තාත්තයි, පුතාගෙයි, මවකගේ සෙනෙහසයි, මුසු වෙච්ච ප්‍රසංගයක් තමයි මේ ‘තාත්තයි - පුතයි’ ප්‍රසංගය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-06-ent-51

ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධනගේ ගායන දිවියට වසර 40ක් පිරීම හේතුකොට ගෙන සංවිධානය කළ ‘තාත්තයි - පුතයි’ ප්‍රසංගය මෙම මස 09 වැනිදා මහරගම තරුණ සේවා සභාවේදී සවස 6.30ට පැවැත්වීමට නියමිතය.

නුවන් ගුණවර්ධනයන්ගේ පුතු වන ගයාන් ගුණවර්ධන ඔස්සේ නුවන් ගුණවර්ධනයන්ගේ සිහින සැබෑ කර ගැනීමේ මාවතක් ලෙස මෙම ප්‍රසංගය හැඳින්විය හැකිය. එම ප්‍රසංගය පිළිබඳව කතාබහ කිරීමට ගයාන් ගුණවර්ධන මෙලෙස අපත් සමග එක්විය.

 

‘තාත්තයි පුතයි’ කියන්නේ මොකක්ද?

‘තාත්තයි පුතයි’ කියන්නේ අපේ ප්‍රසංගයයි. මේකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. නුවන් ගුණවර්ධන කියන ගායන ශිල්පියාගේ වසර 40ක සංගීත දිවිය සමරන්න එක වෙනුවෙන් තමයි මේ ප්‍රසංගය ප්‍රධන වෙන්නේ. ඊට අමරතව නුවන් ගුණවර්ධන අවුරුදු 08කට පසුවයි ප්‍රසංගයක් පවත්වන්නේ.

2018-12-06-ent-52

මේ ප්‍රසංගයේ ඇති වෙනස ගැන කිව්වොත්?

2010 වෙනකන් එයා කරලා තිබ්බේ ‘නුවන් ගීත මාලා’ කියලා ප්‍රසංගයක්. 2018 ඉඳලා අපි දැන් අලුත් ප්‍රසංග මාලාවක් පටන් ගන්නවා. ‘තාත්තයි පුතයි’ කියන තේමාව යටතේ මායි - තාත්තයි (නුවන් ගුණවර්ධන) ප්‍රසංග මාලාවක් ආරම්භ කරන්න ඉන්නේ. ඉතිං එහි පළමු ප්‍රසංගය දෙසැම්බර් මාසේ 09 වැනිදා මහරගම යොවුන් රඟහලේදී තමයි පටන් ගන්නේ. මෙහිදී අපිත් එක්ක යුග ගායනයෙන් අමිලා නදීශානී, උරේෂා රවීහාරි, කාවින්ද්‍යා අධිකාරි, චමිලා තුෂාරි වැනි ගායන ශිල්පිනියන් එකතු වෙනවා. මෙහි කථනයෙන් වසන්ත රෝහණ මහත්මයා දායක වෙනවා, ඒවගේම සංගීතයෙන් තිළිණ තුෂාර ප්‍රමුඛ 15 දෙනෙක්ගෙන් යුත් වාද්‍ය වෘන්දයක් එකතු වෙනවා.

බටහිර සංගීතයෙන් වෙනම දෙයක් අපි සූදානම් කරලා තියෙනවා. ඒ මම සහ ගයාන් උඩවත්ත අපි එකතු වෙලා කරන සංගීත කණ්ඩායම වන ‘ප්ල්ස් මයිනර්ස්’ කියන සංගීත කණ්ඩායම එක්ක. මෙහිදී එකෝස්ටික් වෙස්ටර්න්වලින් වෙනසක් අපි කරන්න සූදානම් වෙනවා. ඊට අමතරව මෙම ප්‍රසංගය තුළදී වෙනස්කම් ගොඩක් සිදුකරන්න අපි සූදානම් වෙනවා. මොකද අපි එක රාමුවකට කොටු වෙලා නැහැ. හින්දි, බටහිර ගීත, චිත්‍රපට ගීත, ටෙලි නාට්‍ය ගීත, නුවන් ගුණවර්ධන මහත්මයාගේ ගීත, ජෝතිපාල මහත්මයාගේ ගීත වගේම මගේ ගීතත් අපි මෙහිදී ගායනා කරන්න සූදානම්. ඒ වගේම මගේ තාත්තාගේ (නුවන් ගුණවර්ධන) ගීත මම ගායනා කරනවා. මගේ ගීත තාත්තා ගායනා කරනවා. ඒ වගේම අපි එකතුවෙලා ගීත ගායනා කරනවා. හින්දි මෑෂප් වගේම වෙනස්කම් රාෂියක් මේ ප්‍රසංගය තුළ සිදුවෙනවා කියලා කියන්න පුළුවන්.

