දැන් තියෙන්නේ පගාව අරගෙන සින්දු ප්‍රචාරය කිරීමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-09-ent-53

එදා ස අද සරස ලොකු දුරක් ඇවිත්?

ස ප්‍රසංගය කියන්නේ ඒකපුද්ගල ප්‍රසංගයක් ලෙස දෙස් විදෙස් රටවල අතිසාර්ථකව පැවැත්වූ ප්‍රසංගයක්. මම ස ප්‍රසංග 1,450ක් පැවැත්වූවා. එය නවතා දැමීමෙන් පසු බොහෝ දෙනෙකුගෙන් මට අහන්න සිදුවුණේ දෝෂාරෝපණ. ඒ හිස්තැන මකන්න සරස නමින් ප්‍රසංගය ආරම්භ කළා.

 

ස ප්‍රසංගයේ පැවැති ඒ ගීත අන්තර්ගතයමද සරස ප්‍රසංගය තුළත් තිබෙන්නෙ?2019-01-09-ent-54

ස ප්‍රසංගයෙන් ලද වින්දනය එලෙසම විඳින්න පුළුවන්. නමුත් සරස ප්‍රසංගය තුළ ඉදිරිපත් කිරීම්, තාක්‍ෂණික මෙවලම් භාවිතය අතින් වෙනස් වෙනවා. නමුත් වික්ටර් රත්නායක කියන අනන්‍යතාව එහි තිබෙනවා. 

 

ඔබ ස ප්‍රංසගය නවතා දැමුවේ වැඩි රසික ආකර්ෂණයක් තිබෙන මොහොතක. ඇයි එවන් තීරණයක් ගත්තේ?

මට ගායනය කරන්න බැරුව හෝ වෙනත් දුර්වලකමක් නිසා නෙමෙයි මේ ප්‍රසංගය නවතා දැමුවේ. මට කියන්න වෙනවා පොඩි දෙයක්. කලාකාරයෝ ඉඳහිට ගන්න තීරණ දැඩි දරදඬු තීරණ බවට පත්වෙනවා. ඒක නිසා මටත් මේ වගේ තීරණයකට එකවරම එන්න හිතුණා. ඇත්තෙන්ම එය නොකළ යුතු දෙයක් කියලා පසුකාලීනව හිතෙනවා. කලාකාරයෙක් කියන්නේ තමන්ට පමණක් අයිති පුද්ගලයෙක් නෙමෙයි.

 

ඉන් පසු නිර්මාණකරණයට සක්‍රීයව දායක වුණත්, එය සමාජගත වීමේ අඩුවක් දකින්න ලැබුණා?

නිර්මාණ සමාජයට පැමිණෙන අද පවතින ක්‍රමවේද දිහා බලපුවාම ඒක වෙනම කතාවක්. සමහරු රිගින් ටෝන් වලට ගීත කරනවා. සමහරැ තමන්ගේ ජනප්‍රියත්වය එක රැයකින් ලබාගන්න ගීත ගායනා කරනවා. මම මේ තරුණ පරපුරේ දැක්ක විශේෂ දුර්වලතාව තමයි අනුන්ගේ ගීත කියලා ජනප්‍රිය වීම. ඔවුන්ට තමන්ගේ නිර්මාණ නැහැ. එහෙම ජනප්‍රිය වෙන්න උත්සාහ කරන බහුතරයක් ඉන්න කොට නාළිකාත් යොමු වෙන්නේ ඒ දේ තමන්ගේ ව්‍යාපෘතියක් කරගන්න. අද මෙයට  දාගෙන තිබෙන නමත් වැරදිනේ. ඔවුන් කියන්නේ මෙය රියැලිටි කියලා. රියැලිටි කියන්නේ යථාර්ථය, සත්‍යයනේ. එහෙම නම් රටක සත්‍යය තරුණ තරුණියන් එකතුවෙලා අනුන්ගේ ගීත ගායනා කිරීමද? ගීතයේ සංගීතයේ අනාගතය මොකක්ද? එතැනින්ම ඒ ගමන ඉවරයි. මම මේ ඊර්ෂ්‍යාවකින්, ක්‍රෝධයක්, වෛරයක් උපද්දවාගෙන කතා කරනවා නෙමෙයි. අපි කලාවට ගීතයට ආදරෙයි. මෙවන් තත්ත්වයක් තුළ සිට මම පසුගිය වසර තුළ ගීත හතළිහක් පමණ අලුතින් නිර්මාණය කර තිබෙනවා. නමුත් ඒ ගීතවලට මාධ්‍යය මගින්  තැනක් දෙන්නේ නැහැ දැන්. කොටින්ම අද ගීත සඳහා පැකේජ් නිර්මාණය කර තියෙනවා. එෆ්.එම්. නාළිකාවල වගේම රෑපවාහිනි නාළිකාවල පවා එය තිබෙනවා. ඒ කියන්නෙ පගාව අරගෙන සින්දු ප්‍රචාරය කරන ක්‍රමයක් දැන් තිබෙන්නේ. මෙලෙස පගාව ගන්න අයට ඕන ඒ ගායකයන් ප්‍රසිද්ධ කරන්න. ඒ නිසා අපි වගේ අයගේ ගීත ප්‍රචාරය කරන්න ඔවුන්ට කාලයක් නැහැ. එහෙම වැඩසටහන් ඇත්තෙත් නැහැනේ. ඒක නිසා අපි වැනි අයගේ අලුත් නිර්මාණ මතුවෙන්න විදියක් නැහැ. අපේ ස්වතන්ත්‍ර දේවල් කතාකරලා සාකච්ඡා කරන සංවාදශීලී වැඩසටහන් නැහැනේ. සංගීතය හදාරන සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තරුණ තරුණියන් පවා උත්සාහ කරන්නේ ඔය රියැලිටිවලට ගිහින් අනුන්ගේ සින්දු කියලා ජනප්‍රිය වෙන්න. අපේ සමහර ප්‍රවීණයන් ඒ විනිශ්චය මණ්ඩලවල පවා ඉන්නවා. ඔවුන් අනුන්ගේ සින්දු කියන තරුණයන්ට බොරු වර්ණනාවක් කරනවා. මේක මම හිතේ අමාරුවෙන් කියන කතාවක් නෙමෙයි. ස්වතන්ත්‍ර නිර්මාණයකට වඩා අන්ධානුකරණය කරන තරුණ තරුණියන් ජනප්‍රිය කරන්න උත්සාහ කරනවා. ඒක තමයි මේ වර්තමාන ක්‍රමය.

