පවතින දේශපාලන ක්‍රමයේ ඛේදවාචකය කල් තියාම දුටු ශ්‍රී ලාංකේය නාට්‍ය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-12-06-ent-48

මේ වනවිට දේශපාලනික වශයෙන් බොහෝ දෙනා දේශපාලනඥයන් පිළිබඳ දැඩි කලකිරීමකින් පසුවන අතර, පවතින ක්‍රමය වෙනස් කරන තුරු රටක සංවර්ධනයක් සිදු නොවන බවට සිතන මධ්‍යස්ථ ප්‍රජාවක්ද සිටිති. එහෙත් මෙය ශ්‍රී ලාංකේය නාට්‍යකරුවා දුටුවේ අදක ඊයේක නොවේ. පවතින මජර දේශපාලනය පිළිබඳ සර්වකාලීන වූ නාට්‍ය නිර්මාණ හැට,හැත්තෑව දශකයෙන් පසු බිහිවන්නේ මේ අනුවය. එබැවින් එවන් නාට්‍ය කෘති පහක් පිළිබඳව සටහනක් තැබීමට අප සිතුවේ එබැවිනි.

“අන්දරේලා”

සමකාලීන සමාජය තුළ විවිධ වෙස් පාමින් රටම හිනස්සන අන්දරේලාගේ කතා වස්තුව පාදක වන “අන්දරේලා” නාට්‍යය, පාලකයන් සහ පාලිතයන් පසුගිය දශක ගණනාව මුළුල්ලේම රට අගාධයකට හෙළමින්, එහෙත් නිබඳවම කවට කතා කියමින් හිනස්සන ආකාරය මනාව පිළිබිඹු කරන්නකි. ආචාර්ය ජයලත් මනෝරත්නයන් නිර්මාණය කළ මෙය, ගැමි නාටක ආභාසයෙන් නිර්මාණය කළද එහි සම්පූර්ණ හරය ආචාර්ය ජයලත් මනෝරත්නයන් ඉතා අපූරුවට එම නාට්‍යයේ එන ගීතයක ඛණ්ඩයකින් අපූරුවට විස්තර කරයි. එය මෙසේය.

 

“රට යනවා පරදේසෙට

අපි යනව පරලෝකෙට

අන්තිමේදී බලපුවාම

අන්දරේලා අපි සේරම”

 

ඔහු මෙසේ පවසන්නේ පවතින ක්‍රමය වෙනස් කළ යුතු බව ජනතාව දන්නා නමුදු ඔවුන් විසින්ම එම ක්‍රමයම පවත්වාගෙන යෑමට පාලකයන්ට උඩගෙඩි දෙන බැවිනි. එනම් වැඩවසම් සමාජයෙන් ඉවත් වූ බව කියන ලක්දිවේ, එදා මෙන්ම අදත් එම ජනතාව දේශපාලකයන්ට සිනාසෙමින් ඔවුන් අන්දරේලා ලෙස ඔවුන්ම දුටු නමුත් එම පාලනයෙන් ආස්වාද රතියේ යෙදුණු බැවිනි. එබැවින් එය වෙනස් කිරීමට උත්සාහ නොකළ ඔවුන් පිටස්තරයකුට හාස්‍යය දනවන්නේ මෙම ජනතාව තමන්ටම සිනාසෙනු දැක එයින්ම කුල්මත් වීමට තරම් විකෘති තත්ත්වයකට පත්වී ඇති නිසාවෙනි.

එය එම ජනතාව දෙස පිටස්තරයකුගේ දෘෂ්ටියෙන් බැලූ කල අපට මනාව පිළිබිඹු වන්නේ එම ජනතාවද පාලකයන් මෙන්ම දැන් අන්දරේලා බවට පත්ව ඇති බැවිනි. මන්ද තමන්ගේ නිවටකමට සිනාසෙන පාලකයන්ට තමාත් සිනාසෙන්නේ කුමන රටකද? “අන්දරේලා” වේදිකා නාට්‍යය නිර්මාණය කර වසර විසි පහක් ගතවන මේ මොහොතේදීද එය වලංගු වන්නේ එහෙයිනි.

එබැවින් ඒ වෙනුවෙන් රටට සෙත් පතා ශාන්තිකර්මයක් කළ යුතු බව ඔහු නාට්‍ය ආරම්භයේදීම යෝජනා කරන්නේ ශාන්තිකර්මයක් ආකාරයෙන් නාට්‍යයේ පූර්විකාව ආරම්භ කරමිනි. ඒ “රටක් නැතුව රජෙක් මොටද?” යැයි මනෝ අපෙන් එදා සිටම අසන්නේ එදත් අදත් රට පාවා දුන් පාලකයන් සිටි බැවිනි. රටේ පාලනයට පැමිණ ඔවුන් එදත් දෙපැත්තටම විහිළු කළ බැවිනි.

