'හිතලා ගත්තු තීරණයක්' නාට්‍ය තමන්ට තමන් දිහා බලන්න හොඳ කැඩපතක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-07-ent-65

රාජිත දිසානායකගේ ‘හිතලා ගත්තු තීරණයක්’ නාට්‍ය නොවැම්බර් 09 සහ 10 සවස 7.00ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී

ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනූ වීරයා මැරිලා, සිහින හොරු අරං, ආපහු හැරෙන්න බෑ, ආදර වස්තුව, නැතුව බැරි මිනිහෙක් ආදී නාට්‍ය රැසක් නිර්මාණය කළ නිර්මාණවේදියෙකු වන රාජිත දිසානායකගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘හිතලා ගත්තු තීරණයක්’ නාට්‍යයේ මංගල දර්ශනය එළැඹෙන 9 හා 10 දෙදින සවස 7.00ට ලයනල් වෙන්ඩට් රංග ශාලාවේදී වේදිකාගත කිරීමට නියමිතව තිබේ. මේ පිළිබඳව රාජිත දිසානායක සමග ‘අද’ කළ සංවාදයකි.

 

අලුතින් ඉදිරිපත් කරන නිර්මාණය ගැන මුලින්ම කතා කළොත්?2018-11-07-ent-69

‘හිතලා ගත්තු තීරණයක්’ නාට්‍ය නොවැම්බර් 09 සහ 10 සවස 7.00ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත කෙරෙනවා. නිර්මාණකරුවෙක් විදිහට මම වසර 30ක පමණ කාලයක් තිස්සේ අඛණ්ඩව නාට්‍ය නිර්මාණකරණයේ නිරත වෙන අතරේ දීර්ඝ කාලයක් තිස්සේ රචනා කළ නාට්‍යයක් තමයි මේ මොහෙතේ නිර්මාණයක් විදිහට ප්‍රේක්ෂකයා ඉදිරියට අරගෙන එන්නේ. ආදර සබඳතාවලදී ගනු ලබන තීරණ පිළිබඳව විමසුමක් තමයි මේ නාට්‍ය මගින් සිදුකරන්නේ. මොකද අපි හිතලා ගන්න තීරණවලින් ජීවිතවල බොහෝ අවුල් ඇති කරනවා. හිතලා ගන්න තීරණ ගැන නැවත හිතන්න ඉඩ හදන එක තමයි අපි මේ නාට්‍ය හරහා උත්සාහ කරන්නේ.‍ විශේෂයෙන් මිනිස් ජීවිතයේ ස්වභාවය සහ මිනිස්සු විවිධ අවස්ථාවල කරනු ලබන ක්‍රියා හා ගනු ලබන තීරණ සහ හැසිරීම් පිළිබඳව සීතිමක් සඳහා ඉඩහදන එකතමයි අපි කරන්නේ.

 

මෙවැනි තේමාවක් යටතේ නාට්‍යයක් නිර්මාණය කරන්න අදහස් කළේ ඇයි?

මේකෙදීත් සමකාලීන සමාජය හා දේශපාලනික වශයෙන් බලය ලබපු පිරිස්වල හැසිරීම් බැහැර කරලා නැහැ. නමුත් මූලික වශයෙන් සාකච්ඡාවට බඳුන් කරන්නේ ඉහත කී මාතෘකාවයි. ලාංකේය සමාජය තුළ ආදර සබඳතා හෝ කවර මානව සබඳතාවකදී බලය සහ බලය මූලික කරගෙන හැසිරෙන මිනිසුන්ගේ ස්වභාවය බැහැර වෙන්නේ නැහැ. එවැනි වූ ස්වභාවයන් ජීවිත තුළට ආවම ඇතිකරන හානිය, ව්‍යසනය මේ නාට්‍ය තුළින් විමසා බලනවා.

 

ඔබ කියන්නේ ලාංකේය මිනිසුන් සබඳතා පවත්වාගෙන යන්න දන්නේ නැහැ කියලද?

ලංකාවේ මිනිස්සුන්ගේ සම්බන්ධතාවල ස්වභාවය බරපතළ ලෙස වෙනස් වෙමින් පවතිනවා. ආදර සබඳතා, මානව සබඳතා සහ මනුෂ්‍ය ජීවිතයේ අගයන් (ධර්මතා, ප්‍රතිපත්තිගරුක භාවය) බරපතළ වෙනසකට බඳුන් වෙනවා. මෙවැනි පුස් බිමක මානව සම්බන්ධතාවල සිද්ධවෙන වෙනස්වීම වගේම මිනිස් ස්වභාවය පිළිබඳ පරීක්ෂාවක් තමයි අපි මේ නාට්‍ය හරහා සිදුකරන්නේ.

 

අපේ රටේ මිනිස්සු තීරණ ගන්නේ හිතලද?

