තබ්ලාවෙන් දන්නෝ බුදුන්ගේ ගීතයේ අනුවාදනය වැයූ 'ප්‍රේමනාත්'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-06-ent-30

සංගීත ක්ෂේත්‍රයේ වැඩිකතාබහට ලක්වනුයේ ගායක ගායිකාවන් යැයි කිවහොත් එය මුසාවක් නොවේ. කිසියම් ගීතයකට කවුරුන් හෝ වාදනයෙන් දායකවුවත් ඒ කවුරුන්ද යන්න බොහෝ දෙනෙකු නොදන්නා අතර ඒ ගීතය තුළ වාදකයෙකු වයන වැයුමේ හැඩය පමණක් ඔහු හෝ ඇය පිළිබඳ යම් අදහසක් තබයි. ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ඔබ කොතරම් අසා ඇත්ද ජාතික ගීය හා සමාන හුරුවක් ඇති ඒ ගීතය තබ්ලාවෙන් වයන්නට යම් වාදකයෙකු ඉදිරිපත් වූවේ නම් එය කොතරම් අභියෝගයක් විය හැකිද?. නමුත් ඒ අභියෝගය බාරගෙන මුල්වරට තබ්ලාවෙන් ගීතයක අනුවාදනයක් ඉදිරිපත් කළ ප්‍රේමනාත් කොඩිතුවක්කු දැන් කෝ..? හමු වූ ප්‍රේමනාත් අපට කී නවතම තොරතුරුයි.

මම නිහඬ ඇයි කියලා හැමෝම අහනවා. ඇත්තෙන්ම මම නිහඬ නැහැ. අදටත් මම මගේ දවසෙන් වැඩි කාලයක් වැය කරන්නේ තබ්ලා පුහුණුවීම් කටයුතු වෙනුවෙනුයි. නිරන්තර අභ්‍යාසය කියන්නේ සංගීත ශිල්පියෙකුට අත්‍යවශ්‍ය දෙයක්. එය මම ඉගෙන ගත්තේ මගේ තාත්තාගෙන්. ඒ කාලෙ සංගීත ශිල්පීන් බහුල නැහැ. අද වගේ ක්ෂේත්‍රයේ යාන්තම් දන්න අය එදා හිටියෙත් නෑ. එදා හිටියෙ ඇත්තටම ශිල්පීන්. ඒ අය ගැන ආයෙ කතා දෙකක් නෑ කෑල්ලෙන් කෑල්ල ගියත් පටන් ගත්තු දේ අතහැරල නැගිටලා යන්නේ නැහැ. නමුත් අද එවැනි ශිල්පීයත්වයක් බලාපොරොත්තුවෙන්න බැහැ. ඇත්තම ශිල්පියා කවුද ශිල්පියා වගේ රඟපාන යාන්තමින් වැඩේ ශේප් කරගන්න කෙනා කවුද කියල හොයාගන්න අද හරි අමාරුයි. ඉස්සර අද වගේ සංගීත ඛණ්ඩ වෙන වෙනම නෙවෙයි පටිගත කළේ. එක්කෙනෙක් වැරැද්දුවොත් හැමෝටම නැවත වාදනය කරන්න වෙනවා. ඉතිං අපි කවුරුත් ඉස්සර අපේ වාදන භාණ්ඩය කොතරම් හොඳින් වැයිය හැකි වුණත් තව තවත් ඒ හැකියාව ඔපකරගන්න වෙහෙස මහන්සි ගත්තා. ඒ පුරුද්ද තාමත් තියෙනවා. අඩුම තරමෙ දවසට පැය දෙකක්වත් මම මගේ තබ්ලාව වයමින් අතේ හුරුව තව තවත් වැඩි කරගන්නවා.

 

තබ්ලාවට බැඳුණු ආදරය ඉතාම කුඩා කාලේ ඇතිවුණු එකක් වෙන්න පුළුවන්2018-11-06-ent-31

ඔව්. කොල්ලො කොහොමත් රිද්මයත් එක්ක හරි කිට්ටුයි. මමත් හයහතර නොදන්න පුංචි එකා කාලෙ ඉඳලම කණට වැටුණු තබ්ලාවෙ නාදයට වශී වුණා. ඇත්තම කිවුවොත් ඒක මට වැඩිපුරම ඇතිවෙන්න ඇත්තේ තාත්තා නිසා. තාත්තා අන්තිම හුස්ම පොද යන තුරුම තබ්ලාවට ආදරය කළ කෙනෙක්. ඔහු මිය ගියෙත් තබ්ලාව වයමින් ගුවන් විදුලි සංස්ථාව තුළ පටිගතකිරීමක් අතරතුරයි. තාත්තා ඩී.සී. කොඩිතුවක්කු දක්ෂම තබ්ලා වාදකයෙක්. ඔහු වයමින් ඉන්නා අතර සෙසු වාදකයන්ට දැනිල තියෙනව එක්වරම තබ්ලාවෙ හඬ බාලවෙමින් යනවා. ඒ දෙස බලනවිටම නැවතත් තබ්ලාව පණ ඇතිව වැයෙන්න පටන් ගත්තත් එක්වරම තබ්ලාව මතම ඔහු ඇද වැටී තිබෙන්නේ මරණයට පත්වෙලා.

