විශාල වටිනාකමක් තියෙන මැණික් චිත්‍ර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-07-ent-61

ලෝකයේ විවිධ වූ නිර්මාණ පිලිබඳව අපි ලිපි මාලාවක් ඔස්සේ කතාබහ කරනු ලැබුවා. එහිදී විදෙස් රටවල ඇති සුවිශේෂී නිර්මාණයන් සහ එම නිර්මාණකරුවන් පිළිබඳව තොරතුරු අපි ඔබ වෙන පිරිනැමුවා. නමුත් අද අප කතා කිරීමට සූදානම් වන්නේ විදෙස් නිර්මාණකරුවෙකු පිළිබඳව නොවෙයි. අප රටේ බිහිවූ විශේෂ නිර්මාණකරුවෙකු පිළිබඳවයි. ඔහුගේ මෙම නිර්මාණ සංකල්පය ඉතාමත් සුවිශේෂීය. මිල අධිකය. ගාමිණි ජේ. බී. අතුරුපාන වන ඔහු, ලොවට හඳුන්වාදුන් මැණික් භාවිතාවෙන් සිදුකරන චිත්‍ර පිළිබඳව කතාබහ කිරීමට අප සමග මෙලෙස එක්විය.

 

ඔබේ ආරම්භය ගැන කිව්වොත්?2018-11-07-ent-64

මම මුලින්ම කලා ගුරුවරයෙක් වශයෙන් තමයි මගේ රැකියාව ආරම්භ කරේ. ඊට පස්සේ අවුරුදු දෙකක් විතර කලා. පේෂ කර්ම සංස්ථාවේ කණිෂ්ඨ විධායක නිළධාරියෙක් විදිහට රැකියාව කලා. ඒකෙන් අයින් වෙලා මැණික් ව්‍යාපාරය ආරම්භ කලා. මැණික් මිලදී ගැනීම සහ විකිණීම සිදුකරනවා. ඒක අවුරුදු 30 ක් විතර කලා. ඒ කාලය තුළ මැණික් පතල් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ලෙස ඉන්නවා. මැණික් ව්‍යාපාරය කරන විට මැණික් පතල් වලින් හම්බවෙච්ච අඩු වටිනාකම් සහිත ගල් එකතු කරලා වැඩිවටිනාකම් ඇති කර ගැනීමේ කාර්යයකට යන්න ඕනේ කියලා පරීක්ෂණ කලා අවුරුදු 08ක් විතර. ඒ පරීක්ෂණ වල අවසාන ප්‍රථිපලය තමයි අඩුවටිනා වර්ණක ගල් භාවිතා කරලා මෙවැනි නිර්මණය ගොඩනැගීමයි. ඊට පස්සේ ඒ නිර්මාණ කිරීම සඳහා 2004 දී ඉල්ලුම් කරලා පේටන්ට් බලපත්‍රයක් ගත්තා. ඊට පස්සේ ඒ ව්‍යාපාරය දිගටම කර ගෙන ආවා.

 

දේශීය වශයෙන් මෙම නිර්මාණයන් සඳහා ඇති පිළිගැනීම සහ වටිනාකම කොහොමද?

මේකේ අමුද්‍රව්‍ය (මැණික්) මිල අධික දෙයක් නිසා ලංකාවේ මිලදී ගැනීම අඩුයි. මොකද නියම මැණික් වලින් කරන නිර්මාණයක් නිසා. අඩු වටිනා ගල්වලින් කරපු නිර්මාණයක් නම් සමහර අයට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අඩ වටිනාකම් පාට ගල් තියෙන්නේ අතලොස්සක්. නිල් පාට, රතු පාට සඳහා භාවිතා කරන්නේ බ්ලූ සපායා, රූබි, පින්ක් සපායා, යෙලෝ සපායා කියන දේවල්. සපායා කියන මැණික් ටිකක් මිල අධිකයි. ඉතිං අපි කපලා ඔප දලා ප්‍රයෝජනයට ගන්න බැරි වර්ණක ගල් තමයි මේ කර්මාන්තයට යොදා ගන්නේ. මේ හැම නිර්මාණයකටම මැණික් විද්‍යාඥයෙක් (UK Qualified) විසින් මැණික් හඳුනාගැනීමේ සහතියක් නිකුත් කරනවා.

 

මෙම නිර්මාණ වල ඉලක්කය?

බහුල වශයෙන් මෙහි ඉලක්කය වන්නේ විදේශ විනිමය ඉපැයීම. මේ නිර්මාණ බහුල වශයෙන් මිලදී ගන්නේ විදේශිකයන් විසින්.

