පුතෙක් ඉන්න හැම තාත්තා කෙනෙක්ටම මේ ගීතය දැනෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-09-ent-57

මෑෂප් ගීත කලාව තුළින් සංගීත ලෝකය තුළ වෙනසක් කළ ගායකයෙකු ලෙස ශිවන්ත ප්‍රනාන්දු හැඳින්විය හැකිය. කණ්ඩායම් සංගීතය ඔස්සේ ගායන ලෝකයට පිවිස, ඔහු මේ වන විට ඒක පුද්ගල ගායකයෙකු ලෙසද රසික ආදරය දිනාගෙන අවසන්ය. 2019 වසරේ ආරම්භයේදීම ගායන ලොවට ඔහු සුවිශේෂී ගීතයක්ද තිළිණ කළේය.අති මහත් ප්‍රතිචාර ලැබෙමින් පවතින එම ගීතය පිළිබඳව ඔහු සමග කතාබහක යෙදීමට අප අදහස් කළේ එබැවිනි.

 

2019 කරපු වෙනස ගැන සඳහන් කළොත්?

ඇත්තටම වෙනසක් කියලා ගොඩ දෙනෙක් කිව්වා. ‘සිහින අපේ’ කියලා ගීතයක්. මම පද රචනය කරලා. මමම තනු නිර්මාණය කළ ගීතයක්.මගේ පුතා වෙනුවෙන් තමයි ගීතය කළේ. එයාගේ උපන් දිනය ජනවාරි 01 වැනිදා. ඒ නිසාම එදාම ‘‘Youtube’ මාධ්‍ය හරහා එය එළිදැක්වූවා.2019-01-09-ent-56

 

මෑත කාලයේදී පුතෙකු ගැන ගීතයක් නිර්මාණය වෙලා නැහැ නේද?

ඇත්තටම මට මේ අදහස ආවේ ලංකාවේ මෙවැනි ගීත නැහැ කියන අදහසින් නෙමෙයි. එයා ආවට පස්සේ එයාව හුරතල් කරලා ඒ දේවල් එක්ක මට ඇති වෙච්ච බැඳීම එක්ක.ඒ එක්ක තමයි මට මේ පද ටික ආවා ගලාගෙන ආවේ. ඊට පස්සේ මං ඒකට තනුවක් යෙදුවා. මෙයාගේ උපන් දිනය දවසේ කොහොමහරි එළියට දාන්න ඕනේ කියන සිතුවිල්ලෙන් තමයි හිටියේ. මෑත කාලයේදී මෙවැනි ගීතයක් නිර්මාණ වුණේ නැහැ නම් තමයි. නමුත් පැරැණි මෙවැනි ජනප්‍රිය ගීත තියෙනවා. ඒ නිසා මම මගේ පුතාගේ හැඟීම තමයි ගීතයක් විදිහට ප්‍රකාශ කළේ.

 

ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මම ගීතය ‘‘Youtube’ ජාලයට එකතු කළා මිසක් කිසිම නාලිකාවකට ලබා දුන්නේ නැහැ. දැනට ඒ ටිකට ලැබෙන ප්‍රතිචාර ඇත්තටම හොඳයි. කිසිම නරක ප්‍රතිචාරයක් ආවේ නැහැ. ගොඩ දෙනෙක් කියනවා ගීතයේ තියෙන වචන ටික තාත්තා කෙනෙක්ගේ හිතේ තියෙන වචන ටිකක් කියලා. හැම තාත්තා කෙනෙක්ගෙම හිතේ තිබෙන සිතුම් පැතුම්, වචන, සිතුවිල්ල මේ ගීතයේ තියෙනවා කියලා ගොඩ දෙනෙක් කියනවා. සමහර තාත්තලා මට ගොඩක් ස්තූති කරනවා. පෞද්ගලිකව දුරකතන ඇමතුම් දීලත් ස්තූති කරපු අය ඉන්නවා. පුතෙක් ඉන්න හැම තාත්තා කෙනෙක්ටම මේ ගීතය දැනෙයි කියලා මම හිතනවා.

 

වසරකට ආසන්න කාලයක් නිහඬව හිටියා නේද ?