ඔබ ආ ගමන ඉතාම දිගුයි. අනෙක ඔබ සංගීත නිර්මාණ අතිනුත් ඉතාම ඉහළට ගිය පුද්ගලයෙක්. නමුත් ඔබ නිර්මාණ කරන්න ඒතරම් ඉක්මන්කමක් දක්වන්නෙ නැහැ වගේ.

හරියටම හරි. අහල තියෙනවද කලබල වුණාම කිසි නිර්මාණයක් සාර්ථකව කරගන්න බැහැ කියලා. මම කොහොමත් නිර්මාණකරනයේදී ඉක්මන් වෙන කෙනෙක් නෙවෙයි. කල් යල් බලලා හොඳ නිර්මාණයක් පවතින දෙයක් කරන්න මිස මට කලබලයක් නැහැ හැල්මේ දුවන්න. අපි තරුණකාලේ වුණත් හොඳ නිර්මාණයක් කරන්න මිස සල්ලි වෙනුවෙන්ම කැපවෙන්න උත්සාහ කළේ නැහැ. නමුත් අද තියෙන්නේ නිර්මාණයට වඩා ලැබෙන මුදල ගැන හොයන අය බිහිකරන යුගයක්. මේ අතර ශිල්පීයත්වය ආරක්ෂා කරගන්න පිරිස අඩුයි. සමහර දේවල් දකිද්දි අහද්දි හරි කනගාටුයි. ඒත් ඒවා හදන්න පුළුවන් අය නැහැ. තම තමන්ම හැදෙන්න උත්සාහ දරනවා මිසක්.

 

ඔබ ගීත කොපමණකට වැදකයෙකු විදිහට දායක වෙලා තියෙනවද

කියන්න බැරි තරම් ප්‍රමාණයක්. සමහරු ඉස්සර මාව එයාලගේ රෙකෝර්ඩිං එකට යොදාගත්ත බැරි නම් මගේ වෙනුවට වෙන කෙනෙක් යොදාගෙන ඒ පටිගත කිරීම නොකර මා වෙනුවෙන් පටිගත කිරීම් දින වෙනස් කරගත් අවස්ථා තියෙනවා. ඒ ඒ අයට හරියන දේ අපෙන් අරගන්න පුළුවන් කියන විශ්වාසය ඇතිවෙන පරිදි අපි වාදකයෙක් විදිහට සාර්ථක වෙලා තියෙන නිසා. ඉස්සර අපි යම් නිර්මාණයකට දායක වෙද්දී වාදනයෙදි අපිට කළ හැකි යම් අලංකරණයක් ඇත්නම් එය දෙවතාවක් නොසිතා ඉටු කර අර නිර්මාණකරුවාට එය සාර්ථක කරගන්න හැකි උපරිමයෙන් සහාය දෙනවා. නමුත් අද කුමන හෝ හේතුවක් මත එවන් හැඟීමකින් වයන අයගෙ තරමක අඩුවක් තියෙනවා වගේ දැනෙනවා. කුමන හෝ නිර්මාණයකදි එය කළ පුද්ගලයා සහ ගායනා කරන කෙනා විතරක් නොවෙයි එයට වාදනයෙන් සහාය වන ශිල්පීන්ගෙත් පටිගත කිරීම් ශිල්පියාගෙත් වින්දනය එම නිර්මාණය සාර්ථක කරගන්න බලපානවා. අපි කොතරම් ලස්සනට වැයුවත් එය නිසි පරිදි ශබ්ද පරිපාලනයක් කර ට්‍රැක් එක සකසා නොදුන්නොත් ගැයුමේ රසය ඉස්මතුවෙනවා හොර වෙන්නත් පුළුවන්. මේ නිසා ගීතයක් කියන්නේ ටීම් වර්ක් එකක් බව අමතක කරන්න හොඳ නෑ.

 

ඔබේ පුතාත් දැන් ඩ්‍රම්ස් වාදකයෙකු ලෙස නමක් දිනාගනිමින් ඉන්නවා නේද?

