Theertha Performance Platform 2019 හෙට සිට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-13-ent-86

‘තීර්ථ අභිවාහ්‍ය’ කලා වේදිකාවේ තෙවැනි දිගහැරුම හෙට (15දා) වැනිදා සිට 18 වැනිදා දක්වා තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුවේදී (Theertha International Artists Collective) 39/4A, ඩී.එස්. සේනානායක මාවත, බොරැල්ල යන ස්ථානයේදී පැවැත්වේ.

ඊට, ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 12කින් කලාකරුවන් 39 දෙනෙකු සහභාගි වීමට නියමිත අතර, ඒ බංගලාදේශය, කැනඩාව, ජර්මනිය, ග්‍රීසිය, ඉන්දියාව, ඉරානය, ඊශ්‍රායලය, පකිස්තානය, පෘතුගාලය, දකුණු කොරියාව, තායිලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවලිනි. එබැවින් ඒ පිළිබඳ සටහනක් තැබීමට අපි සිතුවෙමු.

 

හැඳින්වීම

තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව යනු කලාකරුවන් විසින් මෙහෙයවෙන සමකාලීන කලා කටයුතුවල නියැළෙන කොළඹ ස්ථාපිතව ඇති සමූහයකි. තීර්ථයේ, ජාත්‍යන්තර කලා හුවමාරු වැඩසටහනේ කොටසක් ලෙස මෙම ‘අභිවාහ්‍ය කලා වේදිකාව’ පැවැත්වේ.

මෙරට කලා ප්‍රජාව තුළ හරවත් කලා කථිකාවකට මුලපුරනු වස්, මෙහිදී දේශීය කලාකරුවන් සමග කටයුතු කිරීමට විදෙස් කලාකරුවන්ටද ආරාධනා කෙරේ.

 

අභිවාහ්‍ය කලාව

දෘශ්‍ය කලාවේ අනුශාඛාවක් වන ‘අභිවාහ්‍ය කලාව’ තුළ කලාකරුවා ඔහුගේ හෝ ඇයගේ ශරීරය සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාවිත කරයි. මෙය ආසියානු කලාපීය රටවල්ද ඇතුළුව බොහෝ රටවල හොඳින් වර්ධනය වූ කලා භාවිතයක් වන අතර මෙම කලාත්මක මුලපිරීම් ඉතිහාසය දෙස අවධානය යොමු කර, බොහෝ මාර්ග ඔස්සේ, අභිවාහ්‍ය කලාව හදාරමින් සහ ප්‍රගුණ කරමින්, ශිෂ්‍යයන් සහ තරුණ කලාකරුවන් සමග දැනුම බෙදා ගැනීමට අවකාශය නිර්මාණය කරමින්, මිතුරු කණ්ඩායම් සහ මහජනතාවට මෙම කලා අංග නැරඹීමට ඉඩ සලස්වයි.

 

මෙවර තේමාව - “පැවැත්ම පඨිත කිරීම”

භාෂාව සහ එහි පරිබාහිරත්වය සම්බන්ධයෙන් ඩෙරීඩාගේ ජනප්‍රිය සහ ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර මේ වන විට අඩ සියවසක් ගතව තිබේ. ‘‘Il n’y a pas de hors-texte’ යන එම ප්‍රංශ වැකිය, “ආසන්න වශයෙන්, අසම්පූර්ණ ලෙස, ‘පථිතයට පරිබාහිරත්වයක් නැත* කියා සිංහලට නැගිය හැකිය.

මෙවන් අදහසක් විවේචනයට බඳුන් වූ බව වටහා ගැනීම අපහසු නොවේ. භාෂාමය විඥානවාදයේ සිට දේශපාලන සම්ප්‍රදායවාදය දක්වා අධිචෝදනාවලට ඩෙරීඩාට මුහුණදීමට සිදු විය. බොහෝ විට සිදු වන පරිදි අප දැන් පසුකරමින් සිටින්නේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයේ සත්‍යය දෘශ්‍යමාන වන මොහොතේ කියා පැවැසිය හැකිය. නමුත් මෙම සත්‍යය, සමහර විට, ඩෙරීඩාට වුව දරා ගත නොහැකි වන උත්ප්‍රාසජනක සත්‍යයක් වනු ඇත.

ප්‍රතික්ෂේප වූ දෙය නැවත පැමිණෙන්නේ රෝග ලක්ෂණයක් ලෙසින් බව ෆ්‍රොයිඩ් අපට කියාදී තිබෙනා හෙයින් මෙයට අප පුදුම විය යුතු නොවේ.