 

යම් කිසි නිර්මාණයක් සඳහා වැයවන කාලය කොහොමද?

දක්ෂ කෙනෙකුටනම් A4 ප්‍රමාණයේ මැණික් සිතුවම් නිර්මාණයක් කරන්න දවස් 20 ක් විතර වැය වෙනවා. අපි මේ දේවල් කරන්නේ දක්ෂ නිර්මාණකරුවන් අරගෙනයි. උසස් පෙළට විශිෂ්ඨ සාමාර්ථයක් තියෙන අය තමයි මේදේ සඳහා තෝරා ගන්නේ. එතකොට ඒ අයට මාස 06 ක පුහුණුවක් ලබා දෙනවා. අපි ඒ මාස 06 ඇතුලත ඒ අයගේ පුහුණුවෙන් අපි බලනවා මේ ක්‍රමය ඔවුන් අල්ලගෙන තියෙනවාද කියලා. මෙහි වර්ණක ගැලපීම හරියට අරන් තියෙනවාද? අඩු වැඩි කරලා උවමනා කරන චිත්‍රයේ වර්ණක ගලපලා තියෙනවාද කියලා කාරණා බලලා අපි ඔවුන් බඳව ගන්නවා. ඒ මාස 06 ක කාලය තුළ පුහුණු වීම සාර්ථකව කර ගන්න පුළුවන් නම් ඔහුට ඒ දේ දිගටම කරගෙන යන්න පුළුවන්.

 

මෙම පුහුණුවීමෙන් පසුව ඔබ විසින් ඔවුන්ට රැකියාවක් ලබා දෙනවාද?

ඔව්, අපි ඔවුන්ට රැකියාවක් විදිහට තමයි මේ දේ ලබා දෙන්නේ. කවුරු හරි දුන්නොත් අපිට මේ චිත්‍රය කරලා දෙන්න කියලා. ඒ චිත්‍රයට අදාල ගල් ටික කිරලා මැනලා ගෙදරදී කරන්න ලබා දෙනවා. ඊට පස්සේ ඔහු එම චිත්‍රය අවසන් කරලා අපට ලබා දෙනවා. අපිට පුළුවන් ඒ චිත්‍රයට කොච්චර ගල් වැය වුණාද කියලා ගණන් බලන්න. අපි කරන්නේ, ඔහු චිත්‍රය අවසන් කරයින් පස්සේ, ඒ චිත්‍රයට ගල් කොච්චර ගියාද? අපි ඔහුට ගල් කොච්චර ලබා දුන්නාද? තව කොච්චර ඉතුරුද කියලා අපි ගණන් බලනවා. ඒ විදිහට ඒ සඳහා ගත වුණ කාලයයි, එහි බැරූරැම්කමටයි අපි ඔහුට ගෙවීමක් කරනවා.

 

මෙම සංකල්පය ඔබේද?2018-11-07-ent-63

ඔව්, මෙම සංකල්පය මගෙයි. මේ කාර්යය නිසා පතල්කරුවන්ටත් විශාල සේවයක් වෙනවා. කලා අංශයෙන් අධ්‍යාපනය ලබන අයට ගොඩක් දුරට රැකියා ප්‍රශ්න පැන නගිනවා. ඒ අයටත් රැකියාවක් ලබා ගැනීමට අවස්ථාව උදා වෙනවා. විදේශ මුදලට විකිණීමෙන් රටට විදේශ විනිම විකිණීමේ හැකියාවකුත් තියෙනවා. වැඩි වටිනා දේවල් ගන්න අය ඉන්නවා. අලුත් දේවල් ගන්න අය ඉන්නවා. නව නිර්මාණ ප්‍රිය කරන අය මිලදී ගන්නවා. ඊට අමතරව අපි තව දෙයක් කියනවා. ඒ තමයි, මෙම චිත්‍රයක් ගෙදර තබා ගැනීමෙන් ග්‍රහයින්ගේ කිරණ වලින් බලපෑම් ඇති වෙලා යම් සෞභාගයක් උදා වෙනවා කියන කාරණය අපි ඔවුන් හඳුන්වා දෙනවා. තවත් විශේෂ කාරණාවක් තියෙනවා. මෙම චිත්‍රයක් මිලදී අරන් අවුරුදු 15 කට පස්සේ ඔවුන්ට ඒ දේ එපානම් අපිට එය නැවත අලෙවි කරන්න පුළුවන්. අපෙන් ඔවුන් මිලදී ගත් මිලට අපි ඔවුන්ට දෙගුණයක් ගෙවීම් කරනවා. අපි එයට තව වටිනාකමක් ලබා දෙනවා. තව පැත්තකින් අපි ඔවුන්ට මේදේ හඳුන්වා දෙන්නේ ආයෝජනයක් විදිහටයි. සාමාන්‍යයෙන් විදේශ බැංකු වල පොළිය අඩුයි. ඒ නිසා ඔවුන් මුදල් බැංකුවේ තැන්පත් කලත්, අවුරුදු 15ක කාලය තුළදී ඔවුන්ගේ මුදල දෙගුණ වෙන්නේ නැහැ. ඒ නිසා මේ දේ ඔවුන්ට වැඩිවටිනාකමක් ලබා දෙන ආයෝජනයක් වෙනවා.

