අනිත් අය පුහුමාන්නයකින් තමයි ජීවත් වෙන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-08-ent-24

සිනමාව, ටෙලි නාට්‍යය යන මාධ්‍යයවල රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කරන ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සූර්යයා දයාරුවන්ය. මේ කතාබහ ඔහු සමගිනි.

 

ඔබ දායක වන නවතම ටෙලි නිර්මාණය තමයි ‘තෝඩු’ කියන්නේ. ඒ ගැන මුලින්ම කතා කරමු?2019-02-08-ent-26

සඳුන් රාජකරුණා අධ්‍යක්ෂකවරයාගේ ‘තෝඩු’ ටෙලි නාට්‍යය මෙම මස 13 වැනිදා සිට ස්වාධීන රූපවාහිනියේ විකාශය වීමට නියමිතය. එහි ප්‍රධාන චරිතයකින් මම දායක වෙනවා. පොහොසත් පවුලක් හා දුප්පත් පවුලක් වටා ගෙතුන කතාවක් තමයි මෙම ටෙලි නාට්‍යයට අන්තර්ගත වෙන්නේ. මම පොහොසත් පවුලක කෙනෙක් වුණත්, තැම්පත් චරිතයක් ලෙස තමයි රංගනයේ යෙදෙන්නේ. මගේ බාප්පා හා මම අවබෝධයකින් ජීවත් වුණත්, මේ නිවසේ අනිත් අය පුහුමාන්නයකින් තමයි ජීවත් වෙන්නේ. මේ චරිතය තමයි මම මෙහි රංගනයෙන් දායක වෙන්නේ.

 

මේ නිර්මාණයට වගේම, තවත් නිර්මාණ කිහිපයකටම ඔබ දායක වී සිටිනවා?

මේ දිනවල රොෂාන් රවින්ද්‍ර අයියගේ ‘තනමල්විල කොල්ලෙක්’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. ඒ නිර්මාණයට සම්බන්ධ වෙලා සිටිනවා. එය කොටස් හතළිස් පහක වෙනස්ම විදිහේ ටෙලි නිර්මාණයක්. මේ නිර්මාණය ප්‍රංශය තුළත් රූගත කිරීම් සිදුකළා. එයත් ළඟදිම විකාශය වෙනවා. මේ නිර්මාණය පවතින ටෙලි නාට්‍යය කලාවට වෙනස්ම පෙරළියක් ඇතිවෙයි කියලා මම හිතනවා.

 

ඔබ මේ ක්ෂේත්‍රයට පැමිණෙන්නේ සිනමාව තුළින්. නමුත් මේ වනවිට වැඩි දායකත්වයක් ලබාදී තිබෙන්නේ ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය. එයට හේතුව මොකක්ද?

මම මේ වනවිට චිත්‍රපට හයකට පමණ දායකවී අවසන්. ‘වැලිපවුරු’ චිත්‍රපටයේ මාධ්‍යය දර්ශනයත් මේ මස පැවැත්වෙනවා. නමුත් 5සමනල සන්ධ්වනිය’ චිත්‍රපටයෙන් මේ ගමන ආරම්භ කළාට පසුව පරිපූර්ණ නිර්මාණ ලැබුණේ හරි අඩුවෙන්. මට ආරාධනා ලැබෙනවා නම් මම ඒ පිටපත ගැන බලලා යොමුවෙනවා. නමුත් එසේ සිදු වුණේ නැහැ. වැඩි වශයෙන් ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබුණ නිසා මම ඒ නිර්මාණවලට සම්බන්ධ වුණා.

 

එහි තෝරා බේරා ගැනීමක් තිබෙනවාද? එසේ නොමැතිනම් ලැබෙන සෑම නිර්මාණයක්ම භාරගන්නවද?

මම මට ලැබුණ සමහර නිර්මාණවලට දායක වුණේ නැහැ. කලින් පිටපත ලැබුණම ඒ ගැන කියවා බලා ඉන් අනතුරුව ඒ නිගමනයට මම එළඹෙනවා. නමුත් මට ලැබුණු බොහෝ නිර්මාණවලට මම දායක වුණා. නිර්මාණ කිහිපයක් පමණයි මම ප්‍රතික්ෂේප කළේ.

 

ඔබ ගායන ශිල්පියෙක් ලෙස කටයුතු කිරීමට පසුගිය කාලයේ වැඩි ඉඩක් ලබා දුන්නේ නැහැ?

