සේකරට තිබුණේ වෙනස්ම ඇහැක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-09-ent-51
 

සේකර කේසර සිංහයෙක්!

ඒ තමා මගේ හෘද සාක්ෂිය. පටන්ගත්තෙ කොතනින්ද කියලා මතක නෑ මට ඔහු කියවන්න.... ප්‍රබුද්ධ ළඟ මගේ මතකය නතර කළ මොහොත් සිට...සුසානය නොවේ අවසන,තිඹිරිගෙය නොවේ ඇරඹුම,මරණය දිගු ගමනකනවාතැන් පොළක් පමණය... 

අස නැවතුණ මොහොත දක්වා සේකරගේ පන්හිඳෙන් ජනිත හැම අකුරක්ම එකතු වෙච්ච නවාතැන්පොළ මට මහා අහසක්. නැවත නැවත.... ඔව්, නැවත නැවත කියවපු තැන් විඳපු තැන් උදුරලා අරගෙන හදවතේ හංගගත්ත තැන් එමටයි. කොහොමද ඉතින් මම නිර්වචනය කරන්නෙ සේකරව. කියවන්න කියලා විතරයි කියන්න හිතෙන්නෙ මට... ජීවිතය සුන්දර කවියක් ලෙසත් මහා දර්ශනයක් ලෙසත් දුටු සේකරව.විමුක්තිට කතාකරද්දි විමුක්ති නතර වුණෙත් තුංමන් හංදිය ළඟ... මට දැනෙන සේකරව විමුක්තිට දැනෙන්නෙ කොහොම කියලා අහන්න දැන් මම නතර වෙන්නෙ විමුක්ති ළඟ.....

විමුක්ති ජයසුන්දර කියන්නෙ අපේ රටේ ඉන්න තවත් දක්ෂයෙක්. සිනමාව ගැන අමුතු රහක් ඇහැක් තියෙන තරුණ කොල්ලෙක්. එයා කරපු හොඳ නිර්මාණ ගොඩක් තියෙනවා... සුළඟ එනු පිණිස කියන්නෙ එයින් එකක්... මම ඒක ගැන විශේෂයෙන්ම කිව්වේ රටේ ගොඩ දෙනෙක් එයාව අඳුරගත්තෙ මේ චිත්‍රපටයෙන් නිසා... 

 

සේකර ගැන විමුක්තිගෙන් දැනගන්න කලින්... විමුක්ති මේ දවස්වල මොනවද කරන්නෙ කියලා දැනගෙන ඉමුද?2019-01-09-ent-52

පහුගිය දවස්වල ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම එක්ක එකතුවෙලා තුන්දෙනෙක් කියලා චිත්‍රපට තුනක් නිර්මාණය කළා... තව මධ්‍යම වෘත්තාන්ත නිර්මාණයක් පටන් අරගෙන කරගෙන යනවා... කෙටි චිත්‍රපටය කිහිපයකුත් නිර්මාණය කරගෙන යනවා... එහෙම තමයි... විමුක්තිට දැනිච්ච, විමුක්තිව පුදුම කරපු නිර්මාණයක් ගැන විමුක්තිගෙන්ම ඇහුවා.... එයා කලින්ම දන්නවා ඒක. එයා කරපු නිර්මාණයක් වෙන්න බෑ.. කියලා.. මොහොතක් කල්පනා ලෝකයේ තනිවෙලා ඉඳලා... මම කලින් කිව්ව වගේ... එකපාරට ගිහින් නැවතුනේ සේකරගේ තුංමන් හංදිය ළඟ....

 

විශේෂ හේතුවක් ඇති එහෙම වෙන්න... අපි අහලා බලමු...