අපි මේ නාට්‍යයට පෙර පිටපත් තෝරා ගෙන ප්‍රශ්නාවලියක් ඔවුන්ට යොමු කළා. උදාහරණයක් ලෙස ‘ඔබ ජීවිතේ තීරණ ගන්නේ හිතලද?’ කියා ඇසුවා. එතනදී ‘ඔව්’ කියන අය හුඟාක් හිටියා. ඊට පස්සේ අපි අහපු ප්‍රශ්නය තමයි ඔබ වැඩිපුරම හිතලා ගත්තු තීරණය මොකක්ද කියලයි. එවිට ඔවුන් ගොඩක් කල්පනා කළා. හුඟ දෙනෙක් හිනාවක් පළ කළා. තවත් අය ශබ්ද නැතුව හිටියා. ඊළඟට අපි ඇහැව්වේ හිතලා ගත්තු තීරණයක් වැරදිලා තියෙනවද කියලයි. එවිට එම පිරිස එක හඬින්ම ‘ඔව්’ කියන එක තමයි කිව්වේ.

මිනිස්සු සමහර තීරණ හිතලා ගත්තම, ඒ තීරණය වැරදි වුණත් හිතලා ගත්තු නිසා එය වැරදියි කියලා හිතන්නේ නැතුව ඉන්නවා. ඒ වගේම සමහර තීරණ හිතලා ගත්තට පස්සේ එය වැරදි කියලා තෝරා ගත්ත තීරණ ඊටත් වඩා වැරදෙනවා. ඒ වගේම සමහර තීරණ එතරම් හිතන්නේ නැතුව ගත්තත් ඒවා වැඩි ප්‍රමාණයක් හරි ගිහින් තිබෙනවා. ඔය කාරණා තුන මේ නාට්‍ය තුළ දිග හැරෙන ජීවිත එක්ක බද්ධ වෙලා තිබෙනවා.

‘හිතලා ගත්ත තීරණයක්’ නාට්‍ය ප්‍රේක්ෂකයාට විශේෂ වෙයි. තමන්ට තමන් දිහා බලන්න හොඳ කැඩපතක් වෙයි. මේ හරහා වින්දනාත්මක සිතීමක් ඇති කරවන්නට අපි දරන උත්සාහය සාර්ථක වෙයි. මේ නාට්‍යමය අත්දැකීම විඳගන්න නොවැම්බර් 09 හා 10 දෙදින සවස 7.00ට ලයනල් වෙන්ඩ් රඟහල් භූමියේ අපිත් එක්ක එකතු වන ලෙස අපි ආරාධනා කර සිටිනවා.

 

මීට දායක වෙන පිරිස ගැන කිව්වොත්?

මේ සඳහා රංගනයෙන් ශ්‍යාම් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස්, සමාධී ලක්සිරි, අනුරාධ මල්ලවාරච්චි, තෙරුණි ආශංසා දායක වන අතර, කපිල පූගලආරච්චි සංගීත නිර්මාණයෙන් දායක වෙනවා.

 

ඔබේ නාට්‍යවල වැඩි වශයෙන් එකම පිරිසක් යොදා ගන්නේ ඇයි? අලුත්ම කණ්ඩායමක් එක්ක නාට්‍ය කරන්න අදහසක් නැද්ද?

මගේ සෑම නාට්‍යයකම අලුතෙන් එක්කෙනෙක් හෝ කිහිපදෙනෙක් එක්වෙලා තිබෙනවා. සම්පූර්ණයෙන් අලුත් කණ්ඩායමක් එක්ක වැඩ කරනවාට වඩා දීර්ඝ කාලයක් වැඩ කිරීම තුළ ඇති වන අවබෝධය, එකිනෙකාට ඇති ගෞරවය, එකිනෙකට ඇති ආදරය විශේෂයි. කණ්ඩායමක් ලෙස වැඩ කරන්න පුරුදු වෙච්ච රටාවක් තිබෙන්නේ. එසේම තෝරා ගත්ත පිරිස නාට්‍ය වෙනුවෙන් දක්වන කැපවීම, ගෞරවය, උනන්දුව, සහයෝගය මම පිළිබඳව තිබෙන අදහස හා මට ඔවුන් පිළිබඳව තිබෙන අදහස ගොඩක් දේවල් එකතු වෙනවා.

අපට රසික පිරිසක් සිටීම වාසනාවන්ත තත්ත්වයක් යැයි පැවසුවා වගේම කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්න පුළුවන්, නාට්‍ය කලාවට ඇල්මක් දක්වන, එකට වැඩ කරන්න පුළුවන් පිරිසක් සිටීම තමයි නිර්මාණකරුවෙක් විදිහට අඛණ්ඩව පැවතෙන්න බලපාලා තියෙන්නේ.

විශේෂයෙන් පෙර නාට්‍යවලට සම්බන්ධ වී සිටි පිරිස් මොනයම් හෝ අංශයකින් මීට දායකත්වයක් ලබාදෙනවා. ඒ නිසාම තමයි අතිවිශාල අනුග්‍රාහකයන් නැතිවුණත් මේ නාට්‍ය පවත්වාගෙන යන්න, නිර්මාණකරණයේ යෙදෙන්න පුළුවන් වෙලා තියෙන්නේ එවැනි වූ සහයෝගයක් සහිත කණ්ඩායමක් සිටීම නිසයි.

