දේශපාලනය හා බැඳුණු මිනිසාගේ ඛේදවාචකය ‘කලිගියුලා’ තුළින් නිරූපනය වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජගත් බණ්ඩාරගේ ‘කලිගියුලා’ වේදිකා නාට්‍ය අනිද්දා සවස 7.00ට ලයනල් වෙන්ඩ්ට්හිදී

වේදිකා නාට්‍ය ශිල්පියෙකු, සමාජ මානව විද්‍යාඥයෙකු වන ජගත් බණ්ඩාර විසින් නිර්මාණය කරන ලද’කලිගියුලා’ වේදිකා නාට්‍ය නිර්මාණය පෙබරවාරි 10 වැනිදා ,සවස 7.00ට ලයනල් වෙන්ඩ්ට්හිදී වේදිකාගතවීමට නියමිතය. මේ සම්මුඛවීම සිදුවන්නේ ඔහු සමගිනි.

 

20190211drama-4‘ඇල්බෙයා කැමු’ගේ නාට්‍යයක් පරිවර්තනයක් ලෙසින් වේදිකාවට ගෙන එන්නේ ඇයි?

මේ පිටපත තෝරගන්න මූලිකම හේතුව, ‘කැමූ’ මේ පිටපත තුළින් කතා කරන දේ සහ මම ගනුදෙනුකරන සාහිත්‍ය හා දර්ශනය යන විෂය ක්ෂේත්‍රය ගැන මට තිබෙන සමීප සම්බන්ධතාව හා රුචිකත්වය. ඇල්බයා කැමූ ඔහු තමන්ව සාන්දෘෂ්ටිකවාදියෙක් ලෙස හඳුන්වන්න කැමැති නැහැ.නමුත් දාර්ශනිකයින් ඔහුව ඒ ගුරුකුලයටත් ඇතුළත් කරනවා.අසම්මතවාදී හා සාන්දෘෂ්ටිකවාදී අදහස් ඔහු ගෙන එනවා. මනුෂ්‍ය ජීවිතය දෙස ඔහු බලන දෘෂ්ටිකෝණය ගැඹුරු හා තියුණු එකක්. මම මානව විද්‍යාඥයෙක්. මගේ න්‍යායවේදය තුළත් ගනුදෙනුකරන්නේ ප්‍රපංච වේදය හා සාන්දෘෂ්ටික වාදය වැනි දේවල් තුළ. විශේෂයෙන්ම නූතනත්වයේ තිබෙන අර්බුදය ප්‍රශ්න කිරීමට ලක් කිරීම මේ තුළ සිදුවෙන්නේ. නූතනයේ දැනුම් සම්භාරය ගොඩනැගෙන්නේ කොහොමද? විද්‍යාත්මක දැනුමේ තිබෙන ප්‍රධාන අර්බුදය වැනි කාරණා ඉතා ගැඹුරු ලෙස කැමූ තමාගේ සාහිත්‍යමය නිර්මාණ හරහා ගෙන එනවා. මේ න්‍යායික හා දාර්ශනික සමීපතාව තමයි මෙම නාට්‍යය වේදිකාවට ගෙන එන්න ප්‍රධාන වශයෙන් හේතු වුණේ. ඒ හරහා මනුෂ්‍යයා ජීවිතය හා මානව ජීවිතයේ පැවැත්මේ ඇති බරපතළම ගැටලුව සාකච්ඡාවට ලක්කරනවා.

 

පසුගිය කාලය දෙස බලද්දී ලංකාවේ වේදිකා නාට්‍යය ප්‍රේක්ෂකාගාරය මෙවැනි පරිවර්තන නාට්‍යය වැලඳ ගත්තේ නැහැ?