 

මෙම චිත්‍ර නිර්මාණය කරන්න පටන් අරන් කොච්චර කාලයක් වෙනවාද?

මම පේටන්ට් බලපත්‍රය ඉල්ලුම් කලේ 2004 දී. අපි ආරම්භ කලේ 2005 විතර. යම් යම් පාට ගල්වල හිඟ ඇති වෙනවා. ඒක ලැබෙනකම් අපිට ඉන්න වෙනවා. අපි විදෙස් රටවල පවා මේ මැණික් ප්‍රදර්ශන වලට ගිහින් තියෙනවා. ජර්මනිය, එංගලන්තය, ඉතාලිය, මැලෙසියාව සහ සිංගප්පූරුව වැනි රටවල් කිහිපයකට ගිහිල්ලා මේ නිර්මාණ ප්‍රදර්ශන වලට ඉදිරිපත් කරලා ලෝකයේ රටවල් කිහිපයකට හඳුන්වා දී තිබෙනවා. ඒවා තුළින් වෙළෙඳාම ප්‍රවර්ධන කර ගැනීම තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ.

 

දේශීය වශයෙන් යම් කිසි ඇඟයීමක් ලැබුණේ නැද්ද?

එහෙම ඇඟයීමක් ලැබුණේ නැහැ. නව නිර්මාණකරුවන්ගේ කොමිසම තියෙනවා. අපි ඒකේ මුල් අවස්ථාවේ ඉඳන් ලියාපදිංචි වෙලා තියෙනවා. නව නිර්මාණකරු කියලා හැඳුනුම් පතක් ලබා දීලා තියෙනවා. මේක කරගෙන යන්න අවුරුද්දකට සැරයක් බලප්‍රතයක් ලබා ගන්නවා. ඒ ඇරෙන්න විශේෂ ඇඟයීමක් අනුග්‍රහයක් ලැබිලා නැහැ. මේ දෙවල් වැඩිදියුණු කර ගන්න යම් ප්‍රධානයක් කරනවා කියලා නිර්මාණකරුවන්ගේ කොමිසම කියලා තියෙනවා.

 

ඉදිරියේදී කටයුතු ගැන කිව්වොත්?

මේක අමාරු වැඩක් ලෝකයට හඳුන්වලා දෙන්න. මොකද විශල සල්ලිකාරයෝ අතරට යනවා කියන්නේ ඒක පහසු කාර්යයක් නෙමෙයි. අපි එංගලන්තයේ Trafalgar Square කියන තැනේ අපි ප්‍රදර්ශනයක් කලා. ඒ හරියට ගොඩාක් ධනවත්තු එනවා අඩුයි. ක්‍රිස්ටීස්ලා කියලා සමාගමක් තියෙනවා. එයාලා තමයි ලෝකෙ ලොකුම වෙන්දේසිකරුවෝ. ඔවුන් තමයි ලෝකේ වටිනාම දේවල් වෙන්දේසී කරන්නේ. ලෝකේ දියුණු නගරවල ශාඛා තියෙනවා. ඒ අය ගැනුම්කාරයෝ ගෙන්වලා වෙන්දේසී පවත්වලා අපේ නිර්මාණ අලෙවි කරන්න පුළුවන් කියන දේ පිළිගත්තා. එහි ප්‍රචාරක කටයුතු වැනි දේවල් මෙහෙය වන්න මුලික් මුදලක් තැන්පත් කරන්න ඕනේ. අපි එතරම් විශාල මුදලක් තැන්පත් කරන්න අපහසු නිසා අපි එතනට ගියෙ නැහැ. ඒ වගේ නගර වල ප්‍රදර්ශන පවත්වලා මෙම චිත්‍ර අලෙවි කරන්න පුළුවන් නම් රටට විශාල මුදලක් උපයා ගන්න පුළුවන්.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

 2018-11-07-ent-62