 

ඔබේ නාට්‍යවලට අතිවිශාල ප්‍රේක්ෂකයන් පිරිසක් සිටියත් අනුග්‍රාහකයෝ ඊට ඉදිරිපත් නොවෙන්නේ ඇයි?

අපි මේ වන විට අනුග්‍රාහකයෝ ලබාගන්න උත්සාහය අත් හැරලා තියෙන්නේ. මොකද අපි ප්‍රේක්ෂකයෝ පිළිබඳව විශ්වාසය තබනවා. ඉස්සර රාජ්‍ය බැංකුවලින් නාට්‍ය කලාවට අනුග්‍රහය දක්වන පිළිවෙතක් තිබුණත් එය පසුව වෙනස් වුණා.

සමාගම්වල අනුග්‍රහය තීරණය වෙන්නේ ඒ කලා නිර්මාණය සම්බන්ධව තිබෙන අදහස මත නොව ඒ ඒ පුද්ගලයන්ගේ රුචි අරුචිකම් හා පුද්ගල සම්බන්ධතා මත. පාසලේ ආදී ශිෂ්‍යයෝ වුණොත් හෝ වෙන සම්බන්ධතාවලට අනුග්‍රහය දක්වනවා.

ඉංග්‍රීසි වේදිකාවට අතිවිශාල අනුග්‍රහයක් දැක්වුවත් සිංහල වේදිකාවට ඒ අනුග්‍රහය දක්වන්න බැරිවෙලා තියෙන්නේ නිර්මාණවල ප්‍රශ්නයක් නිසා නොව අනුග්‍රහය තීරණය කරන පුද්ගලයන්ගේ ගැටලුවක් නිසයි. ඔවුන් හමුවේ අනුග්‍රහය යැදීම නිර්මාණකරුවකු ලෙස මම අත්හැරලා තියෙන්නේ. ඒත් අපිට අතිවිශාල ලෙස නොවුණත් යම් ආකාරයකින් උදව් කරන්න කිහිප දෙනෙක් ඉන්නවා. උදාහරණයක් ලෙස සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය ඇයගේ පදනමින් යම් අනුග්‍රහයක් ලබාදෙනවා. එවැනි ආකාරයට උපකාර කරන පිරිසක් සිටිනවා. එයින් අපේ සම්පූර්ණ පිරිවැය සපුරා ගන්න බැරි වුණත් අපි රසිකයෝ පිළිබඳව තිබෙන විශ්වාසය නිසාම තමයි නාට්‍ය කරන්නේ.

 

රටේ ආර්ථිකය බිඳවැටීමක් ගැන සාකච්ඡා වෙන සමයක එය නාට්‍ය සඳහා බලපා තිබෙන්නේ කෙසේද?

ආර්ථිකමය වශයෙන් බරපතළ වෙනස්වීම් සහ අර්බුධකාරී තත්ත්වයකට ලංකාව පත්වෙලා ඉන්නේ. මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ සිට විශාල ගැටලුවකට මිනිස්සු මුහුණදී සිටිනවා. මිනිස්සුන්ගේ අවශ්‍යතා ප්‍රමාණය වැඩිවෙලා තිබෙනවා වගේම තිබෙන අවශ්‍යතා ප්‍රමාණය ඉෂ්ට කර ගැනීමට නොහැකි වෙලා තිබෙනවා.

කලාව රස විඳීම කියන දේ මිනිස්සුන්ගේ ප්‍රමුඛකාරියක් බවට පත්වීම අඩුවෙමින් යනවා. එහෙම තිබියදීත් අපි නාට්‍ය කණ්ඩායමක් ලෙස හා නිර්මාණකරුවෙක් විදිහට වාසනාවන්ත වුණා. පසුගිය අවුරුදු 2 ½ තුළ ‘නැතිවම බැරි මිනිහෙක්’ නාට්‍යය අඛණ්ඩව රංගගත කරන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. මේ වන විට එහි දර්ශන වාර 125 කට වැඩිය රංගගත කරලා තිබෙනවා. කෙටි කාලයක් ඇතුළත වැඩිම නාට්‍ය දර්ශන වාර ප්‍රමාණයක් රංගගත කරන්න ලැබුණු නාට්‍ය වන්නේ ‘නැතුව බැරි මිනිහෙක්’ නාට්‍යයයි. එහි මුල්වටයේ දර්ශන වාර ප්‍රමාණය ‘වීරයා මැරිලා’ දර්ශන වාර ප්‍රමාණයටත් වඩා වැඩියි. මෙවැනි දුෂ්කර අවධියක නාට්‍ය කලාවට උනන්දුවක් ඇල්මක් දක්වන රසික පිරිසක් අපි අතර සිටීම නිර්මාණකරුවන් ලෙස නිර්මාණ භාවිතාව පවත්වා ගන්න විශාල හයියක් වෙලා තිබෙනවා.

 

නිරෝෂාන් ප්‍රේමරත්න

 

 2018-11-07-ent-70  2018-11-07-ent-68 2018-11-07-ent-67 2018-11-07-ent-66