැ. මගේ පුතා වසර 6ක් විතර උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගතවෙලා හිටියා. ඔහු දැන් ටික කලකට මෙහෙ ඇවිත් ඉන්නේ. ඔහු මූලික වෙලා මගේ ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න අදහසක් තියෙනවා. ඒ සඳහා අනුග්‍රහය දක්වන්න කීපදෙනෙක් එකතු කරන්න දැන් උත්සාහ කරන්න ඕනේ.

 

පුතාටත් හොඳ ගායන හැකියාවක් තිබෙනවා නේද?

පුතා ලක්ෂිත ඉගෙනගත්තේ ආනන්ද විදුහලේ. ලයනල් රන්වල ශූරීන්ගෙන් සංගීතය ඉගෙන ගත්තා. දැන් ඉංජිනේරු අංශයෙන් ඉහළටම ඉගෙනගෙන මෙහෙ ඇවිත් ඉන්නේ. මට ලක්ෂිත පුතයි දුවලා තුන්දෙනයි ඉන්නේ. ඒ හතරදෙනාටම හොඳට සින්දු කියන්න පුළුවන්. මගේ විතරක් නෙවෙයි, ඕනෙම සින්දුවක් කියනවා. සිංහලද, ඉංග්‍රීසිද, හින්දිද කියලා නැහැ. මගේ ලොකු දූ මිනෝෂි වෛද්‍යවරියක්. ඊළඟ දූ ඉරෝෂි පෞද්ගලික බැංකුවක කළමනාකාරීවරියක්. බාලම දූ ගයාෂි කළමනාකාරීත්ව උපාධියක් හදාරනවා. මම ඒ හතරදෙනාව අධ්‍යාපනය පැත්තට තමයි යොමු කළේ. සංගීතය කොහොමත් පිහිටන එකනේ. මගේ බිරිඳ තමරා කුමාරිත් සංගීත ගුරුවරියක්.

 

අද අප රටේ වර්තමාන සංගීත ක්ෂේත්‍රය ගැන මොනවද හිතෙන්නේ?

වර්තමානයේ අපට සෑහෙන්න දක්ෂ ගායක ගායිකාවෝ ඉන්නවා. නමුත් හුඟ දෙනෙක් කියන්නේ අනිත් ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සින්දුනේ. ආධුනික වැඩසටහන්, රෑපවාහිනී වැඩසටහන්, රියැලිටි තරගවල ඒ ගීත කිව්වට කමක් නැහැ. ඒත් ඊටපස්සේ ඒ ගීත තුළින්ම වේදිකාවට ගිහිනුත් ජනප්‍රිය වෙන්න බලන එකයි වැරුද්ද. එහෙම කරලා ලොකු මුදලක් හම්බකරලා තැනකට ආවම තමන්ගෙම ඔරිජිනල් සින්දු ටිකක් කරන්න ඕනේ. එහෙම කළොත් තමයි එගොල්ලන්ට පැවැත්මක් තියෙන්නේ. අනුන්ගේ සින්දු කිය කිය හැමදාම ඉන්න බැහැනේ. අපිත් ක්ෂේත්‍රයට අලුතින් ආපු කාලේ ජෝතිපාල, මොහිදින් බෙග්, එම්. එස්. ප්‍රනාන්දු, මිල්ටන් පෙරේරා වගේ ප්‍රවීණයන්ගේ සින්දු කිව්වා. අපි ඒක හැමදාම කියලා තිබුණා නම් ඒගොල්ලන්ට, ඒගොල්ලන්ගේ දරුවන්ට මොකද වෙන්නේ?

 

ඔබේ අනන්‍යතාවය හදාගන්න එදා ඔබ හොඳ ගීත නිර්මාණ බිහි කළා?

