‘හිරු ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ්’ උළෙලේදී හොඳම සටන් අධ්‍යක්ෂකවරයා සම්මානය දිනූ සඳුන් ප්‍රනාන්දු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-07-ent-73

සඳුන් ප්‍රනාන්දු යනු අංගම්පොර සටන් ශිල්පියෙකි. ඔහු ක්‍රමිකව ඉන් ලත් දැනුම නිසා සිනමා නිර්මාණයන්හි සටන් අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන්නට යොමු විය.

ඔහු විසින් සටන් අධ්‍යක්ෂණයෙන් දායක වූ ‘ආලෝකෝ උදපාධි’ සිනමා නිර්මාණය උදෙසා මෙවර පැවැති ‘හිරු ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ්’ උළෙලේදී හොඳම සටන් අධ්‍යක්ෂකවරයා ලෙස සම්මාන හිමිකර ගැනීමට ඔහු සමත‍් විය. මේ කතා බහ ඔහු සමගයි.

 

අංගම්පොර සටන් ශිල්පියෙක් ලෙස කටයුතු කිරීමට යොමුවීම පිළිබඳ මුලින්ම කතා කරමු?2018-11-07-ent-71

මට අංගම්පොර සටන් ශිල්පය ඉගෙන ගන්න හැකියාව ලැබුණා. සමන්ත මායාදුන්න කියන්නේ සටන් අධ්‍යක්ෂකවරයෙක්. ඔහු මට මුලින්ම ඔහු සමග චිත්‍රපටවල වැඩ කරන්න ආරාධනා කළා. ඔහු සමග සම්බන්ධ වූ පසුව මම චිත්‍රපට තුළ මෙය භාවිත කරන්නේ කොහොමද කියන කාරණය ඉගෙන ගත්තා. ඒ අතරේදී චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් මාව දැකලා මට සටන් අධ්‍යක්ෂණය සඳහා ආරාධනා කළා. මුලින්ම මම සටන් ශිල්පියෙක් ලෙස තමයි සිනමා නිර්මාණවලට දායක වුණේ. ඉන් පසු සනත් අබේසේකර මහතාගේ චිත්‍රපටවලට මට සටන් අධ්‍යක්ෂණයට ආරාධනා කළා. මුලින්ම ‘මහින්දාගමනයේත්’ ඉන් පසු ‘සිරි දළදාගමනය’ චිත්‍රපටයේත් සටන් අධෂක්ණයට දායක වෙන්න මට හැකියාව ලැබුණා.ඉන් පසුව තමයි ‘ආලෝකෝ උදපාදී’ සිනමා නිර්මාණයට සම්බන්ධ වුණේ.

 

හොඳම සටන් අධ්‍යක්ෂක ලෙස ඔබ ඇගයුම් ලබන්නේ ඒ සිනමා නිර්මාණයට දායක වීම නිසා ඒ ගැන කතා කළොත්?

බුද්ධික සේනාධිපති කියන්නේ මගේ පාසල් කාලයේ සිටි මිතුරෙක්. දැන් ඔහු පැවිදි දිවියක් ගත කරන්නේ. ඔහු තමයි මට ‘ආලෝකෝ උදපාධි’ චිත්‍රපටයට ආරාධනා කළේ. ඒ ආරාධනාව නිසා මම සමන්වීරමන් හා චත්‍ර හම්බෙන්න ගියා. ඉන් පසු මම සම්මුඛ පරීක්ෂණයට සහභාගි වුණා.’දළදාගමනය’, ‘මහින්දාගමනය’ චිත්‍රපටවල රූප රචනා මං ළග තිබ්බා. ‘ආලෝකෝ උදපාධි’ වැනි දැවැන්ත නිර්මාණයකට ඔබින ප්‍රමාණවත් සටනක් මට එහි පෙන්වන්න ලැබුණේ නැහැ. මම වැඩක් භාරගත්තොත් එය කෙසේ හෝ කරනවා. මම පෞද්ගලික අංශයේ රුකියාවක් කරනවා. මේ නිසා කාලවේලාව ගැන ප්‍රශ්නයකුත් පැවතුණා. මගේ මිතුරෙකු වන සුමුද්‍ර අමල්කත් දායක කර ගනිමින් මේ කටයුත්ත නිසි ලෙසින් අප සිදුකළා.

