'රටම බිඳ වැටිලා තියෙනකොට ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයත් බිඳ වැටෙන එක අහන්නත් දෙයක්ද?



Instagrame Youtubejhj-New Facebook Twitter

 2018-10-09-ent-23

වේදිකාව, ටෙලි නාට්‍යය හා සිනමාව යන කලා අංශයන් ත්‍රිත්වය හරහා රසික ආදරය දිනාගත් රොඩ්නි වර්ණකුල නම් ප්‍රවීණ කලාකරුවා අද වන විට කලාව තුළ යම් නිහඬ බවක් උසුලයි. ඒ පිළිබදව සහ වත්මන් වැඩකටයුතු සම්බන්ධව ඔහු සමග කතා බහ කිරීමට 'අද' අප සිතුවෙමු.

 

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මම වේදිකා නාට්‍ය ශිල්පියෙක් විදියට කළ පළවැනි වේදිකා නාට්‍යය වන ‘සාරංගා නැවෙන් ඇවිත්' වේදිකා නාට්‍යය නැවත ප්‍රතිනිෂ්පාදනය ලෙසින් ලබන නොවැම්බර් මාසයේ මංගල දර්ශනය පවත්වන්න කටයුතු කරමින් යනවා. ඒ නිසා මේ දිනවල එහි පුහුණුවීම් සිදුකරමින් පවතිනවා.2018-10-09-ent-22

 

ඇයි එම නාට්‍යය යළි ප්‍රතිනිෂ්පාදනය සිදුකරනු ලබන්නේ?

‘‘%සාරංගා නැවෙන් ඇවිත්’ වේදිකා නාට්‍යය 2003 වර්ෂයේ තමයි මුල් වතාවට වේදිකා ගතවෙන්නේ . ඊට වසර 15කට පස්සේ යළි ප්‍රතිනිෂ්පාදයක් සිදුකරන්නේ ඇත්තටම ගොඩක් දෙනෙක් මගෙන් කළ ඉල්ලීමකට අනුවයි . නොවැම්බර් මාසයේ මුල් දිනයක ටවර් රඟහලේ මෙය වේදිකා ගතකරන්නයි අදහස් කරලා තියෙන්නේ. මෙය හරි සෞන්දර්යාත්මකයි. මෙය ප්‍රතිනිෂ්පාදනය වෙන්න බලපෑ අනෙක් කරුණ තමයි අපේ පරමාර්ථය සමාජය යහපත් කිරීම වීම. සමාජය යහපත් වෙන්න නම් සමාජයට යහපත් රසිකයන් පිරිසක් පිරිනමන්න ඕන එයයි අපේ උත්සාහය.

 

නමුත් අද වෙද්දී වැඩිහිටියන්ට පමණයි වේදිකා නාට්‍යය පවා වේදිකාගත වෙනවා. ඔබ කියූ ලෙස යහපත් සමාජයක් බිහිකළ හැකි වෙයිද?

ලෝකේ එක එක ප්‍රවණතා තියෙනවා, වැඩිහිටියන්ට පමණයි වේදිකා නාට්‍යය තියෙනවා, නමුත් මෙය අපේ රටට ආගන්තුක දෙයක්. එතනට අපේ මනස, සිතුවිලි හැදිලා තියෙනවද කියලා ගැටලූවක් තියෙනවා. මම හිතනවා සියල්ලට කලින් එකිනෙකාට ගෞරව කිරීම වැදගත් වෙන්න ඕන. විනය කියන දේ අප තුළ ඇතිවෙන්න ඕන අපේ පරමාර්ථය යහපත් සමාජයක් බිහි කිරීමයි.

 

අද වෙනකොට ඔබ ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලාද ඉන්නේ ?

මම ටෙලිනාට්‍යවලට යන්නෙම නැහැ කිවුවොත් නිවැරදියි. එයට හේතුව අද මේ යන විදිහේ ටෙලි නාට්‍යවලට මම කැමති නැහැ. සතුටුදායක විදිහට යමන් කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. අපි කරන කොයි නිර්මාණයෙන් වුණත් සතුටක් තියන්න ඕන. ඒ නිසා මම වැඩිය උනන්දු නැහැ ටෙලි නාට්‍ය පැත්තට. වේදිකාව පැත්තට යොමුවෙලා ඉන්නවා. ඉතින් මම ඒ වැඩ ටික කරගෙන යනවා.