ඒ දවස්වල අපේ වාසනාවට අපට හොඳ ගී පද රචකය‍න් හම්බවුණා. ප්‍රේමකීර්ති ද අල්විස්, කරුණාරත්න අබේසේකර, කේ. ඩී. කේ. ධර්මවර්ධන, අජන්තා රණසිංහ වැනි කෘතහස්ත ගී පද රචකයෝ තමයි අපට ගීත ප්‍රබන්ධ කළේ. ඒ කාලේ අපි සින්දු පටිගත කළේ සජීවීව වාදක මඩුල්ලක් එක්ක. ඒ කාලේ තිබුණේ එකම ගුවන් විදුලිය විතරයි. සරල ගී පරීක්ෂණය සමත් වෙලා තමයි ගුවන් විදුලියේ ගීතයක් ගායනා කරන්න වරම් ලැබෙන්නේ. අපි සරල ගී නිර්මාණ කරන්න සෑහෙන්න කැපවුණා. ආවට ගියාට සින්දු කියන්න පුළුවන්කමක් එදා තිබුණෙ නෑ. බිඟු වැලපිලා, සරතැස් නිවා, හෙට දවසේ වගේ ගීත මම මුල් කාලේ සරල ගී වැඩසටහන්වලට ගායනා කළේ. අපේ ප්‍රවීණ ගායක ගායිකාවන් එදා ගායනා කරපු ගීත එදා වගේම අදටත් අපි රස විඳින්නේ ඒ නිර්මාණ ඒ ශිල්පීන් ශිල්පිණියන් හරියාකාරව කැපවීමෙන්, මහන්සියෙන් කරලා තිබුණ නිසයි.

 

ලක්ෂිත සූරියසේන

ලක්ෂිත සූරියසේන ප්‍රියා සූරියසේනගේ පුතා. "පුතෙක් හිටියද? අපි දන්නෙත් නැහැ" කියලා සමහරු කියනවා. තාත්තාගෙම කටහඬ.

ඔන්න අද අපි ප්‍රියාගේ පුතාවත් කතාවට ඇදගත්තා.

"මට සංගීතය ගැන ආසාවක් ඇතිවුණේ අපේ ගෙදර පරිසරයත් එක්ක. ඒ වාතාවරණය මැද තමයි අපි හැදුනෙ වැඩුනේ. අප්පච්චි විශේෂ පුද්ගලයෙක් කියලා පොඩි කාලෙම මට තේරුණා.

මම වෘත්තියෙන් ඉංජිනේරු විෂය හදාරපු කෙනෙක්. අමෙරිකාවේ විශ්ව විද්‍යාල දෙකකින් උපාධි දෙකක් හා ආචාර්ය උපාධියක් ද ලබාගෙන මම අවුරුදු හයකට පස්සේ ලංකාවට ආවේ. මේ පාර ටික කාලයක් ඉඳලා යනවා.

අප්පච්චි කවදාවත් අපට සංගීතය පැත්තට යන්න බල කළේ නැහැ. මොකක්හරි අපි කැමති ක්ෂේත්‍රයක් තෝරගන්න අපට නිදහස දුන්නා. ඒ වුණාට මටයි මගේ සහෝදරියන් තුන්දෙනාටම සින්දු කියන්න පුළුවන්.

 

ඔබ ගීත කීපයක් ගායනා කරලා තියෙනවා නේද?

ඔව්. මම මුලින්ම කිව්වේ අප්පච්චිගේ ‘සිහින විජිතේ’ රීමික්ස් එකක්. ඉන් පස්සේ කළා ‘ආදරවන්තී’ කියලා මගේම සින්දුවක්. තාත්තාගේ තනුවට පද රචනය කළේ මම. සංගීතය නිර්මාණය කළේ තිළිණ රුහුණගේ. ඒ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. රෑපවාහිනී නාලිකාවලිනුත් මට කතා කළා. හැබැයි ඉතින් අප්පච්චිගේ සින්දුවලට තමයි ඉල්ලුම වැඩි. මම ඉගෙනගත්තු දෙයින් මගේ රටට තාක්ෂණ අංශයෙන් හා අධ්‍යයන අංශයෙන් දායකත්වයක් ලබා දෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. සංගීතය මගේ විනෝදාංශයක් වේවි. ඒත් ඒ තුළින් යම් ජනප්‍රියත්වයක් ලැබුණොත් එය මගේ වෘත්තියේ අභිවෘද්ධිය සඳහා පාවිච්චි කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ වගේම අප්පච්චිගේ සින්දු ආරක්ෂා කිරීමත් මගේ වගකීමක් වෙනවා. අප්පච්චිගේ සින්දු අවසරයක් නැතුව වෙන අය ගායනා කරන රුල්ලකුත් තියනවානේ. මට කරන්න තියෙන එකම ඉල්ලීම තමයි &අප්පච්චිගේ ගීත විකෘති කරලා වේදිකාවල කියන්න එපා. මොකද අප්පච්චි තාම හොඳට සින්දු කියනවා. ඉස්සරහට මම ඉන්නවා."