 

2) “බෙර හඬ”

බන්දුල ජයවර්ධනයන් විසින් නිර්මාණය කරන ලද අතිවිශිෂ්ට නාට්‍ය කෘතියක් වන “බෙරහඬ”, මෑතකදී ටවර් හෝල් නිෂ්පාදනයක් ලෙසද වේදිකාගත විය.&හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්” යන ජනප්‍රිය ගීතය ඇතුළත් මෙම නිර්මාණයේ ප්‍රධාන කතා පුවත දිව යන්නේ හරක් හොරා සෙවීමට යක්ෂ ගෝත්‍රිකයන්ට බාර දෙන හිරු දෙවියන් වටාය.

ඒ වෙනුවෙන් ඔවුන්ට රත්තරනින් ගෙවන බවද හිරු දෙවියන් පවසයි. එය පවසන්නේද මුළු සක්වළේම නායකයා වන හිරු දෙවියන් බැවින් යක්ෂ ගෝත්‍රිකයන් සිතන්නේ එම පොරොන්දු ඉෂ්ට වනු ඇත කියාය. එබැවින් ඔවුහු සියලු දුක් කම්කටොලු විඳ දරා ගනිමින් හරක් හොරා සෙවීමේ මෙහෙයුම අරඹති. ඒ අනුව හරක් හොරා සොයා ගන්නා ඔවුහු ඔහුව හිරු දෙවියන් වෙතට ඉදිරිපත් කරයි. එහෙත් හරක් හොරා අන් කවරෙකුවත් නොව හිරු දෙවියන්ගේ පුත්‍ර රත්නයය. එබැවින් එම පොරොන්දුව ඉෂ්ට නොවෙන යක්ෂ ගෝත්‍රිකයන්ට අවසානයේදී අත්වන්නේ සුපුරුදු ඉරණමමය. ඒ හරක් මරා පුත්‍ර රත්නය සෑදූ බෙරයද ගෙන හිරු දෙවියන් යළිත් සිය ලොවට වැඩම කර බැවිනි. එහෙත් හිරු දෙවියන්ගෙන් ඔවුන්ට අලුත් ව්‍යාපෘතියක් ලැබෙන්නේ හරක් මරමින් මෙවැනි බෙර තව තවත් ලෝකයට සැපයීමටය.

 

3.) සුභ සහ යස

ජනප්‍රිය රජ කතාවක් වන යසලාලකතිස්ස රජු පාදක කර ගනිමින් සාහිත්‍යසූරී සයිමන් නවගත්තේගමයන් විසින් රචනා කරන ලද “සුභ සහ යස” නාට්‍යය, බීමතින් රට පාලනය කරනු ලබන යසලාලකතිස්ස රජුන්ට එරෙහිව ඇරැඹෙන අරගලයක් පාදක වූවකි. කෙසේ නමුත් යසලාලකතිස්ස රජුද පවතින ක්‍රමය යටතේ රජකම් කිරීමෙන් විඩාවට පත්ව ඇති හෙයින් රජකම ඔහුගේ දේහ ලක්ෂණවලින් යුත් නිවුන් සොහොයුරා වෙත පවරන්නේ ඔහු තමාගේ ප්‍රතිවාදියා යැයි නොදැනය. එනම් සුභ හෙවත් අරගලයේ නායකයාට රජකම බාර දෙන යසලාලකතිස්ස රජු, සුභට ලබා දුන් ආරක්ෂක තනතුර තමා භාර ගන්නේ සැහැල්ලු බව උරුම කර ගනිමිනි.

එහෙත් අරගලකරුවන් අතින්ම අවසානයේදී නොසිතූ මොහොතක යසලාලකතිස්ස රජු මිය යන්නේ, සුභ රජකමේ සිටින මොහොතකය. ඒ අනුව ඔහුද පවතින ක්‍රමයේ ගොදුරක් බවට පත්ව කිසිවක් කරකියා ගත නොහැකි පාලකයකු බවට පත් වේ. නාට්‍ය අවසානයේදී ඔහුද යසලාලක රජ්ජුරුවන් මෙන් බීමතින් හැසිරීම ආරම්භ කරන්නේ එබැවිනි.

