තරුණ සිනමාකරුවන්ගේ වාණිජ චිත්‍රපට පවා මණ්ඩලවලින් ප්‍රතික්ෂේප වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-11-ent-228

වසර කිහිපයක් පුරාවට තිරගත කිරීමට අරගල කළ මලිත් හෑගොඩගේ ‘දැකල පුරුදු කෙනෙක්’ චිත්‍රපටය එළැඹෙන 08 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලාවන්හී තිරගත වේ. 2014 වසරේ පැවැති මොන්ට්‍රියල් ලෝක සිනමා උළෙලේදී ලෝක මංගල දැක්ම සිදුකළ මෙම චිත්‍රපටය එහිදී ලෝක රන් මුදුන සම්මාන නිර්දේශය සඳහා නිර්දේශ වූ අතර, එම වසරේදීම එය ලන්ඩන් සිනමා උළෙලේදී ලෝක මංගල දැක්ම කරා පිවිසියේය. 2015 වසරේදී ජෝග්ජා නෙට්පැක් ආසියානු සම්මාන උළෙලේදී රන් හනුමා සම්මානය සඳහාද නිර්දේශ වූ මෙම චිත්‍රපටය, එම වසරේදීම ඇමෙරිකාවේ සියැටල් ආසියානු සිනමා උළෙලද නියෝජනය කළේය. එමෙන්ම 2016 වසරේ පැවැති දෙරණ සම්මාන උළෙලේදී මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂ සඳහා ජූරියේ සම්මානය දිනා ගැනීමට සමත් වූයේය. භූපති නලීන් වික්‍රමගේගේ තිර රචනයකට අනුව බිමල් ජයකොඩි සමග සමාධි ලක්සිරි ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත්වුණු අතර, ඒ පිළිබඳ මලිත් සමගින් කතාබහක යෙදීමට අප සිතුවේ එබැවිනි.

 

මධ්‍යම පාන්තික පවුලක කතාවක් තමයි ‘දැකල පුරුදු කෙනෙක්’ චිත්‍රපටයට පාදක වෙන්නේ?

ඔව්. දියණියක් සිටින තරුණ යුවළකගේ නුරුස්නා ස්වභාවයක් පවතිනවා. මේ දෙදෙනා අතර කතාබහ අඩුයි. ප්‍රතිචාර කෙටියි. මේ තත්ත්වයට අම්මලා, තාත්තල පවා මැදිහත් වෙන්න උත්සාහ කරනවා. ඒ අතරේ තමයි සැකයක් හටගන්නේ. ඉන්පස්සේ ඒ සැකය පැහැවන්න පටන් ගන්නවා. සම්බන්ධතාවල පවතින විවිධ ස්වරූප සහ ව්‍යාකූලතා තමයි මට දැනෙන්න පටන් ගත්තේ. අප නොදන්නා ප්‍රතිචාර නිසා සිදුවන හානිය ඔස්සේ තමයි කතාව ඉදිරියට ගලා යන්නේ.

 

එතකොට ඇයි චිත්‍රපටයට ‘දැකල පුරුදු කෙනෙක්’ යනුවෙන් නම් තබන්නේ?

ඊට බලපෑ පසුබිම් කතාවක් තියෙනවා. මොකද අපේ චිත්‍රපටයට ස්ථිර නමක් තිබුණේ නැති නිසා තාවකාලික නමක් (‘Crime in the Rain’) යොදල තමයි වැඩ පටන් ගත්තේ. හැබැයි මම භූපතිගෙන් ස්ථිර නමක් විදිහට ‘කැඩපතක ඡායා’ වගේ නමක් ඉල්ලා සිටියා. ඒත් භූපති එවැනි නමක් යොදන එක තරයේ ප්‍රතික්ෂේප කළා. ඉන්පස්සේ ඔහු ලබාදුන් නම් දෙක තමයි ‘සෘතු නැති ජීවිත’ සහ’ දැකල පුරුදු කෙනෙක්’ කියන්නේ. අවසානයේ මම එකඟ වුණු නම තමයි ‘දැකල පුරුදු කෙනෙක්’. මොකද මට එයින් ‘කවුද දැකල පුරුදු’ යන්න විශේෂත්වයක්. අනික ඒ නම හරහා අපි ‘දන්නවත් වගේ, නොදන්නවත් වගේ’ යන හැඟීම ඇති කරවනවා. ඒ ආකර්ෂණීය බවම තමයි මට ඒ නම තෝරාගැනීමට හේතු වුණේ. එහෙම නැතුව බොරු සම්භාව්‍ය බවක් කෘතියට ආරෝපණය කරන්න මට උවමනා වුණේ නැහැ.

