මම ගුවන් විදුලි නිවේදිකාවක් වෙන්න කලින් තමයි කවි රචනා කරන්න යොමුවෙලා හිටියේ



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-09-19-ent-07

මාතර සුජාතා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය නිවේදිකාවක ලෙස රුහුණු සේවය හා සම්බන්ධ වන්නේය. ඉන් පසුව දිගු කාලයක් නිවේදිකාවක ලෙස ගුවන් විදුලි මාධ්‍යය ක්ෂේත්‍රයේ ඇය කටයුතු කරන අතර, ‘සවන’ (ශ්‍රී එෆ් එම්) ‘සිරස එෆ් එම්’ ,’වයි එෆ් එම්’ වැනි ගුවන් විදුලි නාළිකා කිහිපයකම ශ්‍රාවක ආකර්ෂණය ලත් වැඩසටහන් ඇය විසින් ඉදිරිපත් කර තිබේ.

මේ වන විට ඇය විසින් නෙත් එෆ් එම් නාළිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන අතර, එම නාළිකාවේ සති අන්ත වැඩසටහන් කළමනාකාරීනිය වන්නේද ඇයයි. ඇය නමින් තරංගා නානායක්කාරය. ඇය විසින් රචනා කරන ලද ‘කොළඹ වැස්ස නම් ග්‍රන්ථය මෙම මස විසිවැනිදා සවස 4.00ට මහවැලි කේන්ද්‍රයේදී ජනගත වීමට නියමිතය. මේ පිළිබඳව කතාබහ කිරීමට ඇය අප හා මෙලෙස එක්විය.

 

නිවේදිකාවක් ලෙස බොහෝ කල් කටයුතු කරන ඔබට කවිය සමීප වෙන්නේ කොහොමද?2018-09-19-ent-09

මම ගුවන් විදුලි නිවේදිකාවක් වෙන්න කලින් තමයි කවි රචනා කරන්න යොමුවෙලා හිටියේ. ඒක කියව්වේ ඒ කවි ගැන දන්නේ මගේ තාත්තා. පාසල් යන කාලේ මිතුරන්ට, මිතුරන්ගේ ආදරය වෙනුවෙන් ඔවුන්ව නියෝජනය කරමින් කවි ලිව්වේ මම. මම ගීතයට කවියට ලොකු කැමැත්තක් දැක්වූ කෙනෙක්. නමුත් මාව හඳුනා ගන්නේ නිවේදිකාවක් ලෙස.

 

මෙලෙස නිහඩව කවි රචනා සිදුවුණත් එය කවි පොතක් ලෙස සමාජගත කරන්න බොහෝ කල්ගත වෙනවා?

මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කිරීම විශාල කැපකිරීමක් සමග කරන්න සිද්ධ වෙන දෙයක්. ඒ නිසා අතිශය කාර්යය බහුල වුණා. මම පාසල් ගමන අවසන් වූ ගමන්ම වගේ තමයි වෘත්තීය වශයෙන් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කටයුතු කරන්න ලැබුණේ. මේ වෘත්තිය කැමැත්තෙන්ම කළා. ඒ වගේම මට ලැබුණ බොහෝ වැඩසටහන් අතර, කවීත්වයට සමාන වචන හසුරවන්න පුළුවන්කම තිබුණ නිසා කවි රචනා කළේ නැහැ කියන එකේ අඩුව දැනුනේ නැහැ. සිරස එෆ් එම් නාළිකාවෙන් ඉවත්වී නෙත් එෆ් එම් හා එක්වීමත් එක්ක,මගේ මාධ්‍ය ජීවිතයේ තව ගමනක් තිබෙනවා කියන කාරණය මට දැනෙන්න ගත්තා. බොහෝ දෙනෙක් කවි රචනා කරන්න කියලා කිව්වා. මගේ අත්දැකීම් එක්ක මම ලිව්ව කවි පොතක් කරන්න හොඳම කාලය මේක කියලා හිතුවා. මේ වෙද්දී ජීවිතේ තරමක් පරිපූර්ණ වෙලා. ඒ නිසා පාසල් කාලේ කවි රචනා කළාට වඩා තරමක් වෙනස් දෙයක් කරන්න පුළුවන් කියලා මම හිතුවා.

 

එලෙස සමාජගත වන ‘කොළඹ වැස්ස’ කවි පොත ගැන කතා කළොත්?

මෙය ආඛ්‍යාන ස්වරූපයෙන් රචනා කළේ. මම හයිකු කවි කියවන්න ආසාවක් දක්වනවා. මම මහගම සේකරගේ රචනාවලට කැමතියි. ඒ වගේම ඕෂෝගේ දර්ශනයට කැමතියි. ඒ නිසාම ඕෂෝගේ දර්ශනය තුළ තිබෙන කොන්දේසි විරහිත ආදරය කියන කාරණය මට දැනෙනවා. මේ මානව සමාජය තුළ ප්‍රායෝගිකව කරන්න අපහසු වුණත් ,එය හරි සුන්දරයි. ආදරය ගැන ලියන්න කියන්න මම ගොඩක් කැමතියි. ආදරය කියන දේ කොටු වෙන්නේ ප්‍රේමවන්තයාගේ, ප්‍රේමවන්තිය අතර තිබෙන හිඩැසට විතරක් නෙමෙයි. අහසට ළඟ වගේ පේන උස් බිල්ඩිමක් ගත්තත් ඒ හිඩස තුළ ආදරය තිබෙනවා. ඒ නිසා මේ විෂය පුළුල්. ඒ වෙනුවෙන් ලියන්න කතා කරන්න මම කැමතියි. මම ඒ දේවල් විඳිනවා. ඒ වින්දනය මම ලියනවා

 

ඒ ලියන දේවල් සමාජගත කරන්න හොඳම මාධ්‍ය කවිය කියන තෝරා ගැනීම කළේ ඇයි?

මම කතා කරන, හිතන පතන ආකාරය සමාජ සම්බන්ධතාවයන් පැවැත්වීම ගැන ගත්තත් කව්‍යය භාවයක් තිබෙනවා කියලා මට දැනෙනවා. එයටම අනන්‍ය වූ භාෂා විලාශයක් මටම තිබෙනවා. ‘මලගිය ඇත්තෝ’ ‘මලවුන්ගේ අවුරුදු දා’ වැනි කෘතිවල හා ‘ගුරු ගීතයේ’ තිබෙන කාව්‍යවලට මම දැඩි ආසාවක් දැක්වුවා. මම හිතන්නේ මේ හැඟීම මේ මොහොතේ වඩා හොඳින් දෙන්න පුළුවන් කවියෙන් කියලා.

 

කොළඹ වැස්ස කවි පොත එළිදැක්වීම ගැන කතා කළොත්?

කොළඹ වැස්ස කවි පොත එළිදැක්වීමේදී වසන්ත දුක්ගන්නාරාළ, කැලුම් ශ්‍රීමාල්, හංසමාලා රිටිගහපොළ ඇතුළු පිරිසක් එදිනට මේ ගැන කතා කරනවා. වැස්ස සම්බන්ධයෙන් ලියවුණ අපූරු ගීතාවලියක් මෙහිදී ඇසෙයි. මේ සඳහා මාව දිරිගන්වන, මට උදව් උපකාර කරන හැම දෙනාම ස්තුති වන්ත වෙනවා. මම කොළඹ වැස්ස කියවන්න කොළඹ වැස්ස එළිදක්වන මොහොත අත්විඳින්න හැම දෙනාටම ආරාධනා කරනවා.

 

නිදුක් මදුෂික

 

 2018-09-19-ent-08