මතුපිට තලයේ සිට බැලූ විට, සමාජ මාධ්‍ය සන්නිවේදනයේ වර්ධනය සමග අපගේ මුළු මහත් පැවැත්මම භාෂාවේ නිර්මිතයක් බවට පත්ව තිබෙන බව පෙනී යයි. එකම වේදිකාවක් තුළ අප ආදරය, වෛරය, වේදනාව, කනගාටුව බෙදා ගනිමින් සිටින්නේ පඨිතයේ බලයට මුළුමනින් ඇතුළු වීමෙනි.

එයින් පරිබාහිර වූ ‘සැබෑ ජීවිතය’ යනු තවදුරටත් එතරම් නිරවුල් තෝරා ගැනීමක් වන්නේ නැත. අනෙක් අතට, සහ වඩා ගැඹුරු ලෙස, සාධාරණීකරණය වූ වියුක්ත ප්‍රාග්ධනය විසින් මුළුමහත් පෘථිවි තලයම අවශෝෂණය කරගනිමින් සිටින්නේ තවදුරටත් මෙම මූල්‍ය පඨිතයේ දැලෙන් ගිලිහුණු නිදහසේ අවකාශයක් හඳුනා ගැනීමට නොහැකි වන ලෙසයි.

මිනිසත් බව යන්නෙහි අර්ථය එහි කුඩාම අණුව දක්වා පරිවර්තනයට ලක් වෙමින් පවතින්නේ ප්‍රාග්ධනයේ මෙම පූර්ණ විකසිත අවශෝෂණය කිරීම තුළයි. පඨිතමය දෙයෙහි ආධිපත්‍යය, සමකාලීන යුගය තුළ පරිපූර්ණ වී තිබේ. පඨිතයට පරිබාහිරත්වයක් තිබෙන්නේද යන්න තවදුරටත් දාර්ශනිකයෙක් සමග විසඳාගත යුතු ප්‍රශ්නයක් නොව අපගේ දෛනික ජීවිතය හා බැඳුනු දේශපාලන ප්‍රශ්නයකි.

සමකාලීන සමාජය පිළිබඳව ගොඩ නැගු මෙම සිතියම තුළට කලාව ඇතුළු වන්නේ කෙසේද? සමහරවිට, අන් කවර මාධ්‍යයකටත් වඩා අභිවාහන කලාව සම්බන්ධයෙන් මෙය අදාළ විය හැකිය. එක්තරා අර්ථයකින් මෙම කලාව යනු ශරීරය කේන්ද්‍ර කරගෙන තිබෙන්නා වූ කලාවකි. නමුත්, අප දන්නා පරිදි, ‘ශරීරය’ යනු සම්ප්‍රදායිකව ‘භාෂාවේ’, ‘පඨිතයේ’, ‘විඥානයේ’ පරිපූර්ණ ප්‍රතිපක්ෂය ලෙස ගැනෙනා දෙයයි. එසේත් නැතිනම්, අපගේ භාෂාවට පරිපූර්ණ ලෙස අවශෝෂණය කරගත නොහැකි දෙයයි. මෙම ප්‍රශ්නයට පශ්චාත් - ව්‍යුහවාදී සම්ප්‍රදායේ එක්තරා පිළිතුරක් ඇති බව අපි දනිමු.

එයට අනුව ශරීරය යනුද සංඥාවකි, හැඟවුම්කාරකයෙන් මුළුමනින් තෙත බරිත වී ඇති අර්ථයකි. එයින් පරිබාහිර වූ වෙනත් යථාවක් එයට නොමැත. මෙවන් ශරීරයක් මුළුමනින් එහි සංඛේතීය අර්ථයට අවශෝෂණය වී යන්නේ ශේෂයක් නොමැති වන ලෙසයි. අභිවාහන කලාව තුළ ශරීරයේ විවිධ ප්‍රකාශමාන වීම් අර්ථ ගැන්විය හැකි එක් ආකාරයක් වන්නේ මෙය බවට සැකයක් නොමැත. මෙහි ඇති එකම ගැටලුව වන්නේ මේ මගින් අභිවාහන කලාවේ ඒකීයත්වය අහිමි වී ගොස් මෙය තවත් අර්ථය ජනනය කරනා සංඛේතීය මෙහෙයුමක් බවට ඌනනය වීමයි.