 මෙහෙමයි... මට දැනිච්ච නිර්මාණ ගණනාවක්ම තියෙනවා... ඒ අතරින් මාව පුදුම කරපු නිර්මාණයක් තමයි සේකර නිර්මාණය කරපු තුංමන් හන්දිය කියලා චිත්‍රපටය.. මම ගොඩක් වෙලාවට ජර්මන් කල්චර් සෙන්ටර්, රුසියන් කල්චර් සෙන්ටර්, ප්‍රංශ කල්චර් සෙන්ටර්වලට ගිහින් චිත්‍රපට නරඹලා... ඒ නිර්මාණ අධ්‍යනය කරනවා... ඒ කාලෙත්ව මට මේ චිත්‍රපටය මුණගැහිලා තිබුණේ නෑ... මීට අවුරුදු පහළොවකට විතර කලින් තමයි මම තුංමන් හන්දිය නැරඹුවේ.  මේක බැලුවට පස්සෙ මට පුදුම හිතුණ කාරණේ තමයි විශේෂයෙන්ම අපේ රටේ සිනමාවේදීන් අතර නවක සිනමාවේදීන්, කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පීන් අතර සාකච්ඡාවක් බැරෑරම් විදියට වුණේ නැත්තෙ ඇයි මේ නිර්මාණය ගැන කියලා. සේකරගේ තුංමන් හන්දිය ලාංකික සිනමාවේ විශිෂ්ඨතම සලකුණක් වෙන්න හේතු තමයි කවියෙක් සහ චිත්‍ර ශිල්පියෙක් තමයි සිනමාවේදියෙක් වෙන්නෙ... බටහිර හෝ ඉන්දියානු හැඩයක් මේ චිත්‍රපටයේ ගෑවිලාවත් නෑ... මේක අපේ රටේ ජනජීවිතයට ආවේණික වෙච්ච නිර්මාණයක්. අපි දන්න අපි බලන ගොඩක් චිත්‍රපටවල ඇතුළේ තියෙන කතාව අරන් බැලුවාම මානව ජීවිතයේ අභ්‍යන්තරය, මානව සම්බන්ධකම්වල අභ්‍යන්තරය ගැන ගවේෂණය කරනවා කියන එක ගැන අපිට එකඟ වෙන්න අමාරුයි. තාමත් අපේ සිනමාව තුළ විඳින්නෙ මුල සිට අග දක්වා යන කතාවක්.. ඒ කතාවේ පොදු අදහසක් තමයි අපි රස විදියට අරගන්නෙ.. මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්නෙ මාමෙකුයි පුතෙකුයි අතර තියෙන මානව බැඳීමක්.... මේ මාමා කලා හැකියාවන්ගෙන් පිරුණු ගමේ හිටපු පිළිගත් කලාකරුවෙක්.. මේ මාමා තමන්ගෙ ජීවිතය මේ පුතා වෙනුවෙන් කැපකරනවා..  සේකර මේ කියන්නෙ තමන්ගෙම ජීවිතයේ කතාව... තමන්ට පුළුවන් වුණේ කොහොමද ටෙක්නිකල් කොලේජ් එකට ගිහින්  ඉගෙන ගෙන සෞන්දර්ය විෂයයන් හදාරලා අවසානයේ ඒ සෞන්දර්ය ආයතනයේම ප්‍රධානියා බවටත් පත්වෙන ගමන්ම ගමක ඉඳලා ඇවිත් නාගරික පරිසරයක ශික්ෂණයක් සහිත කලාකරුවෙක් බවට පත්වෙන්න. ඒකට මූලිකව හේතුවුණු, කැපවුණු පුද්ගලයාගේ ජීවිතාලෝකනය තමයි තුංමන් හන්දිය කියලා කියන්නෙ...

 

මේ චිත්‍රපටයේ විමුක්ති වැඩියෙන්ම කැමති මාමාගෙ චරිතයටද පුතාගේ චරිතයටද?

මම කැමති මාමාට... මාමාට රංගනයෙන් දායක වෙන්නෙ ජෝ අබේවික්‍රම කියන සුවිශේෂී නළුවා... ඔහු අතිශය සියුම් විදියට අතිශය දක්ෂ විදියට ඒ චරිතය නිරූපණය කරනවා. මේ චිත්‍රපටයේ ඉන්න මාමා වගේ චරිත අපි හැමෝගෙම ජීවිතයේදී අපිට හම්බවෙලා ඇති. මාමාගේ භුමිකාවෙන්ම නෙමේ වෙන්න පුළුවන්... එක්කො තාත්තා, නැත්නම් අයියා, එහෙමත් නැත්නම් වෙනත් කෙනෙක් විදියට... තමන්ගේ ජීවිතයේ තමන්ට ළඟාවෙන්න බැරිවුණ දේවල් තවත් කෙනෙකුට ළඟා කර දෙන්න ජීවිතය මිඩංගු කරන චරිත බොහෝ සාර්ථක ජීවිත පිටිපස්සෙ ඕනතරම් ඉන්න පුළුවන්. 

 

විමුක්තිගේ ජීවිතේටත් එහෙම කෙනෙක් හිටියද මේ චිත්‍රපටය මේ තරම්ම දැනෙන්න...?

මෙහෙමයි.. මට මෙහෙම මාමා කෙනෙක් නම් හිටියේ නෑ. එත් මට හම්බවෙච්ච ගොඩක් ගුරුවරු මේ වගේ තමයි... දරැවෙකුගේ මොකක් හරි දක්ෂකමක් දැක්කාම එයාව දිරිමත් කරලා... අපි ගියාට වඩා දුරක් යන්න පුළුන් දරුවෝ කියලා උනන්දු කරපු ගුරුවරු මගේ ජීවිතයට හමුවෙලා තියෙනවා. 

 

මේ නිර්මාණය නරඹද්දි වැඩියෙන් සංවේදී වෙච්ච තැන් එහෙම ඇති නේද?