ප්‍රේක්ෂකයා නිර්මාණය හා බද්ධ වෙන්නේ නිර්මාණකරුවා නිර්මාණය ගොඩනගන්න භාවිතා කරන ශිල්පීය ක්‍රමය හා එය කොතරම් දුරට ප්‍රේක්ෂකයාට අර්ථකථනය කරන්න ඉඩක් දෙනවාද යන කාරණය මත. මෙය නූතන සම්භාව්‍ය මට්ටමටම නිෂ්පාදනය කරන්න අපි උත්සහ කරනවා. නමුත් මෙහි රංග කාර්යයේදී අපි ස්වභාවික රංගනයට පැමිණෙනවා. අපි ස්වභාවික රංග කාර්යයක් හරහා පිටපත අර්ථදක්වන්න උත්සහ කරනවා. අනෙක් කාරණය ඒ අර්ථකථනයේ තියුණු භාවය මතුකරන්න ඇතැම් වේදිකාමය උපක්‍රම විචිත්‍රවත් ලෙස අපි භාවිතා කරන්න උත්සහ කරනවා. සමහර අවස්ථාවල වෙස්මුහුණු භාවිතා කරනවා. තවත් අවස්ථාවක ‘කලිගියුලා’ නටන නැටුමකදී ‘අභූතරූපී’ රංගනය, සංගීතය එකතු කරනවා. මේ සියල්ලම හරහා අපි උත්සහ කරන්නේ කැමූගේ මූලික හරය තුළ තවතවත් තීව්‍ර ලෙස අර්ථකථනය කළ හැකි අවකාශයක් ප්‍රේක්ෂකාගාරයට හදලා දෙන්න.

 

මෙවැනි නිර්මාණයක යටි පෙළ කියවීම ගැන ඔබ තුළ ඇති අදහස කෙබඳුද? පිටපත සමග නාට්‍යය නිර්මාණය වෙද්දී ඒ ගැන දැක්වූ සැලකිල්ල කෙබඳුද?

මම හැම විටම උත්සහ කරන්නේ මුල් කතුවරයා කියන්න උත්සහ කළ කාරණාව සාකච්ජා කරන්නයි. නාට්‍යය බලන කෙනෙක්ට හොඳටම පැහැදිලි වෙන දෙයක් තමයි වර්තමානයේ සිදුවන දේශපාලන විගඩම. විශේෂයෙන් මහජනතාව අවඥාවට ලක්කිරීම කියන කාරණය මේ නාට්‍යය බලද්දී ප්‍රේක්ෂකයින්ට හොඳටම පේනවා. මේ නාට්‍යය තල දෙකකින් කියවිය හැකියි. මෙහි ඇති දේශපාලනය තුළින් සාකච්ජාවකට එන්න පුළුවන්. ඒ වගේම ප්‍රබුද්ධ රසිකයෙකුට එයින් ඔබ්බට ගමන් කර, ඒ දේශපාලනය හා බැඳුණු මිනිසාගේ ඛේදවාචකය කියන කාරණාව අර්ථකථනය කරගන්න පුළුවන්. අපි උත්සහ කරන්නේ මතුපිට තලයේ රැඳෙන්න නෙමෙයි. ඊට වඩා ගැඹුරකට නාට්‍යය ගෙන යන්න. මතුපිට තලයෙන් නාට්‍යය බලලා රසවිඳින ප්‍රේක්ෂකයාට හානියක් වෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ.

20190211drama-1

මීට පෙරත් ‘කලිගියුලා’ නිෂ්පාදනය වෙලා තියෙනවා. ඇයි එහෙම නිර්මාණයක් නැවත වේදිකාවට ගෙන එන්න උත්සහ කරන්නේ?