 

සිනමා කර්මාන්තය තුළ සටන් අධ්‍යක්ෂණය ස්ථානගත වීම ගැන අදහස?

සටන් අධ්‍යක්ෂණය සඳහා එහෙම සැලකිය යුතු ලොකු වටිනාකමක් නැහැ. මෙවැනි දැවැන්ත සම්මාන උළෙලක සටන් අධ්‍යක්ෂණයට සම්මානයක් ලැබෙන්නෙත් පළමු වතාවට. එය හොද ප්‍රවණතාවක් විදිහට මම දකින්නේ. මට ලැබුණු මේ සම්මානය ඉදිරි වසරවල මේ ක්ෂත්‍රයේ ඉන්න තව අයට ලැබෙනවා. ඒ ගැන සතුටුවෙන්න පුළුවන්. නමුත් සිනමා කර්මාන්තය තුළ සටන් අධ්‍යක්ෂකවරයාගේ වෘත්තිය මට්ටම තවම නිර්මාණය වෙලා නැහැ. ඒ ගැන යම් කනගාටුවක් තිබෙනවා. නමුත් මේ ඇගයුම් ලබාදීම තුළින් ක්‍රමයෙන් පසුව නිර්මාණය වෙයි කියලා හිතෙනවා.

 

සිනමා සටන් අධ්‍යක්ෂණයත් තාක්ෂණික කාරණා එක්ක යාවත්කාලීන වෙනවා. මේ කාරණාව ගැන ඔබ අවධානය යොමු කරන්නේ කෙලෙසින්ද?

‘ආලෝකෝ උදපාධි’ චිත්‍රපටයේ අපි තාක්ෂණය උපරිම ලෙස භාවිතා කළා. සටන්වලදී කේබල් භාවිතා කරන්න යොමු වුණා. කේබල් සටන් අධ්‍යක්ෂණය සිදුකළෙත් අපි විසින්මයි. හොලිවුඩ් හා බොලිවුඩ් චිත්‍රපටවලත් මේ තාක්ෂණය භාවිතා වෙනවා. නමුත් ඔවුන් ඒ සඳහා විශාල මුදලක් වියදම් කරනවා. අපි සිනමා නිර්මාණයක් සිදුකරද්දී මේ සඳහා වෙන්වෙන මුදලත් සමග තමයි සිදුකළ යුත්තේ. අපි අපට හැකි උපරිමයෙන් සිදුකරනවා. අනෙක් දේ සටන් අධ්‍යක්ෂකවරයෙක් ලෙස අපිට සිනමා නිර්මාණයට උචිත පරිදි සටන් අධ්‍යක්ෂණය සිදුකළ යුතු වෙනවා. එය තාක්ෂණයට වඩා සටන් අධ්‍යක්ෂකවරයාගේ දක්ෂතාවය මත තීරණය වන්නක්. සටන් කරන්න පුළුවන්. නමුත් නිර්මාණයක් තුළ ඒ සටන කෙලෙසද කරන්නේ කියන දේ තීරණය කර,උචිත පරිදි ඉදිරිපත් කරන්න බොහෝ දෙනෙක් අසමත් වෙනවා.

 

අංගම්පොර කියන්නේ අපට ආවේණික වූ සටන් කලාවක්. මෙය අනාගත පරපුරට දායක කිරීමේ වැඩපිළිවළක් ඔබ දකිනවද?