මේ චිත්‍රපටයේ මුලඉඳලා ගත්තොත් අපේ රටේ චිත්‍රපට නිර්මාණ ශිල්පීන් ගන්න සාමාන්‍ය කැමරා කෝන නෙමේ මේ චිත්‍රපටය භාවිත කරලා තියෙන්නෙ. පටන් ගන්නෙම ළමයින් තුන්දෙනෙක් තුංමන් හන්දියක මුත්‍රා කරන දර්ශනයකින්... ඒ මුත්‍රා පාර පැති තුනකට ගලාගෙන යනවා... ඒක හිතන්නකො කොච්ච වෙනස් ඇහැක් සේකරට තිබුණද කියලා... ඒ වගේ එකක් අපේ රටේ සිනමාවේ මම දැකලා නෑ... මට හිතාගන්න බැරි තරම්මම මේ චිත්‍රපටයේ තියෙන සියලු රූපරාමු විශිෂ්ඨයි... මොකද සේකර කියන්න සිනමාව ඉගෙන ගත්ත කෙනෙක් නෙමේ... කැමරාව විශේෂයෙන් අධ්‍යනය කරපු කෙනෙක් නෙමේ... හැබැයි ඔහුට තිබුණා කැමරා දැනුම අභිබවා යන සෞන්දර්යාත්මක ඇහැක්. කවිය සහ චිත්‍රයම තමයි සිනමාව කියන්නෙ කියලා ඔහු දැනගෙන හිටියා. ලෝකෙට අන්ද්‍රර්ස් අරෝස්කි ඉන්නකොට අපිට ඉන්නෙ මහගම සේකර. මේ චිත්‍රපටයේ අවංකභාවය නිසා ගොඩක් දර්ශන මට ගොඩක් දැනුණු ඒවා තමයි...

 

මේ චිත්‍රපට නරඹලා ඔබට දැනුණු දේ මොනවගේ එකක්ද?

තවත් කෙනෙක් අනෙකා වෙනුවෙන් කැපකිරීම කියන එක, නැත්නම් අනෙකා වෙනුවෙන් ජීවත්වීම අරගල කිරීම මේ චිත්‍රපටයේ හොඳින් පේනවා. මේ සමාජයේ අපි ඉන්නකොට දකිනවා විවිධ කැරැලි, උද්ඝෝෂණ, ජීවිතය පරදුවට තියලා වැඩකරන මිනිස්සු, තවත් පිරිසක් ඉන්නවා මමත්වයෙන් වැඩකරන තමන්ගේ පැවැත්ම වෙනුවෙන් වැඩකරන ඉතා විශාල පිරිසකුත් ඉන්නවා... මට දැනුණු දේ තමයි කැපකිරීම කියන එකට දෙනු වටිනාකම. රුසියාවේ හිටපු අන්ද්‍රර්ස් අරෝස්කිගේ සැක්ටිප්‍රයිස් කියන සිනමාකෘතියෙන් කතාකරන්නෙත් මේ දේම තමයි.. අපිට අවංක විය හැකි අපේ ජීවිතේ කතාවක් තුංමන් හන්දියෙන් සේකර කියන්න උත්සාහ කරනවා. 

 

මේ චිත්‍රපටය ඔබ කී වතාවක් බැලුවද?

ගොඩක් වාරයක් මම මේක බැලුවා... බැලුවා විතරක් නෙමේ මගේ ශිෂ්‍යයින්ට මම නිරන්තරයෙන් පෙන්නන චිත්‍රපටයක් තමයි තුංමන් හන්දිය.

 

මේ චිත්‍රපටය ගොඩක් දෙනෙක් නරඹලා නෑ කියලා හිතෙනවා... ඒකට හේතුව මොකක්ද?

අපේ රටේ සිනමාව තාමත් නිවැරැදි අවදිවීමක් වෙලා නෑ... ඒ වකවානුවෙත් මේ චිත්‍රපටයට අපේ රටේ ඉන්න සම්භාව්‍ය විචාරක පොරවල්ගෙන් බැහැර වෙන්න ඇත්තෙ කුහකත්වය නිසා කියලා මට හිතෙනවා. මහේශාක්‍යය පොරවල් කරන වැඩක් විදියට සිනමාව තිබුණේ ඒ කාලෙ... මේ මනුස්සයා කවියෙක් විදියට ඇවිත් පොත් ලියලා චිත්‍ර ඇඳලා, සමාජයේ වෙනස් ස්ථාරයක් ඉන්න කෙනෙක් විදියට ඇවිත් සිනමා නිර්මාණය කිරීම ගැන ලොකු ගැටලුවක් තියෙන්න ඇති. ලංකාවේ විතරක් නෙමේ, ඒ යුගයේදී මේ වගේ චිත්‍රපටයක් ලෝකෙට ගිය නැත්තේ ඇයි කියලා මට තාමත් හිතාගන්න අමාරුයි...

 

  ► Text - Danushka Wijesiri   /   Pic- Internet