 

ඒත් චිත්‍රපටය තිරගත කරගන්න ඔබට වසර ගණනාවක් තිස්සේ අරගල කරන්න සිදුවුණා?

2013 වසරේ තමයි ‘දැකල පුරුදු කෙනෙක්’ රූගත කළේ. 2014 වසරේදී අපි ලෝක මංගල දර්ශනය පැවැත්වුවා. ඉන්පස්සේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට දාලා සම්මත කරගෙන තිබුණා. මණ්ඩල කිහිපයකට කතා කරල මුදාහරින්න උත්සාහ කළා. හැබැයි කිසිම කෙනෙක් ඒකට කැමති වුණේ නැහැ. මට තේරෙන්නේ නැහැ ඇයි කියල. මොකද ඒ කාල වකවානුව තුළ වෙනත් කලාත්මක යැයි කියන සිනමා කෘති තිරගත වුණා. හැබැයි තරුණ සිනමාකරුවන්ගේ වාණිජ චිත්‍රපට පවා ප්‍රතික්ෂේප වුණු ලැයිස්තුවට ඇතුළත් වෙලා තිබුණේ. මං හිතන්නේ ඒකට හේතුව චිත්‍රපට සංස්ථාවට නියාමනයක් නැති වීම. ඒ නිසයි අපට ඒ මණ්ඩලවලට මැදිහත්වෙන්න බැරිවුණේ. එතකොට හිතනවා අපේ චිත්‍රපට දුවන්නේ නැහැ කියල. මට වගේම මේ ඛේදවාචකය තවත් සිනමාකරුවන් ගණනාවකට සිදුවුණා. අඩුම ගානේ චිත්‍රපට බලන්නෙවත් නැතුවයි ඒ මණ්ඩල අපේ චිත්‍රපට ප්‍රතික්ෂේප කළේ. ඒ නිසයි මමත් තවදුරටත් බලන් ඉන්න බැරිම තැන මට ලැබුණු සීමිත දර්ශන වාර ප්‍රමාණයක් ලැබෙන අවස්ථාව ලබාගත්තේ.

 

භූපති නලීන් වැනි චිත්‍රපට විචාරකයෙකුට ඇයි තිර රචනය බාරදෙන්න හිතුවේ?

ඔය ප්‍රශ්නය හුඟ දෙනෙක් මගෙන් ඇහුවා. හැබැයි මට භූපතිව හමුවෙන්නේ අවුරුදු විස්සකට කලින්. ඒ කාලේ ඉඳන්ම අපි දෙන්න චිත්‍රපට බැලුවා. ඒ කෙරෙහි ආකර්ෂණයක් තිබුණා. අපි කැමැතිත් එක සමාන චිත්‍රපටවලට. සිනමාත්මක භාෂාව, හැසිරවීම සහ ඒ ඔස්සේ සිනමාව දකින විදිහ බොහෝදුරට අපි සමානයි. ඒ නිසා අවුරුදු විස්සක් පුරා අපි සිනමාව හරහා කළ බෙදාහදා ගැනීම, සිනමාව දකින විදිහ සහ ඒ ඔස්සේ සිනමාව දකින්න දරන උත්සාහය තමයි ඔහුට මෙහි තිර රචනය ලබාදෙන්න මුල් වුණේ.

 

‘දැකල පුරුදු කෙනෙක්’ චිත්‍රපටය පිළිබඳ මේ වන විට ලැබෙන ප්‍රතිචාර කොයි වගේ තැනකද තියෙන්නේ?

චිත්‍රපටය පිළිබඳ තමන්ගේ අත්දැකීම් තමයි බොහෝදෙනෙක් අපි එක්ක බෙදාගත්තේ. ලෝක මංගල දැක්මට එකතු වූ ලාංකේය පිරිස් පවා චිත්‍රපටයේ එන කතා පුවත පිළිබඳ තමන්ගේ අදහස් තමයි බෙදා ගත්තේ. ඇතැමුන් ඒ සම්බන්ධ වීමට සමාජ මාධ්‍යයත් යොදාගෙන තිබුණා. ඒ ආකාරයෙන් තමයි ඔවුන් චිත්‍රපටයට සම්බන්ධ වුණේ. කොහොම වුණත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

 

මාලන් විදානපතිරණ

 

 2019-03-11-ent-229 2019-03-11-ent-230 2019-03-11-ent-231 2019-03-11-ent-232 2019-03-11-ent-233 2019-03-11-ent-234 2019-03-11-ent-235