 

‘තාත්තයි පුතයි’ ප්‍රසංගය කාගේ අදහසක්ද?

ඇත්තටම ලංකාවේ පිය - පුතු ප්‍රසංග ගොඩක් තියෙනවා. හැබැයි පියා මියැදුනාට පස්සේ පුතාලා පියාගේ ගීත ගායනා කරනවා. බොහෝ දුරට අපි ඒවගේ ප්‍රසංග තමයි දැකලා අහලා තියෙන්නේ. මෙහිදී ජීවමාන සජීවීව පියෙක් - පුතෙක් එකම වේදිකාවේ ඔවුන්ගේ ගීත බෙදා හදාගෙන ගායනා කරනවා. යුග ගීත ගායනා කරද්දී යුග දෙකක් සමග ගායිකාවන්ට ගායනා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒවගේ ප්‍රසංගයක් ලංකාවේ පළවැනි වතාවට තමයි වෙන්නේ කියලා තමයි මම හිතන්නේ. මේ සංකල්පය තාත්තාගේ. ඔහුට තමයි මේ අදහස එන්නේ. ඔහුගේ නිර්මාණයක් තමයි මම (ගයාන් ගුණවර්ධන). එක්තරා විදිහකට ඔහුට ලබාගන්න බැරිවුණ දේවල් සහ ඒ හැමදෙයක්ම මං (ගයාන් ගුණවර්ධන) තුළින් දැකීමේ ලොකු අශාවක් ඔහුට තියෙනවා. ඒ හැමදෙයක්ම එළිදක්වන්න සූදානම්. ගයාන් ගුණවර්ධන කියන කලාකරුවව බිහිකරන්න ඔහු සූදානම්. ඔහුගේ අඩිපාර මේ ‘තාත්තයි - පුතයි’ ප්‍රසංගයේදී රිලේ එක යන්න බැටන් පොල්ල දෙන්න ඔහු සූදානමින් ඉන්නේ. තාත්තයි - පුතාගෙයි සෙනෙහස, මවකගේ සෙනෙහස, පවුලක ආදරය කියන දේවල් වැනි හැමදෙයක්ම මුසු වෙච්ච ප්‍රසංගයක් තමයි මේ ‘තාත්තයි - පුතයි’ ප්‍රසංගය.

 

මීට කලින් මේ දේ කළා නම් හොඳයි කියලා හිතෙනවද? නැත්නම් ඒකට සුදුසුම කාලය මේකද?

මීට කලින් කරන්න තිබ්බා. නමුත් එහෙම කළා නම් අසාර්ථක වෙන්න තිබ්බා. මොකද මම මේ ක්‍ෂේත්‍රයට ඇවිල්ලා තාම ටික කාලයයි. ඒ 2013 – 2014 වගේ කාලයේදීයි. මාව කවුරුත් අඳුන ගන්නේ නැහැ. නමුත් මගේ පියා කියන්නේ සංගීත කලාව තුළ ප්‍රවීණයෙක් වගේම අතිදක්ෂ පුරාවෘත්තයක්. ඔහුට සම වීම මට කවදාවත් කරන්න බැරි දෙයක්. නමුත් මගේ පාරේ, මගේ විදිහට, සංගීත රටාවන් එක්ක නමක් හදාගෙන යන ගමනක තමයි මම ඉන්නේ. මීට කලින් මම මේ ප්‍රසංගය කළා ඒ කාලේ මගේ ගායන හැකියාවත් දුර්වලයි කියලයි මම හිතන්නේ. මගේ හැමදෙයක්ම අඩු කාලෙක මේ දේ කළා නම් මේ තරම් සාර්ථකව මේ ප්‍රසංගය කරන්න බැරිවෙයි කියලා මම හිතනවා. මේ හැම දෙයකටම ගැළපෙන වසර තමයි 2018 කියන්නේ. ඉතිං මේ වෙනකොට මටත් ආදරේ කරන සුළු පිරිසක් හැදිලා ඉන්නවා. ඒ වගේම මගේ පියාට ආදරය කරන විශාල පිරිසක් ඉන්නවා. ඉතිං අපි දෙදෙනාටම ආදරණීය ප්‍රේක්ෂකාගාරයක් හැදෙනවා. ඉතිං 2018 තමයි මෙයට සුදුසුම වසර. මීට කලින් මෙය කළා නම් අසාර්ථක වෙන්න තිබ්බා.

 

ඔබ ගායනයට අමතරව නිවේදකයෙක් වගේම රංගන ශිල්පියෙක් නේද?