එක් දහස් නවසිය හැත්තෑව දශකයේ කරූ විසින් මේ නාට්‍ය නිෂ්පාදනය කළා. පසුව අනූව දශකයේදී ‘පස්වැන්නා’ ලෙස රොජර් සෙනවිරත්න කළා. මේ වසරෙත් මෙය කෙරෙනවා. මෙහෙමයි. ලෝකේ දියුණු නාට්‍යය සංස්කෘතියක් තියෙන රටවල සමහර වෙලාවට එකම කාලය තුළ නිෂ්පාදන ගණනාවක් අපිට දකින්න පුළුවන්. හරි නම් සිදුවිය යුත්තේ මේ නිෂ්පාදනයන් විවිධ විදිහට මතුවීම. මේවා අර්ථකථනයට ලක්කිරීම ප්‍රමාද වැඩියි. නමුත් එය ගැටලුවක් ලෙස මම හිතන්නේ නැහැ. දෙවැනි කාරණය හැමවිටම පිටපතක් නව නිෂ්පාදකවරයෙක් යටතේ යම් කිසිලෙසකින් අර්ථකථනයට ලක්වෙනවා. එවිට නිෂ්පාදනයේ විවිධ මුහුණුවර දකින්න පුළුවන්. 2011 ‘බෝනිකි ගෙදර’ කරන කොට ඔය ප්‍රශ්නය මතුවුණා. මම හැමවිටම උත්සහ කරන්නේ කතුවරයා ගොඩනැගූ සාකච්ඡාව ගොඩනගන්න. මේවා නූතන සම්භාව්‍ය කෘති. අපිට රචකයින් වශයෙන් ලොකු අවකාශයක් දීලා තියනවා අර්ථකථනීයව මේ දේවල් සාකච්ජා කරන්න. මුල් කතුවරයා ගොඩනගන සාකච්ජාව තීව්‍ර කිරීමට කටයුතු කිරීම තමයි මගේ උත්සාහය. මේ ‘කලිගියුලා’ නිෂ්පාදනය අනුව දශකයේ නිෂ්පාදනයට වඩා වෙනස්. ‘කලිගියුලා’ කියන කෘරතම පාලකයා විතරක් නෙමෙයි මම ගෙන එන්නේ. ඒ පාලකයා ගොඩ නගන්න හේතුවූ ඓතිහාසික හා සමාජ කොන්දේසින් සියුම්ව විවරණය කර, ඒ තුළ සිටින මිනිසා සහ ඔවුන්ගේ ඛේදවාචකය මම ගෙන එනවා. ඒ අසම්මතවාදී හා සාන්දෘෂ්ටික අර්ථකථනයට ළඟාවෙන්න තමයි මට අවශ්‍ය වෙන්නේ. මේ තුළ ‘කලිගියුලා’ ඉතාම වෙනස් ලෙස අර්ථකථනය වෙනවා කියන එකයි මගේ අදහස.

 

ඔබ මෙය සම්භාව්‍ය නිර්මාණයක් ලෙස අර්ථකථනය කළා.මේ මොහොතේ විනෝදාස්වාදයම පදනම් වූ නාට්‍ය බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ඒ තුළින් මෙවැනි සම්භාව්‍ය නාට්‍යවලට එල්ල වන බලපෑම කෙබඳුද?

‘විනෝදය’ කියන්නේ නරක දෙයක් නෙමෙයි. නමුත් ගැටලුව තිබෙන්නේ ‘විනෝදය’ ලෙස අප භාවිතා කරන දේවල් කොතරම් දුරට පොහොසත්ද කියන කාරණය. අපි ලෝකේ දියුණු විනෝදාස්වාදය කියලා සංකල්පීය වශයෙන්, ශිල්පීය වශයෙන් ඉතාම විශිෂ්ට වැඩ සිද්ධවෙනවා. අපි ‘විනෝදාස්වාදය’ කියන්නේ ඉතාම පටු අවම වූ දේවල්වලින් ටිකක් සන්තෝෂ වෙන්න. එහෙමම මිනිසුන් පිරිසක් බවට පත්ව තිබෙනවා.හරය පිළිබද ප්‍රශ්නයක් තිබෙනවා. මම විනෝදයට විරුද්ධ නෑ. නමුත් ඒ සමග යම් කිසි සාකච්ඡාවක් මේ තුළ ගොඩනැගිය යුතුයි. එහෙම නැත්තම් ස්පංචි කාලා බඩ පිරෙනවා වගේ වැඩක් වෙන්නේ. පෝෂණයක් නැති වුණත් බඩ පිරෙනවා

 

2011 වසරෙන් පසුව තමයි ඔබ වේදිකාවට නිර්මාණයක් ගෙන එන්නේ එයට හේතුවූ කාරණාව මොකක්ද?