නිහඬව හිටියා කියනවට වඩා, නිහඬ වෙන්න සිද්ධ වුණා කිව්වොත් වඩා නිවැරදියි. මොකද පහුගිය අවුරුද්දෙදි මං සංගීත කණ්ඩායම එක්ක හුඟක් කාර්යබහුල වුණා. මේ ගීතයේ පවා වැඩ ඉවර කර ගත්තේ රෑ වරු ගණනාවක් නිදියන්නේ නැතුව. හැමදාම අපිට ප්‍රසංග, උත්සව අවස්ථාවලට සහභාගී වෙන්න තිබුණු නිසා අතිශය කාර්යබහුල වුණා. ඒ නිසා තමයි නිහඬව ඉන්න සිද්ධ වුණේ. හැබැයි මේ අවුරුද්දේදි නම් ගීත කිහිපයක්ම එළිදක්වන්න සැලසුම් කරලා තියෙනවා. මාර්තු පමණ වෙද්දි මගේ අලුත් මෑෂප් එකකුත් නිකුත්වෙන්න නියමිතයි. ඒකේ වැඩ කටයුතුත් සෑහෙන්න දුරට අවසානයි. ආයේ අවුරුද්දේ මැදදි මගේම ගීතයක් නිකුත් වේවි. මේ අවුරුද්දේදි ගිය අවුරුද්දටත් එක්ක හරියන්න වැඩ ටිකක් කරන්න තමයි හිතන් ඉන්නේ.

 

සංගීත කණ්ඩායමෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද?

ඔවුන් විශාල සහයෝගයක් දක්වනවා. මම තනියෙන් ප්‍රසංගවලට සහභාගී වෙන්න යනකොට පවා ඔවුන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. මේ ගීතයට රෙකෝඩින් ස්ටූඩියෝ එක පවා සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි ලබා දුන්නේ. රෙකොඩින් චාර්ජස්වලට එක සතයක්වත් මගෙන් ගත්තේ නැහැ. මම එහි උපකරණ භාවිතා කළා. එහි සියලු පහසුකම් මට නොමිලේ ලබා දුන්නා. වාදන සහය මගේ සංගීත කණ්ඩායමේ සහෝදරයන්ගෙන් ලැබුණා. ඒගොල්ලෝ පුළුවන් විදිහට හැම තිස්සේම මට සහයෝගය දක්වනවා.

 

එළිදක්වන්න ඉන්න ගීත ගැන කිව්වොත්?

වේග රිද්මයට යන මෑෂප් එකක් තමයි ඉදිරියේදී එළිදක්වන්න ඉන්නේ. අනෙක් මගේ ගීතය නම් ඉතාමත් රසවත් ගීතයක් වෙයි කියලයි මට හිතෙන්නේ. ඒක අරුණ ගුණවර්ධන අයියා තමයි තනු නිර්මාණය කළේ. එහි ඕඩියෝව නිර්මාණය කරල අවසානයි. මියුසික් වීඩියෝව තමයි කරන්න ඉන්නේ. ආදර ගීතයක් විදිහට බොහොම සීරුවට ගමන් කරන ගීතයක් කිව්වොත් වඩා නිවැරදියි.

 

ක්ෂේත්‍රය තුළ වෙනසක් දකිනවාද?

මම නම් දකිනවා. පහුගිය ටිකේ ඇහුණු අඳෝනා රැල්ල දැන් අඩුයි. වෙනස් ගීත නිර්මාණය වෙනවා. ගුවන් විදුලියේ සහ රූපවාහිනි මාධ්‍ය පවා එවැනි ගීත ඇහෙන්න, දකින්න පටන් අරන්.ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒක තමයි විය යුත්තෙත්. එය තවදුරටත් වර්ධනය වීමයි සිදුවිය යුත්තේ.

 

පසුගිය කාලේ තිබුණු රැල්ල නැති වෙලා කියලද ඔබ හිතන්නේ?

තාම ඒ දේවල් තියෙනවා. නැතුව නෙමෙයි. නමුත් මට දැනෙනවා ඉස්සර තරම් එවැනි ගීත නිර්මාණය වෙන්නේ නැහැ කියලා. දැන් මිනිස්සුන්ටත් ඒ අඬෝවැඩියාවන් අහලා ඇති වෙලා. මොකද දැන් ගොඩක් දෙනෙක් වෙනස් ගීත හොයන්න පටන් අරන්.ඒ නිසා අහන්න පුළුවන් රසවත් ගීත කිහිපයක්ම මට මෑත කාලයේදී ඇහුණා. මං හිතනවා ඒක හොඳ ප්‍රවණතාවයක් කියලා.