 

“රාජ කපුරු”

සිරිසේන ප්‍රේමලාල්ගේ නාට්‍ය පිටපතකට අනුව ජනක් ප්‍රේමලාල් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට නාට්‍ය කෘතියක් වන “රාජ කපුරු” අදටත් ලංකාව පුරා වේදිකා වන්නකි.& සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි” යන ජනප්‍රිය ගීතය ඇතුළත් මෙහි කතාව දිව යන්නේ හදිසියේ අභාවප්‍රාප්ත වන රජු නිසා අස්ථාවරත්වයට පත්වන රටේ පාලක තනතුරට පඹයෙකු පත්වීම හේතුවෙන් සිදුවන සිදුවීම් මාලාවක් වටාය.

ඒ රාජ නීතියට අනුව එවැනි අවස්ථාවක් මතුවුවහොත් මඟුල් හස්ති රාජයා රට පුරා සංචාරය කර පාලකයෙකු තෝරාගත යුතු බව එහි සටහන්ව ඇති බැවිනි. එනම් කෙනෙකු ඉදිරියේ මගුල් හස්ති රාජයා දණ්ඩ නමස්කාර කළහොත් ඔහු රටේ රජකමට පත්වන බව රාජ නීති පොතේ ලියැවී ඇත. එබැවින් එක්තරා ගැමියෙකුගේ කුඹුරක හිටවා තිබූ පඹයකු ඉදිරියේ මඟුල් හස්ති රාජයා දණ්ඩ නමස්කාර කිරීම නිසාවෙන් රජකමට පත්වන පඹ රජු සිහි විකලෙන් හැසිරෙන ආකාරයත්, රටේ රජු පඹයකු බැවින් මහ ඇමැති සහ පුරෝහිත පවතින ක්‍රමය කූට ලෙස ඉදිරියට පවත්වාගෙන යෑමට උත්සාහ කිරීමත් වටා මෙහි සන්දර්භය ගලා යන්නේ ශ්‍රී ලාංකේය දේශපාලනය උපහාසයට නංවමිනි.

 

“සෙක්කුව”

පරාක්‍රම නිරිඇල්ල විසින් නිර්මාණය කරන ලද විශිෂ්ටතම නාට්‍යයක් ලෙස බොහෝ විචාරකයන් සඳහන් කරන “සෙක්කුව”, බොහෝ දෙනාට සිහියට නැගෙන්නේ “රාළේ බැඳපන් කිරි පුස්සා රාළේ බැඳපන් අපේ පැඟිරා” ගීතයත් සමගිනි. වියපත් කිරි පුස්සා නිසා සරු බිම සොයා ගැනීමට නොහැකිව ළතැවෙන ගැමියාට,තමා ඉල්ලූ සරු බිම වෙනුවට අත්වෙන ඉරණම ඛේදාන්තයක් නිරූපණය කරන මෙම නාට්‍යය, ජනතාවගේ සදාකාලීන ඉරණම අපූරුවට සංකේතවත් කරන්නකි.

එනම් සෙක්කුවේ ධාවනයේ යෙදෙන එක් ගොනෙක් පවත්වාගෙන යෑමද අසීරු සහ නිෂ්ඵල මොහොතක ඒ වෙනුවට බල අරගලයකට ගොදුරු වන ගැමියාට අවසන ගොන්නු දෙදෙනෙකු බැඳගෙන සිය ගමන තවදුරටත් නිෂ්ඵල කර ගැනීමට සිදුවන්නේ එක් පිරිසක් කිරි පුස්සාටත්, අනෙක් පිරිස පැඟිරාටත් සහාය දැක්වීම හේතුවෙනි. ඒ එසේ නොමැති වුවහොත් තවදුරටත් ජීවත්වීමේ අයිතිය ඔහුට අහිමි වන බැවිනි.

මීට අමතරව තිස්ස ගුණවර්ධනගේ ළමා නාට්‍යයක් වන “සමනළ කන්ද” මෙන්ම හෙන්රි ජයසේනගේ “හුණුවටයේ කතාව” නාට්‍යයේද, දයානන්ද ගුණවර්ධනගේ “ජසයා සහ ලෙංචිනා” නාට්‍යයේද මෙම පීඩිත පන්තිය සහ බල අරගලය පිළිබඳ යම් සාකච්ඡාවක් ගෙන ඒමට උත්සාහ කර තිබේ.

 

මාලන් විදානපතිරණ

 

2018-12-06-ent-47