සුසිල ද සිල්වා අභිනන්දන ප්‍රතිභා දැක්ම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චිත්‍ර ප්‍රදර්ශනය

ශු.එම්මානුවෙල් අනෝන්‍ය සහයකාර සංගමය ඉදිරිපත් කරන නිහඬ කලාකරු සුසිල ද සිල්වා අභිනන්දන ප්‍රතිභා දැක්ම පෙබරවාරි මස 09 වැනි සෙනසුරාදා පෙරවරු 09.00 සිට සවස 6.00 දක්වා ශු.එම්මානුවෙල් පළාත් ශාලාවේදී පැවැත්වේ.

 

වඩුමඩුවෙන් ලද පන්නරය

1950 වසරේදී හෙන්රි ද සිල්වා සහ මාග්‍රට් ඩයස් දෙපළට දාව සත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස උපන් සුසිල ප්‍රේමලාල් ජෝශප් ද සිල්වා, කුඩා කාලයේදී තම පියාගේ වඩු මඩුවෙන් සිය කුසලතාවලට අදාළ පදනම සකස් කර ගත් අතර සාමාන්‍ය පෙළ විභාගයේදී මොරටුව වේල්ස් කුමර විදුහලෙන් හස්ත කර්මාන්ත විෂයට(මැටි ශිල්පය) ඉදිරිපත් වූ එකම සිසුවා වූ අතර ඉන් ඉහළ සාමාර්ථයක්ද ලබා ගැනීමට සමත් විය.මෙහිදී එවක වේල්ස් කුමර විද්‍යාලයේ චිත්‍ර කලා ආචාර්ය තිස්ස ගුණවර්ධන සූරින්ගෙන් ලබා ගත් කලා දැනුමින් ඔහු තව තවත් සන්නද්ධ වූයේය.

 

පාසැල් කාලයේදීම නාට්‍ය හා රූකඩ ජවනිකාවලට දුන් දායකත්වය

සෑම පාසල් නිවාඩු කාලයකදිම ගමේ මිතුරන් සමග ජංගම වේදිකාවන් ආධාරයෙන් නාට්‍ය හා රූකඩ ජවනිකා ගමේ ජනතාවට පෙන්වූ සුසිල ද සිල්වා,පාසැල් අධ්‍යාපනයෙන් අනතුරුව ගෝකුල ආයතනයෙන් කලා විෂය තවදුරටත් ප්‍රගුණ කළේය.

 

ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැත්වූ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය

1973 වසරේදී කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී සුසිල ද සිල්වා පැවැත්වූ ඒක පුද්ගල චිත්‍ර හා ප්‍රදර්ශනය කාගේත් අවධානයට යොමු විය.

 

මුළුතැන්ගෙයි නිර්මාණකරුවකු(Kitchen Artist) වීම

1985දී කොළඹ ඉන්ටර් කොන්ටිනෙන්ටල් හෝටලයේ මුළුතැන්ගෙයි නිර්මාණකරුවකු ලෙස සේවයට එක්වීම ඔහුගේ ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යයකි.එහිදී ඔහු එම හෝටලය අයිස් කැටයම්,බටර් කැටයම් සහ එළවළු කැටයම් යනාදි අංශවලින් සැරසූ අතර පසුව තරු පංති හෝටල් අතර පැවැති තරගවලදී රන්,රිදී සහ ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම වසර ගණනාවක් දිනා ගැනීමට සමත් වූයේය.

 

සමාජ සේවා කටයුතු

මොරටුව ඉඩම බාලයින්ගේ එක්සත් කැරොල් කණ්ඩායමේ වැඩ කටයුතුවලට එදා මෙන්ම අදත් ඔහුගේ දායකත්වය හිමි වන අතර අදත් එහි වේෂ නිරූපණය කටයුතු සිදුවන්නේ ඔහු අතිනි.එසේම කොළඹ බිෂොප් විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රිස්තියානි සංගමයේ දරුවන්ට සෑම වසරකදිම අත්වැඩ වැඩමුළුවක් ඔහු පවත්වයි.එමෙන්ම ප්‍රදේශ ගණනාවක් දරුවන්ට අත්වැඩ කියා දීමට ඔහු ඉදිරිපත් වෙයි.එසේම ලක්ෂපතිය ශු.මත්තියස්තුමාගේ ඉරු දින පාසල් ගොඩනැගිල්ලට නිර්මාණය කළ ත්‍රිමාණ ඒදන් උයන ඔහුගේ විශිෂ්ට නිර්මාණ අතර වේ.

 

ප්‍රදර්ශනයට සමගාමීව වැඩමුළුවක්

මෙම චිත්‍ර ප්‍රදර්ශනයට සමගාමීව සුසිල ද සිල්වාගේ අත්වැඩ,බටර් හා අයිස් කැටයම් වැඩමුළුවක්ද පැවැත්වෙන අතර ප්‍රදර්ශනයට ශු.එම්මානුවෙල් දේවස්ථානයේ පැරැණි කලාකරුවන්,තරුණ සංගමය,ඉරුදින පාසල,කොරළවැල්ල ශු.මිඛායෙල් දේවස්ථානය,කොරළවැල්ල ශු.පේතෘස්තුමාගේ දේවස්ථානය සහ ශු.මත්තියස්තුමාගේ දේවස්ථානයේ ලක්ෂපතිය නිර්මාණ දායකත්වය දක්වති.

 

-මාලන් විදානපතිරණ

 

2019-02-08-ent-119