ඔව්. නව පරපුරක් අපිට අවශ්‍යයි. දැන් අපේ කාලේ ඉවරයිනේ. නමුත් මම අදටත් දවසේ පැය කීපයක් එක දිගට අභ්‍යාසයේ යෙදෙනවා. අදත් මට එදා වගේම අතැඟිලි කඩිසරව මෙහෙයවමින් තබ්ලාව වයන්න පුළුවන්. පුතා විතරක් නෙවෙයි මගේ දියණියත් දක්ෂ පියානෝ වාදිකාවක්. දරුවො දෙන්නම සංගීතය පැත්තෙන් අධ්‍යාපනයත් හැකියාවත් ඇතිව ක්ෂේත්‍රයේ රැඳෙන දෙදෙනෙක්. දරුවනුත් මාව අනුගමනය කරනවා ඔවුනුක් නිරන්තර අභ්‍යාසයේ යෙදෙනවා. ඔවුන් තුළ මනා සංයමයක් ඇතිවී තිබෙනවා තම සංගීත භාණ්ඩය හා තම ශිල්පීයත්වය හා ගනුදෙනු කරන්න. මට එය ලොකු සතුටක්

 

ආරාධනා ලැබුණොත් ඔබ තවමත් ගී නිර්මාණ වෙනුවෙන් තබ්ලාව වයනවාද..?

ඔව්. මම ඉස්සර තරම් කොළඹ පැත්තේ නොආවත් මා ලවාම තබ්ලාව වයන්න අවශ්‍යයි කියල හිතන සංගීත අධ්‍යක්ෂවරු තවමත් ඉන්නවා. එහෙම කරන්නේ නිර්මාණයකදි වඩා ලස්සන මතුකරගන්න. අපි අපේ ඇඟෙන්ම එන හැකියාවෙන් ඒ ඒ සංගීත අධ්‍යක්ෂවරුන්ට කුහක කමක් නැතිව උදව් දෙන බව ඔවුන් දන්නා නිසයි. සංගීතය කියන්නේ හරිම සෞම්‍ය දෙයක්. නමුත් සංගීත ශිල්පීන් වෙන්නෙත් මනුෂ්‍යයන්. මේ නිසා මනුස්සකම් අඩු සමහරු ඇතැම්විට කුහකකම් පානවා. ඒක සංගීතයේ විතරක් නෙවෙයි බොහෝ ක්ෂේත්‍රවල තිබෙන දෙයක්. ඉතිං සමහර අය අපි දැන් වාදනය කරන්නෙ නැහැ කියල ප්‍රචාර යවපු අවස්ථාත් තියෙනවා. නමුත් දෙවියන්ගෙ පිහිටයි එන්න එන්න මගේ හැකියාව ඔපමට්ටම් වෙනවා මිස මාව අතහැර යෑමක් නැහැ. මගේ තාත්තාගේ වගේම මගේ අතිනුත් තබ්ලාව ගිලිහේවි. ඒ මා මිය යන දවසක මිස ඊට කලින් නම් නොවෙයි.

සංගීතයෙන් මා ලබන ආත්මතෘප්තිය මුදලට වඩා බොහෝ විශාලයි. එමෙන්ම අපි අද විශ්‍රාම සුවයෙන් හොඳින් කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන්නෙත් සංගීතයෙන්ම මා ආ ගමන හේතුවෙන්. ඒ නිසා මම සංගීතයට කවදාවත් ගරහන්නේ නැහැ. අපි ඉතාම හොඳින් සතුටින් ජීවත් වෙනවා. සංගීතය කියන්නේ දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්. එය එසේ නෙවෙයි නම් සෑම කෙනෙකුටම ඒ හැකියාව තියෙන්න ඕන. නමුත් දෙවියන් කලාව කියන හැකියාව තෑගි කරන්නෙ දෙවියන් වෙනුවෙන් මිනිසුන්ව සතුටු කරන්නයි. මේ නිසා හොඳ මනුස්සයෙක් නොවී හොඳ සංගීතඥයෙකු වෙන්න බැහැ.

 

දැන් ගීතවලට තනු නිර්මාණයේ යෙදීම නවත්තලද?

අනේ නැහැ. හද ගී පොතේ ගීතයෙන් පස්සෙ මම ගොඩාක් නිර්මාණ කළා. නමුත් පසුව ප්‍රවීණ ශිල්පීන්ගේ පවා ගීත විකාශනය නොවී පැවතීම නිසා ඒවා ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මා නිර්මාණය කළ ගීතයක් තියෙනවා එය සියලුම කටයුතු නිමවා තියෙන්නේ. මට හිතෙනවා එය ටෙලි නාට්‍යකට වගේ සුදුසු ගීතයක් කියලා. කවුරු හරි ඒ ගීතය ඉල්ලුවොත් මා එය ලබා දෙන්න සූදානම්.

එහෙනම් කියන්න ඒ ගීතය ලබාගන්න හෝ වෙනයම් සංගීත නිර්මාණ කටයුත්තක් සඳහා ඔබව සම්බන්ධ කරගන්න අවශ්‍ය කෙනෙකුට ඔබේ දුරකථන අංකය.

0776150007 - 0352222946 මගේ දුරකථන අංකයි.

 

සටහන සහ ඡායාරූප - නාලිකා රාජපක්ෂ