 

වර්තමාන සංගීත කලාව සහ ක්ෂේත්‍රය කියන්නේ වාණිජමය අතින් හොඳ පැත්තක් නේද?

අද වෙද්දී මේ ක්ෂේත්‍රය ඉස්සරට වඩා මුදල් උපයන්න පුළුවන් ක්ෂේත්‍රයක් වෙලා. හැමෝටම ජීවත්වෙන්නත් සල්ලි ඕනි.ඒ නිසා වෙන්න ඇති මුදල් හොයන ක්‍රම පස්සේ යන්නේ. එතනදී තමයි අහන් ඉන්න අමාරු රැල්ලවල්වලට මුහුණ දෙන්න වෙන්නේ.හැබැයි මේ ක්ෂේත්‍රය තුළ ඉස්සරත් සංගීත ශිල්පීන් මුදල් ඉපැයුවා. ඒත් ඔවුන්ගේ ගීත එළියට දාලා ඒවා තුළින් සංගීත ප්‍රසංගවලට සහභාගි වෙලා තමයි එය සිදුකළේ. ඊට පස්සේ ඔවුන්ගේ ඇල්බම් එළිදක්වලා ඒ හරහා මුදල් ඉපැයුවා. දැන් වෙද්දිත් ‘රිගින් ටෝන්’, ‘Youtube Revenue’ විදිහට ඒ ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. සමහර අයගේ ක්‍රියා කලාපයන් ශෝචනීයයි. ‘විව්ස්’ ගන්න කාන්තා නිරුවත් භාවිතා කරනවා. භාවිතයේ යොදවන්නේ නැති වචන දාලා ගීත නිර්මාණය කරනවා. අතරින් පතර හොඳ ගීතත් නිර්මාණය වෙනවා. හැබැයි හොඳ නිර්මාණ ශිල්පීන් ඉන්නවා.අනික කෙනෙක්ව නිර්මාණය වෙන්නේ පොඩි කාලේ ඉඳන් හැදුණු වැඩුණු විදිහට. සමහරු ගුණාත්මක නිර්මාණ පමණක් කරන කට්ටිය. සමහරුන්ට ඕනි මොනා හරි කරලා සල්ලි හොයන්න. ඔය කියන ජාති දෙකම මේ ක්ෂේත්‍රයේ දැන් ඉන්නවා. එවැනි දේවල් අපිට කොහොමවත් නවත්තවන්න බෑ. ඒත් කලින්ට වඩා මේ ක්ෂේත්‍රය දැන් ටිකක් සතුටුදායකයි කියලයි හිතෙන්නේ. ගුණාත්මක අතින් ඇහෙන සංගීත තියෙනවා. සංගීත කණ්ඩායම් අතින් හොඳ සංගීත කණ්ඩායම් බිහිවෙලා තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්.

 

ඉදිරි බලාපොරොත්තු සහ කටයුතු ගැන කිව්වොත්?

ගොඩක් අය මගෙන් ‘මෑෂප්’නේ බලාපොරොත්තු වෙන්නේ. ‘මෑෂප්’ නොකරනවා නෙමෙයි. නමුත් ඉදිරියේදී මගේම ගීතවලට වැඩිපුර අවධානය දෙනවා. මගේ රසික පිරිස වැඩි කරගන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ‘ෆේස්බුක්’ සහ ‘යූ ටියුබ්’ ඔස්සේ හොඳ නිර්මාණ හරහා තව තවත් රසික පිරිස අතරට යන්න බලාපොරොත්තු වෙනවා. නාලිකා පස්සේ නම් යන්න අමාරුයි මට. ඒක නිසා ‘යූටියුබ්’ - ‘ෆේස්බුක්’ හරහා ඒ දේවල් ටිකක් වැඩිපුර කර ගැනීමේ පරමාර්ථය තමයි තියෙන්නේ. හැබැයි මේ අවුරුද්දෙදි ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් කිහිපයකුත් තියෙනවා. ඉදිරියේදී ඒ වැඩ ටිකත් කරන්න තමයි බලාපොරොත්තුව.

 

සටහන- ඩිලාන් ක්‍රිෂාන්ත

 

2019-01-09-ent-55