පසුගිය වසර එකාමාරක පමණ කාලය තුළ වැඩි අවස්ථාවක් දුන්නේ රංගනයට. මට ගායනයට සම්බන්ධ වෙන්න ඒ වෙනුවෙන් වැඩි ඉඩක් ලබාදෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. ‘මගෙනේ’ කියන ගීතය නිර්මාණය කළා, එය ජනප්‍රිය වුණා. මේ වනවිට නව ගීත තුනක් නිර්මාණය කර තිබෙනවා. ටෙලි නාට්‍යය කිහිපයක් භාරගත්ත නිසා කාලය අඩු වුණා සංගීතයට යොමුවෙන්න. නමුත් මේ වසරේ සංගීතය වෙනුවෙන් ඉඩක් වෙන් කරන්නත් හිතුවා. මගේ සිහිනය බවට පත්වෙලා තියෙන්නෙත් ගායන ශිල්පියෙක් ලෙස කටයුතු කිරීම. ඉදිරියේදී ‘අනුරාගිනි’, ‘ඉඟිකාරි’, ‘වසන්තය’, ‘තව දුර ඇති’ යන ගීත ඉදිරියේ දී අහන්න දකින්න ලැබෙයි.

 

පොළොන්නරුව වැනි ගමක ඉඳන් පැමිණ මේ වනවිට රංගනය සිදුකරනවා. වෘත්තිමය වශයෙන් කටයුතු කළ හැකි පසුබිමක් මේ තුළ නිර්මාණය වී තිබෙනවද?

මේ වෙද්දි ඒ වටපිටාව නිර්මාණය වී තිබෙනවා. ගමේ ඉඳන් කොළඹට ඇවිත් සෞන්ර්යය විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වුණා. ඒ අතරතුර රංගනය කරන්න හැකියාවක් ලැබුණා. ඒ අතර ගායනය කරන්න හැකිවුණා. ප්‍රේක්ෂකයන් මාව හඳුනගත්තා. මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ ගැන මට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ කටයුතු කරගෙන යන්න පුළුවන් පසුබිමක් නිර්මාණය වෙලා තියනවා. ඒ නිසා වෘත්තිමය ලෙස මේ කටයුතු සිදුකර හැකි හොඳ පසුබිමක් මේ වනවිට නිර්මාණය වී තිබෙනවා. ගායනය, නිවේදනය, රංගනය වැනි හැමදේම සිදුකරන නිසා ආර්ථිකමය වශයෙන් ගැටලුවක් නැහැ.

 

ඔබ වේදිකා නාට්‍යය ක්ෂේත්‍රය තුළ කටයුතු කරන්න යොමුවෙන්නේ නැහැ. එයට වැඩි කැමැත්තක් දක්වන්නේ නැද්ද?

විශ්වවිද්‍යාලයේ සිටින කාලයේ දී මම වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණා. රංජිත් ධර්මකිර්ති මහතාගේ ‘අංගාරා ගග ගලා බසියි’ කියන වේදිකා නාට්‍යය නිර්මාණයට. ටී. එම්.ජයරත්න සර් දායක වූ චරිතයට තමයි මම දායක වුණේ. ඉන් පසුව වේදිකාවට සම්බන්ධ වී වැඩකටයුතු කරන්න මට අවස්ථාවක් ලැබුණෙ නැහැ. හොඳ ආරාධනාවක් ලැබුණොත් එයට දායකවෙන්නත් මගෙ බලාපොරොත්තුවක් තිබෙනවා.

 

ඉදිරියේ දී ක්ෂේත්‍රය තුළ සිදුකරන්න බලාපොරොත්තුවෙන කටයුතු ගැන සඳහන් කළොත්?

ක්ෂේත්‍රය තුළ තවත් ඉදිරියට යන්න හොඳ අධ්‍යාපනයක් අවශ්‍යයි කියන තැන මම ඉන්නවා. ඒ ගැන වැඩි අවධානයක් යොමුකරන්නේ නැතුව කටයුතු කරන පිරිසකුත් ඒ ගැන අවධායට යොමුකළ කටයුතු කරන පිරිසකුත් ක්ෂේත්‍රය තුළ සිටිනවා. ක්ෂේත්‍රය තුළ අධ්‍යාපනය ලබමින් කටයුතු කළ යුතුයි කියලා මම හිතනවා. මම තව බොහෝ දේවල් ඉගෙන ගත යුතුයි. ඒ නිසා වැඩි දුර අධ්‍යාපනය සිදුකරන්න තමයි මගේ බලාපොරොත්තුව. එලෙස සිදු වුවහොත්, මේ ක්ෂේත්‍රය තුළ හොඳින් රැඳී සිටින්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබෙනවා.

 

නිදුක් මදුෂික

 

 2019-02-08-ent-25