ඔව්, ‘TV 1’ නාළිකාවේ ‘දඟරැල්ල’ කියන වැඩසටහනේ නිවේදකයා ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම ‘හිතුවක්කාරයා’ ටෙලි නාට්‍යයේ චතුරිකා පීරිස් සමග ප්‍රධාන චරිතයට මම රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මම ශබ්ද පරිපාලන ඉංජිනේරුවරයෙක් විදිහටත් කටයුතු කරනවා. ‘ප්ලස් මයිනර්ස්’ කියලා සංගීත කණ්ඩායමක් කරනවා. මම ඇකඩමි එකක් කරනවා. මේ හැමදෙයක්ම කරන ගමන් තමයි මම මේ ගමන යන්නේ.

 

ඔබ රංගනයට යොමු වුණේ කොහොමද?

2016දී ‘TV1’ නාළිකාවේ බුද්ධික වික්‍රමාදර මහත්මයා මට ආරාධනා කරනවා නිවේදන කටයුතු පටන් ගන්න. ඉතිං නිවේදකයෙක් වශයෙන් ඔහු මට වැඩසටහන් කිහිපයක් දෙනවා. සතියේ දවස් පහේම විකාශය වන ‘දඟරැල්ල’ වැඩසටහන තුළින් ජනප්‍රියත්වයක් ලැබෙනවා. ඒ නාළිකාවේ වැඩකටයුතු වෙද්දී තමයි ලංකාවේ ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු වන ෂර්ලි. පී. දෙලංකාවල මහත්මයා ඔහුගේ අලුත්ම ටෙලි නාට්‍ය වන ‘හිතුවක්කාරයා’ කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය කරන්න මට ආරාධනා කරන්නේ. චාමර ප්‍රසන්න කොඩිතුවක්කු රචනා කරන, ස්ටයින් ස්ටූඩියෝ නිෂ්පාදනයක් වන මෙම ටෙලි නාට්‍යය මේ වනවිට විකාශය වෙනවා. ඒක සෑහෙන්න සාර්ථක වෙලා තියෙනවා. එහෙම තමයි මට රංගනය අවස්ථාව ලැබෙන්නේ.

 

ඔබේ ගීත නිර්මාණ ගැනත් කිව්වොත්?

මගේ පළවැනි ටෙලි නාට්‍යය ගීතය තමයි සිරස ටීවී එකේ ‘ආදරේ ගින්දරක්’ ගීතය. 2016දී තමයි එම නිර්මාණය කරේ. ඊට පස්සේ හිරු නාළිකාවේ ‘නිසල සඳ ඔබ’, ITN නාළිකාවේ ‘ගිම්හාන සඳ’ උරේෂා රවීහාරි මහත්මිය සමග. ඒ වගේම මගේ ගීත වන ‘ආයෙමත් එනවාදෝ ඔයා’, ලතින් ගීතයක් වන ‘ඉසබෙලා’ ගීතය, ‘ලා සඳ එළියේ’, ‘දින සති’, ‘නිල් දෑසින්’ වැනි ගීත කිහිපයක් නිර්මාණය කරලා තියෙනවා. මටම කියලා ගීත 07 – 08ක ප්‍රමාණයක් නිර්මාණ කරලා තියෙනවා. ප්‍රියංක රත්නායක මහත්මයා සමග චිත්‍රපට ගීතයක් ගායනා කළා. මේ වගේ ගීත කිහිපයක් තමයි දැනට මට තියෙන්නේ.

 

ඔබේ ඉදිරි කටයුතු සහ බලාපොරොත්තු ගැන කිව්වොත්?

‘තාත්තයි - පුතයි’ ප්‍රසංගයට දැනට සෑහෙන්න හොඳ ප්‍රතිචාර තියෙනවා. ප්‍රවේශපත්‍ර මේ වෙද්දී ගොඩක් දුරට අලෙවිවෙලත් තියෙනවා. ‘තාත්තයි - පුතයි’ ප්‍රසංගය සඳහා දෝහා සහ ඕස්ට්‍රේලියාවලින් ආරාධනා ලැබිලා තියෙනවා. ලංකාවේ හැම තැනකට මෙම ප්‍රසංගය ගෙනියන ගමන් විදේශගත වෙලා ඉන්න අපේ ආදරණීය රසිකයන්ටත් මේ ප්‍රසංගය අරගෙන යන්න අපි සූදානම්. මේ ‘තාත්තයි - පුතයි’ මුළු කණ්ඩායමම එකතු කරගෙන අපි සූදානම් ලෝකේ වටේටම මේ ප්‍රසංගය ගෙනියන්න. 2019 වසරේදී මගේ අලුත්ම ටෙලි නාට්‍යය රූගත කිරීම් ආරම්භ කරනවා. ඊට අමතරව මගේ අලුත්ම ගීතය වන ‘දිලෙන තොල්’ ගීතයේ රූප රචනාව 2019දී දැකබලා ගන්න පුළුවන්කම තිබෙනවා. මේ වැඩටික තමයි හරිම නිදහසේ ඉබි ගමනින් කරගෙන ඉන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සුමුදු හේවාපතිරණ