විවිධ වූ ආකාරයෙන් සංවිධාන නිර්මාණය කර ගනිමින් මේ ගැන කතිකාවතක් ඇති කරන්න උත්සාහ කරන බවක් පේනවා. නමුත් ප්‍රවීණ කලාකරුවෙක් ලෙස ඔබ එයට මැදිහත් වෙන්නේ නැහැ?කතාකරන ක්‍රියාදාමයන් ලෙස පමණයි මම එය දකින්නේ. කතාකරනවා පමණයි ඉන්පසු ප්‍රතිඵලයක් දකින්න නැහැ. ඉන් සිදුවන සෙතක්, සේවයක් අපි දකින්නේ නැහැ. ධනාත්මක දෙයක් සිදුවන බවට දකින්නේ නැහැ. අතළොස්සක් වූ ස්වතන්ත්‍ර නිර්මාණකරුවන්ට, කලාකරුවන්ට මෙයට මොකුත් කරන්න විදියක් නැහැ. මෙයට රජය මැදිහත් විය යුතුයි. රජය මැදිහත්වෙලා මේ කෙරෙන දූෂණ නවත්වන්න ඕන. නාළිකාවක් පවත්වාගෙන යන්න සහතිකයක් නිකුත් කරන්නේ රජයෙන්. මුදලක් අරගෙන තමයි නාළිකාවක් පවත්වන්න අවස්ථාව තියෙන්නේ. එහි ප්‍රමිතියක් තිබෙනවා. එය ප්‍රමිතිගත නොකළොත් විනාශය තමයි සිදුවෙන්නෙ. මෙය ගීතයට, සංගීතයට කරන විනයක් මිසක්, ප්‍රවර්ධනයක් සිදුවෙන්නෙ නැහැ. අපට කරන්න දෙයක් නැහැ. අපි බොහෝම අසරණයි. අපි කියන දේ ගණන් ගන්න කවුරුත් ඇත්තෙත් නැහැ. ඇත්ත පහදා දෙන්න කතා කරන අපේ අදහස්, උදහස්වලට, අපට දොස් නගන මිනිසුන් තමයි බොහෝ ඉන්නේ.

 

කලා ක්‍ෂේත්‍රයට එන නව පරපුර හා ප්‍රවීණයන් සබඳතා බිඳවැටීමට ලක්වෙලාද?

නව පරපුරේ කිසිම කෙනෙක් අපිත් එක්ක කතාබහක් නැහැ. ඔවුන් තමන් ගැනම විනිශ්චයකට එළඹිලා අධිමානයෙන් හිතාගෙන ඉන්නවා. බොහෝ දෙනෙකුගේ කතාව ඒක තමයි. මේ දේ ඇති කළේ එක් රෑපවාහිනී නාළිකාවකින්. අපේ ප්‍රවීණයන්ම විනිශ්චය මණ්ඩලවලට ගිහින් ඒ නවකයන්ට නාස් ලණුව දානවා. සංවේදී ගුණ තියෙන පරපුරක් හදන්න ඕන. ප්‍රවීණයන් තමයි කතා කරන්නෙ. එහෙම ගිහින් බොරු කියන්නේ මොකටද? සත්‍යයක් කියන්න ඕන. හදාරන් නැතුව වදාරන්න බැහැ. දක්‍ෂතා, කුසලතා පරිපූර්ණව තියෙන අය ඉන්නවා. නමුත් ඒ අය යන්නේ වැරදි පාරේ. ඒකයි මම දකින්නේ. ස්වතන්ත්‍ර නිර්මාණයක් ඔවුන්ට නැහැ.   

 

► Text - Dishani  /  Pic - Shameera Rajapakshe