මම මගේ ආචාර්ය උපාධිය සඳහා විදේශගතව සිටියා. ඔස්ට්‍රේලියාවේ වසර පහක් පමණ ජීවත් වුණා. මම වේදිකා නාට්‍යයක් කරන්නේ මට දෙයක් කතා කරන්න, ඒ විශ්වාසයන් ගොඩනගන්න තිබෙන වුවමනාවත් එක්ක. විනෝදාස්වාදය සඳහාම පමණක් නෙමෙයි මං වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරන්නේ. මේ පිටපත සමග මම වසර හයක් පමණ කටයුතු කළා. ජී. ඩබ්ලිව්. නන්දසේන තමයි මෙහි පරිවර්තකයා.මෙය විශිෂ්ට පරිවර්තනයක්. ඒ සමග තමයි මම මෙය නිර්මාණය කරන්නේ

20190211drama-2

ඔබ වසර ගණනක් ඔස්ට්‍රේලියාවේ සිටි බව සඳහන් කළා. ඒ රට තුළ වේදිකා නාට්‍යය ක්‍ෂේත්‍රය හා අප රට තුළ වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රය ක්‍රියාත්මක වන ආකාරය ගැන ඔබේ කියවීම කෙබඳුද?

ඔස්ට්‍රේලියාව තුළත් අපිට බහුල වශයෙන් දකින්න ලැබෙන්නේ පොප් කල්චර් එකේ සහ වෙනත් ‘කන්ටෙම්පරලි’ වැඩ. ස්වතන්ත්‍ර පිටපත් රචනා වෙනවා. විනෝදාස්වාදයම පදනම් වූ නාට්‍යය නිර්මාණය වෙනවා. නමුත් ඒ රටවල විශිෂ්ට නාට්‍ය කරන පිරිසක් වෙනම සිටිනවා. උදාහරණයක් ලෙස ආතර් මිලර්ගේ නාට්‍යය, ශේක්ස්පියර්ගේ, සැමුවෙල් බෙකට්ගේ නාට්‍යය නිෂ්පාදනය කෙරෙනවා. ඒත් අපේ රටේ එක් පැත්තක් සම්පූර්ණයෙන්ම නැහැ. එක පැත්තක නාට්‍ය කලාවක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. කැනඩාව, එංගලන්තය වැනි රටවල වුණත් ඉතා පුළුල් මට්ටමෙන් මිනිසුන්ට ගනුදෙනු කළ හැකි දියුණු සංස්කෘතික ප්‍රවාහයක් ඇතිවෙලා තියෙනවා. විනෝදාස්වාදන පැත්තෙන් ගත්තත් ඉතාම පුළුල් පොහොසත් සංස්කෘතියක් තිබෙනවා. අධ්‍යාපනය සහ සාහිත්‍යය දාර්ශනික පැත්තෙන් ගත්තත් පොහොසත් සංස්කෘතියක් තියෙනවා.

 

මේ නිර්මාණයට සඳහා වේදිකාවේ සක්‍රීයව කටයුතු කරන පිරිසක් ඔබ දායක කරගන්නවා. ඔවුන්ගේ දායකත්වය ගැන ඔබ තුළ තිබූ විශ්වාසය මොකක්ද?

මුලින්ම මම හිතුවේ විනයක් සහිත නළු නිළියන් පිරිසක් මෙයට සම්බන්ධ කර ගැනීම ගැනයි. මේ ‘කලිගියුලා’ වැනි පිටපතක් අර්ථකථනය කරන්න රංගනය ගැන කිසියම් නිපුණත්වයක් තිබෙන ශිල්පින් අවශ්‍ය වෙනවා. ඒ අනුව තමයි ජෙහාන් අප්පුහාමි, ගංගා ජීවනි වැලිවත්ත, මයුර කාංචන, උදේනි අල්විස්, කසුන් ලියනගේ ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් මීට දායක කර ගත්තේ. ගයත්‍රී කේමදාස මෙය සංගීතවත් කරනවා. මේ නාට්‍යය මාස පහක් තිස්සේ පුහුණුවීම් කටයුතු සිදුකරනවා. ඔවුන් මේ ක්‍ෂේත්‍රය තුළ කර ඇති සමහර වැඩත් එක්ක මේ වැඩේ පුබුදුවන්න අවශ්‍ය ශක්තිය ලැබෙයි කියලා හිතුවා. අපි බලමු.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට අවැසි අයෙකු වෙතොත් 077 3569968 යන දුරකථන අංකයට ඇමතීම මගින් එය සිදුකළ හැකිය.

 

නිදුක් මදුෂික

20190211drama-3