 

ප්‍රවීණයන් බොහොමයක් අද වනවිට ක්ෂේත්‍රයෙන් ඉවත්ව සිටිනවා. මෙය ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේ බිඳවැටීමක්ද?

අද වෙනකොට රටම කඩා වැටිලා. රටම බිඳ වැටිලා. රටම බිඳ වැටිලා තියෙනකොට ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයත් බිඳ වැටෙන එක අහන්නත් දෙයක්ද? රංගනයේ එක එක ප්‍රවණතා එනවා. දැන් සමහරු වේදිකා නාට්‍යයවලිනුත් ඈත් වෙලානේ. දුෂ්කරයි, හරි හමන් මුදල් ලැබෙන්නේ නැහැ, කාලය ගොඩක් නාස්ති වෙනවා වගේ දේවල් කියනවා. මේක කාලයත් එක්ක වෙන දෙයක්.

 

නවකයන්ගේ ආගමනය පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

අලුත් අය එනවා. ගොඩක් විශේෂයෙන් ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය ගත්තම ගොඩ දෙනෙක් මේක දකිනවා. ගොඩක් අය කැමති එක රැයින් ජනප්‍රිය වෙන්න. ඒ නිසා නවක අය එනවා. එතනින් සුළු පිරිසක් තමයි වේදිකාවට ගොඩවෙන්නේ. නමුත් කිසිම හැදෑරිමක්, දක්ෂතාවක් නැති එක රැයින් ජනප්‍රිය වෙන්න ආපු නවකයන් එළිය වැටුනට පස්සෙ අතුරුදහන් වෙලා තියෙනවා. ඒ නිසා යම් හැදෑරීමක් කරලා මොන ක්ෂේත්‍රයට වුණත් යොමු වෙන එක හොඳයි කියන එකයි මගේ අදහස.

 

නවකයන්ට තියෙන බරපතළ චෝදනවක් තමයි ප්‍රවීණයන්ට ගරු කරන්නෙ නැහැ කියන එක. ඔබත් මෙය පිළිගන්නවාද?

මේකත් හැම ක්ෂේත්‍රයටම පොදු දෙයක්, දෙමාපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට ගරු නොකරන තත්ත්වයක් තියෙනවා. මිනිසුන්ගේ වටිනාකම්වලට ගරු නොකරන තත්ත්වයක් තියෙනවා . ඇගයීමට වඩා තියෙන්නේ ගැරහීමයි එය මේ දේශපාලන ආර්ථික රාටාවේ හැටි .

 

වේදිකාව, ටෙලිනාට්‍යය හා සිනමාව ගත්තම ඔබ වඩාත් ප්‍රිය කරන්නේ මින් කුමකටද?

වේදිකාව අංක එක , එයට හේතුව මගේ පියා තියටර් නළුවෙක් වීම. තාත්තා ඒ දවස්වල වේදිකාවේ රඟපානවා මම දැක්කා. තාත්තට ලැබුන ඔල්වරසන් අද වගේ මතකයි. ඉතින් මමත් කැමති එහෙම නළුවෙක් වෙන්න. ටෙලි නාට්‍යවල මම නැති තරම්, සිනමා පටලවල ඉඳහිට හොඳ නිර්මාණයකට දායක වෙනවා. පසුගිය කාලයේ %අතුරු මිතුරු^ චිත්‍රපටියේ රඟපෑවා. ඉදිරියේ %ගින්දරී^ චිත්‍රපටියේ තවත් කොටසක් තුළින් හමුවේවි. නිර්මාණයක් කරන්න කලින් මම මුලින් බලන්නෙ මගේ සතුට, මොකද මගේ සතුට නැතුව රසිකයන්ගෙන් සතුටක් බලාපොරොත්තු වෙන්න බැහැ.

 

ජායාරූප සහ සටහන - මහේෂ් මලවරආරච්චි