මම ඒ වෙනුවෙන් වැඩ කරනවා. මේ වන විට මම අංගම්පොර ගුරුවරයෙකු ලෙස කටයුතු කරනවා. මම එය සිදුකරන්නෙත් මේ සටන් කලාව රටට ජාතියට අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමේ අරමුණෙන්. මම පෞද්ගලික ආයතනයක රුකියාවක් කරන්නේ ඉන් ජීවත්වීම සඳහා. ගුරුවරයෙක් ලෙස කටයුතු කරන්නේ අනාගත පරපුර වෙත මෙය දායාද කළ යුතු නිසා. මේ වන විට පාසල්, පන්සල්, විශ්වවිද්‍යාලවල දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකරනවා. පසුගිය වසරේ රටවල් හයක සංචාරය කරන්න අවස්ථාව ලැබුණා. ඉතාලියේ ජීවත්වන ලංකාවේ දරුවන්ට අංගම්පොර ගැන දැනුම ලබාදෙන්න හැකි වුණා. ඒ ගැන ගවේෂණය කරන්න ඔවුන් ලබන මස ලංකාවට පැමිණෙනවා. ඒ නිසා මම මේ කරන කාර්යයේ වටිනාකම තිබෙනවා. අපේ සටන් කලාව පෙන්වන්න අපිට අවශ්‍ය වෙනවා. අංගම්පොර සටන් ශිල්පියෙක් කියන්නේ පරිසරයට ස්වභාව දර්මයට ආදරය කරන කෙනෙක්. අපි එය මේ තුළින් කියලා දෙනවා. පැළ සිටුවීමේ සිට භූමිය රැකගැනීමේ අවශ්‍ය දේවල් පවා අප සිදුකරනවා. මම මේ සටන් කලාව විකුණන් කන්නේ නැහැ. මට රැකියාවක් තිබෙනවා. මේ තුළින් ලැබෙන මුදල් භූමිය වෙනුවෙන්, ශාසනය වෙනුවෙන් යොදවන්නේ. මේ ශිල්පයට කැමති පිරිසක් එය ඉගෙන ගන්න එනවා. තව අය මේ ගැන ගවේෂණය කරමින් ඉගෙන ගන්න එනවා. තවත් අය කෙටි කලකින් රංගන ශිල්පියෙක් ලෙස ජනප්‍රිය වීමේ අරමුණ ඇතිව එනවා. මෙවැනි පිරිසකට ශිල්පය ලබාදෙන ගමන් මෙය රැකගෙන ඉදිරියට පත්වාගෙන යා යුතුයි කියන පිරිසත් එක්ක එකතුව මම ඒ වෙනුවෙන් වැඩකටයුතු සිදුකරනවා.

 

ඉදිරියේදී කර්මාන්තය තුළ වෘත්තීය මට්ටමෙන් නියැළෙන්න අපේක්ෂාවක් තිබෙනවද?

මේ වන විටත් මම මගේ රැකියාවට මුල් තැන ලබාදී තිබෙන්නේ. සිනමාව ගත්තත්, ටෙලිනාට්‍යය ගත්තත් හැමදාම සටන් ශිල්පියෙක් ලෙස කටයුතු කරන්න අවස්ථාව හිමි වෙන්නේ නැහැ. සිනමා කෘතියෙන් කෘතිය වෙනස් වෙනවා. මේ නිසා මෙය රැකියාවක් කරගෙන මේ තුළින් යැපෙන්න බැහැ. ඉදිරියේදීත් එවන් අවස්ථාවක් ඇති වෙයි කියලා හිතන්න බැහැ. එහෙම යැපෙන්න ගියොත් පවුල් ජීවිත හා ජීවිතේ බොහෝ දේවල් කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා රැකියාවත් ආරක්ෂා කර ගනිමින් හොඳ නිර්මාණයක් භාරගෙන කටයුතු කිරීම තමයි සිදුකරන්නේ.

 

මතක් කළ යුතු පිරිසක් ඇති ?

මගේ ගුරුතුමා වන කේ. සුනිමල් ප්‍රනාන්දු මෙහිදී මතක්කළ යුතුයි. මාත් සමග සටන් අධ්‍යක්ෂණයට යොමුවන සුමුදු අමල්කත් මෙහිදී මතක් කළ යුතුයි. මාත් එක්ක සම්මානය සඳහා නිර්දේශ වුණ අයත් මතක් කළ යුතුයි. ඔවුනුත් මෙවැනි සම්මානයක් ලබාදීම ගැන ගොඩක් සතුටු වුණා. ඒ වගේම මගේ බිරිඳත්, දරුවන් දෙදෙනාවත් මතක් කළ යුතුයි.

 

නිදුක් මදුෂික

 

 2018-11-07-ent-72