ලැකේනියානු මනෝ විශ්ලේෂණය අපට කියාදී ඇති ලෙසට යථාව යනු සංඛේතනයට ප්‍රතිරෝධය දක්වන දෙය වන්නේ නම් අභිවාහන කලාව යනු සංඛේතනයට ඌනනය කළ නොහැකි පෙනී සිටීමක් විය නොහැකිද? පැවැත්ම සහ පඨිතය අතර වෙනත්, විකල්ප, සම්බන්ධයක් එමගින් අපට ඉඟි නොකරන්නේද? මේවාට බොහෝ පිළිතුරු තිබිය හැකිය. සමහර විට පිළිතුරු නොමැති වීම තුළින්ම උත්පාද වූ ඵලදායී අවසානයන් තිබිය හැකිය.

නමුත් මෙම ප්‍රශ්න යනු අප ජීවත් වන යුගයේ කලාව සම්බන්ධයෙන් මෙන්ම, සමහර විට, ජීවිතය සහ ලෝකය සම්බන්ධයෙන්ද තීරණාත්මක ප්‍රශ්න වන බව ඉතාමත් පැහැදිලි වේ. ප්‍රාග්ධනයේ සමා විරහිත ආධිපත්‍යය යටතේ ඇති මාධ්‍යකරණය වූ රූප සහ ඩිජිටල්කරණය වූ වචන මගින් අපට බල කර සිටින්නේ මේවාට පිළිතුරු ගවේෂණය කිරීම දැන්(වත්) ආරම්භ කළ යුතු බව නොවේද?

 

මෙම අවස්ථාවට සහභාගි වන විදෙස් කලාකරුවන්

අර්පිතා අඛන්දා (ඉන්දියාව), අසාම් තබාටාබෛ (ඉරානය), බී. අජෙයිශර්මා (ඉන්දියාව), බිආටෙලින්එ (ජර්මනිය), භිසාජිගාඩේකාර් (ඉන්දියාව), ඩිනිස්සාන්චේස් (පෘතුගාලය), එර්නස්ටෝ ඩැනිඑල්ලෙවියි (ඊශ්‍රායලය), ෆෙනිආකොට් සොපොලොඋ (ග්‍රීසිය), ඉයන් මොස්ඩ්සෙන් (කැනඩාව), ජිතීන් රංගාර් (ඉන්දියාව), මහමුඩ් මක්තාබී (ඉරානය), මම්තා සගාර් සමග සිද්ධාර්ථ එම්. එස්., චාන්ද්පාෂාන් එන්. එස්. සහ නාමානා බී, එන්. (ඉන්දියාව), මොංකෝල්ප්ලීන් බංචාං (තායිලන්තය), නටාෂා ජෝසී (පකිස්තානය), නොපාවන් සිරිවෙජ්කුල් (තායිලන්තය), පාර්ක් ජිහ්යොංග් (දකුණු කොරියාව), පර්මේශ්වාර් ජොලාඩ් (ඉන්දියාව), ෂාර්කේර් නස්රින්ටූන්ටූන් (බංග්ලාදේශය), ස්මිතාකරියප්පා (ඉන්දියාව), ටමාර් රබාන් (ඊශ්‍රායලය).

 

සහභාගි වන දේශීය කලාකරුවන්

බන්දු මනම්පේරි, ජී. ආර්. කොන්ස්ටන්ටයින්, ජනනි කුරේ, කිරුසන්සිවඥාණන්, ලක්නි ප්‍රසාංජලි, ලොහාන් ගුණවීර, ඔමාලිරාධිකා, ප්‍රියන්ති අනූෂා, සුසී මන්රිනෝශන්, තුලන්ජනී නිරෝෂා, ධනුෂ්ක මාරසිංහ, ගාමිණී අක්මීමන, ඉමාඩ් මජීඩ්, ඉසුරු කුමාරසිංහ, කේ. කේ. ශ්‍රීනාත් චතුරංග, කුමාරි කුමාරගමගේ, ලලිත් මානගේ මෙන්ම කාව්‍ය ඉදිරිපත් කිරීමක් සමගින් ක්‍රිසාන්ත ශ්‍රී භාග්‍ගියදත්ත.

ශර්ලි සමරසිංහ - 0777362550, නිමේෂ් උදයන්ත - 0778925446 යන දුරකථන අංකයන්ට ඇමතීමෙන් මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබාගැනීමට හැකිය.

 

මාලන් විදානපතිරණ

 

 2019-03-13-ent-87 2019-03-13-ent-88 2019-03-13-ent-89